රඟන චරිතවලට හොඳ හොඳ ප්‍රතිචාර - ‘අපූර්වා’ ගායිකාවක වෙන්න හීන දකින කෙල්ලක්
උපදින මියැදෙන සිහින අතර බිඳෙන බැඳෙන ගැටෙන හදවත ‘ලංවී’ සතියේ දින පහේම හිරු ටීවී ඔස්සේ විකාශය වේ. ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණයෙන් සඳුන් බණ්ඩාර නිෂ්පාදනයෙන් පුංචි තිරයට ගෙන එන මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන හර්ෂි රසාංගා සමඟින් කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන්වේ.
‘ලංවී’ හි අපූර්වාට කොහොමද මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳයි. මේ කතාව විකාශය වෙන්න පටන් අරන් තවම සතියක් දෙකක් වගේ. ඒ කාලසීමාව ඇතුළත කතාබහට ලක්වෙලා තියෙනවා මේ නිර්මාණය. මගේ චරිතයටත් මේ වෙද්දි ලොකු ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. පාරෙදි වුණත් දකින මුණගැහෙන අය මේ ගැන කතා කරනවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඇත්තටම මීට පෙර මම සම්බන්ධ වුණු පළමු නිර්මාණය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ගැන කතාබහ කළා ගොඩක් දෙනෙක්. එතැනින් පස්සෙ මම සම්බන්ධ වෙලා හිටපු නිර්මාණ ගොඩක් ජනප්‍රිය වුණේ නැහැ. නමුත් ඒ අවුරුදු ගාණටම හරියන්න මේ නාට්‍යය හරහා නැවතත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉතින් අපූර්වා කියන්නෙ මම ගොඩක් ආසාවෙන් කරන චරිතයක්.
අපූර්වා ගැන ටිකක් කියමුද?
අපූර්වා කියන්නෙ සින්දු කියන්න ගොඩක් කැමති ගායිකාවක් වෙන්න හීන දකින සහ ඒ හීනයට යන්න උත්සාහ කරන තරුණ ගැහැණු ළමයෙක්. ඇත්තටම මේ චරිතය මගේ ඇත්ත ජීවිතේට සමානයි. මොකද මම දැන් රඟපෑවට මගෙත් පොඩි කාලෙ ඉඳලම තිබුණු ආසාව තමයි ගායිකාවක් වීම. ගායනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි හීනය වුණේ. ඒ නිසාම මේ චරිතයෙ ගොඩක් සමානකම් තියෙනවා මගේ ජීවිතේටත්. ඉතින් මේ චරිතය මට ලැබෙද්දිත් තිර පිටපත කියවද්දිත් හිතුණා මේ චරිතයට සාධාරණයක් කරන්න හැකිවෙයි කියලාත්. ඒ නිසා ගොඩක් ආසාවෙන් චරිතය භාරගත්තා. දැනටත් මම හිතනවා මේ චරිතයට මට පුළුවන් විදියට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.
මේ චරිතය වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මට මේ චරිතයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන්නෙ මෙහි පිටපත් රචක තිමිර උඩලමත්ත අයියාගේ මාර්ගයෙන්. ඔහු තමයි ‘ලංවී’ හි අධ්යක්ෂවරයා. ඩිල්ෂාන් අමරසිංහ අයියාට සහ මෙහි නිෂ්පාදකවරයා සඳුන් බණ්ඩාර අයියාට මාව හඳුන්වලා දීලා තිබුණෙ. ඒ හැමෝගෙම කැමැත්ත මත තමයි මාව මේ චරිතය වෙනුවෙන් සම්බන්ධ කරගෙන තිබුණෙ. ඉතින් ඒ තිදෙනාටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මේ චරිතය කරන්න පුළුවන් කියලා මාව සම්බන්ධ කරගැනීම සම්බන්ධව.
මේ නාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන සහය කොහොමද?
