මේ වසරේ මගේ පවුල අයට වැඩි තැනක් දෙන්න හිතාගෙන ඉන්නේ
උදාවූ නව වසරේ අපි කාටත් අලුත් බලාපොරොත්තු සැළසුම් තියෙනවා. කලා ක්ෂේත්රයේ ඉන්න තරුවලටත් එහෙමයි. විරාජ් පෙරේරා කියන්නෙත් මේ උදා වූ 2023 වසරේ ගොඩක් බලාපොරොත්තු.. සැළසුම්.. පොදි බැඳගෙන ඉන්න කලා ශිල්පියෙක්. ඒ හින්දා මෙවර අපි හිතුවා විරාජ්ගෙන් ඒ ගැන අහන්න.
2023 කියන්නේ මට ලොකු බලාපොරොත්තු තියෙන වසරක්. එහෙම කියන්න හේතුව වෙන්නේ මම මගේ පවුලට ගොඩක් ලැදි කෙනෙක්. මගේ බිරිඳ හා දරුවෝ එක්ක සතුටින් මගේ පවුල් ජිවිතේ ගෙවන කෙනෙක්. මගේ දුව මේ වසරේ පස්වැනි වසරට සමත් වෙනවා ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඇය ඉගෙන ගන්නේ නුවර හිල්වුඩ් එකේ. පුතා දෙවැනි වසරට යනවා.
ඉතින් ඒ දෙන්නාගේ අධ්‍යාපනය පැත්ත ගැන මමත් මගේ බිරිඳෙත් ගොඩක් මහන්සි වෙනවා. මගේ බිරිඳ ගුරුවරියක් නිසා ඇයට ලොකු වගකිමක් තියෙනවා දුවගේයි පුතාගෙයි අධ්‍යාපන කටයුතු පිළීබඳව. ඒ හින්දා මේ වසරේදී අපි ඒ දෙන්නාගේ අධ්‍යාපන කටයුතු පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න හිතාගෙන ඉන්නවා.
කලා කටයුතු පැත්තෙන් ගත්තොත් දැනට චිත්‍රපට දෙකක මම වැඩ ඉවර කරලා තියෙනවා. 69 හා චිකලෝ කියලා. මේ දෙකම උදාර පල්ලියගුරු මහත්මයා අධ්‍යක්ෂණය කළේ. මම ඒ චිත්‍රපට දෙකේ හොද චරිත දෙකක් කරනවා. සිනමාව හරහා ප්‍රේක්ෂකයින් දකින් පළමු වසර මේක. ඒක මට විශේෂත්වයක් වෙනවා. සැහෙන්න කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් මේක.
ඒ වගේම මේ දිනවල පාරදිගේ හා හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබනවා මම. ඒ එක්කම මම මී මුරේ කියලා අලුත් ටෙලි නාට්‍යයක වැඩ කරමින් යනවා මේ ටිකේ. මේ ටෙලි නාට්‍යය හරහා මේ වසරේදී ප්‍රේක්ෂකයින්ට මාව දැකගන්න පුළුවන් වෙනස්ම විදිහේ චරිතයකින්. චරිතාංග නළුවෙක් විදිහට මම කරපු තවත් නිර්මාණ කිහිපයක්ම තියෙනවා මේ වසරේදී නිකුත් වෙන්න.
පසුගිය වසර කිහිපයකට සාපේක්ෂව මේ වසරේදිත් වැඩි ගීත රූප රචනා ප්‍රමාණයක මාව දකින්න පුළුවන්. වසර ආරම්භ කරමින් ජනවාරි මාසයේදී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ සුරංගනාවියේ.. කියන ගීතය එළිදකිනවා. ගීත රූප රචන හරහා තමයි බහුතරයක් මාව අඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වසරේදිත් ඒ දේවල්වලට වැඩිපුර යොමු වෙන්න අදහස් කරමින් ඉන්නවා.
කාලයත් එක්ක ගෙවුනු මේ ජිවිතය තේරුම් අරගෙන වැරදි අඩුපාඩු හදාගෙන උදාවුණ 2023 වසර කාටවත් කරදරයක් නොවී හොදින් ගෙවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හොඳ රංගන ශිල්පියෙක් වගේම දයාබර සැමියෙක්, ආදරණිය පියෙක් විදිහට මගේ පවුලේ අය සමග වැඩි කාලයක් ගෙවන්නත් මේ වසර මම යොදා ගන්නවා.
මගේ ආදරණිය බිරිඳ නර්තන ගුරුවරියක්. ඇයත් නිතරම වගේ කාර්යබහුලයි. මොකද, දැනට පෞද්ගලික පන්ති කිහිපයක්ම ඇය විසින් දැන් පවත්වගෙන යන නිසා. ඇයටත් මගෙන් වෙන්න ඕනා උදව් උපරිම හොදින් ලැබෙනවා. ඇයගෙනුත් එහෙමයි මට. ඉතින් පවුලේ අපි හැම දෙනාම ඉතා හොදින් මේ වසර ගෙවා දමන්න තමයි බලපෙරොත්තුවෙන් ඉන්නේ කියල කියන්න කැමතියි.
බුද්ධික සේනාධීර