ඇත්තටම ඒ ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. මේ නාට්‍ය කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මුලින්ම කියන්න ඕනෑ අධ්යක්ෂවරයා ඩිල්ෂාන් අමරසිංහ අයියා එක්ක වැඩ කරන්න හරිම ලේසියි. මොකද ඔළුවට ලොකු පීඩනයක් නැහැ. අපිව කොතැනකවත් හිර කරලා නැහැ. ගොඩක් දේවල් කියලා දීලා අපිට අවශ්‍ය විදියට නිදහසේ රංගන කටයුතු කරන්න අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඒ වගේම මට මෙතැනදි වැඩිපුර රංගනයේ යෙදෙන්න තියෙන්නෙ සනත් විමලසිරි අයියා සහ හිමාලි සිරිවර්ධන අක්කා එක්ක. ඒ දෙපළ තමයි කතාවෙ මගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙන්නම ප්‍රවීණ රංගන ශිල්පීන් විදියට හරිම නිහතමානීව අපිත් එක්ක වැඩ කරගෙන යන්නෙ. වරදක් දැක්කොත් ඒ දේවල් කියලා දෙනවා. හරිම සුන්දර චරිත දෙකක්. ඒ වගේම හරිම නිදහසේ විනෝදෙන් හැමෝම එක්ක වැඩ කරගෙන යනවා.
හර්ෂිට මීට පෙර ගොඩක්ම ලැබුණෙ අහිංසක ගැමි චරිත නේද?
ඔව්. ඇත්තටම මම කාලයක් කොටුවෙලා හිටියා අහිංසක ගැමි චරිතවලට. නමුත් මේ ලැබුණු චරිතය නම් වෙනස්. ටිකක් කටකාර චරිතයක්. අසාධාරණය වෙනුවෙන් කතා කරන කෙළින් කතා කරන ගැහැණු ළමයෙක්. හරිම අවංක සංවේදී චරිතයක්. ඉතින් මෙතෙක් කල් ලැබුණු චරිතවලට වඩා හාත්පසින්ම වගේ වෙනස් සහ දෙයක් කරන්න තියෙන චරිත රංගනයක්.
මේ නිර්මාණයට අමතරව නිරතවෙලා ඉන්න නිර්මාණ මොනවද?
මේ නිර්මාණයට අමතරව ස්වාධීන රූපවාහිනියෙ විකාශය වන ජී. නන්දසේන මහත්මයාගේ හිතුවක්කාරී සහ චරිත් අබේසිංහ අධ්යක්ෂවරයාගේ නම්බර් 9 නිර්මාණය වෙනුවෙන් දායකවෙලා ඉන්නවා. ඒ නිර්මාණවල චරිතත් මෙතෙක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වගේ වෙනස් චරිත රංගනයන්. ඇත්තටම ඒ නිර්මාණ වෙනුවෙනුත් මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
හර්ෂිගෙ හීනය වුණා කිව්වෙ ගායනයට සම්බන්ධ වීමනෙ. නමුත් ගායනය, රංගනය, නර්තනය හැමදේටම දක්ෂතාවක් තියෙනවා නේද?
දක්ෂතාවය තියෙනවද කියන දේ ඇත්තටම මට කියන්න බැහැ. ඒක අපිව දකින කෙනාටනෙ කියන්න පුළුවන්. නමුත් මට කලාවට ආභාෂය තිබුණෙ නම් පවුල් පසුබිමෙන් තමයි. මගේ අම්මගේ පවුල පැත්තෙන් ගත්තොත් අත්තම්මාටත් හොඳ ගායන හැකියාවක් තිබිලා තියෙනවා. ඒ හැමෝම වගේ සංගීතයටත් ගොඩක් ළැදියාවක් තියෙනවා. ඒ වගේම අපේ තාත්තාත් කලාවට ගොඩක් සම්බන්ධ කෙනෙක්. අපි ඉපදෙන්නත් කළින් වේදිකා නාට්‍යවල පවා ඉඳලා තියෙනවා. ඉතින් මමත් පුංචිම කාලෙදි සංගීතය, නර්තනය දෙකම කරලා තියෙනවා. ගායනයට දක්ෂතාවයක් ඒ කාලෙ ඉඳලම තියෙනවා. ඒ අංශයෙන් තමයි මමත් ඉදිරියට ගියේ. සංගීතය නිසා ඒ කාලෙ නර්තනය මඟඇරිලා තියෙනවා. නමුත් මම පුංචි කාලෙම තමයි කලාවට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මුලින්ම වෙළඳ දැන්වීම් තමයි කළේ. ඒ හරහා තමයි රංගනයට සම්බන්ධ වුණේ. නමුත් දැන්නම් නර්තනය, ගායනය, රංගනය තුනම කරගෙන යනවා ටිකින් ටික.
නර්තනය පැත්තෙන් සමාජ මාධ්‍ය හරහා හොඳ ප්‍රතිචාර තියෙනවා නේද?
ඔව්. ඇත්තටම මම ආයෙත් නර්තනය පටන්ගත්තෙ නර්තන ශිල්පී කවිදු මදුෂාන් නිසා. ඔහු එක්ක පොඩි පොඩි ඩාන්සින් කවර්ස් කළා. ඒ දේවල් කළේ ඇත්තටම විනෝදාංශයක් විදියට. නමුත් ඩාන්සින් කවර්ස්වලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඉදිරියේදීත් නර්තනය පැත්තෙන් සහ ගායනය පැත්තෙන් කවර්ස් දෙක තුනක් එන්නත් තියෙනවා. දැන් ඇත්තටම නර්තනය, ගායනය, රංගනය කරන්නෙ මම ගොඩක් ආසාවෙන්.
ඒ කියන්නෙ කලාව වෘත්තිමය විදියට කරන්න ද කැමති?
ඇත්තටම එහෙම කැමැත්තක් නම් නැහැ. නමුත් කලාව කියන්නෙ මම ගොඩක් ආදරේ කරන ගරු කරන වෘත්තියක්. නමුත් අද රටේ තත්ත්වයත් එක්ක වෘත්තියක් විදියට මේ දේවල් කරගෙන යන්න අමාරුයිනෙ. ඉතින් තවම මම ඉගෙන ගන්නවා. ඉවෙන්ට් මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරනවා. ඒවත් එක්ක ඉදිරියට යන ගමන් තමයි මේ දේත් කරගෙන යන්නෙ.
රංගන ශිල්පිනියක් විදියට හර්ෂිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?
ඒ ආදරය නම් ඇත්තටම හරිම විශේෂයි. ඒවා පෙර පිනකට ලැබිලා තියෙන දෙයක් විදියට මම හිතන්නෙ. වැඩිපුරම සමාජ මාධ්‍ය හරහා තමයි මට ප්‍රතිචාර ලැබෙන්නෙ. ඒ ආදරය ගැන ඇත්තටම කියන්න වචන නැති තරම්. ඉතින් ඒ ආදරේ කරන අය වගේම බැනලා, විවේචනය කරලා එක එක කතා කියන අයත් ඉන්නවා. ඒ දේවලුත් නැතිවාම නෙමෙයි. ඒ හැමෝටම මම නම් ඉතින් ගොඩක් ආදරෙයි. හොඳ, නරක දෙකම කතා කරද්දි ඒකත් මේ ගමනට ලොකු ශක්තියක් කියන දේ මම විශ්වාස කරනවා.
මේ ගමන් මගේ ඉදිරියට යන්න ගෙදරින් ලැබෙන සහය කොහොමද?
ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නෙ. මම පොඩි කාලෙ ඉඳන් මේ ක්ෂේත්රයේ හිටපු නිසා ඉස්කෝලෙ වැඩ අතපසු වෙද්දි ඒ හැමදේටම අයියයි අක්කයි දෙන්නා මගේ පවුලෙන් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම අම්මයි, තාත්තයි මගෙ රූගත කිරීම්වලට පවා ඒ දෙන්නා පස්සෙන්ම ඉන්නවා. ඉතින් ඒ සහයෝගය, ශක්තිය එක්ක තමයි මේ ගමන මම සාර්ථකව යන්නෙ.
ධනු විජේරත්න