මේ වගේ රටක කට්ටක් නොකා ඉදිරියට යන්න බෑ - කෝරළගේ සමන්
සමන්.. මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල නිර්මාණ කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්නවා. ජයප්‍රකාශ් සිවගුරැනාදන් මහතාගේ පාර දිගේ නාට්‍යයේ සුපුරැදු පරිදි වැඩ කරගෙන යනවා. ඊට අමතරව අලුත් නාට්‍යයකට වැඩ පටන් ගත්තා. කළුවා කියන අලුත් හැඩයක චරිතයකට මේ දවස්වල ලෑස්ති වෙනවා. ඊට අමතරව තම්බපණ්නි චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඒක සුජීව කනකරත්නගේ අධ්‍යක්ෂණයක්. ඔය අතරේ තව නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. බලමු..
සිකුරා මේ දවස්වල හරි ජනප්‍රියයි. සමන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සිකුරාට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ රටේ වගේම පිටරටවලත් හොඳ ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නවා. ඒ ගැන හරි සතුටුයි. බොහෝ නාට්‍යවල රඟපෑවත් පාර දිගේ නාට්‍ය ඇතුළේ අසීමිත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.
නළුවෙක් වීම පුංචි කාලේ ඔබ දැකපු හීනයක්ද?
ඔව්.. නළුවෙක් වෙන්න ලොකු අවශ්‍යතාවක් තිබුණා. ඒ අවශ්‍යතාවය හැදුණේ මගේ පාසල හරහායි. මගේ ගම කොත්මලේ. පාසල් තුනක ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත දෙවැනි පාසලේ සිට මම නාට්‍ය කරන්න පෙළඹුණා. නාට්‍ය ඇතුළේ මගේ ජීවිතය ගොඩනගන්න මට ඕන වුණා. පාසලෙන් අපි වේදිකා නාට්‍යවලට එකතු වුණා. මගේ ගණිත ගුරැතුමා මාව වෙනත් තැනකට ඔසවා තැබුවා. ඔහු මා තුළ තිබුණු හැකියාව හඳුනා ගත්තා. පාසලේදීත් මම වේදිකා නාට්‍ය බැලුවා. දවසක් මම යාළුවෙක් එක්ක ඉස්කෝලෙන් හොරෙන් පැනලා ගිහින් නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක නාට්‍යයක් බලන්න ගියා. එදා ඒ බාලිකා පාසලේ නාට්‍ය බලන්න පිරිමි ළමයි හතර දෙනෙක් විතර හිටියා. එදා විදුහල්පතිතුමාට හසුවුණාම &අපි වරදක් කරන්න නෙමෙයි ආවේ... අපි නාට්‍ය බලන්න ආවේ කියලා කිව්වා. ඒ වගේ නාට්‍ය පිපාසයක් ඒ කාලේ ඉඳන්ම මට තිබුණා. ඒ පිපාසය තමයි මේ ඉදිරි ගමනට එකම හේතුව වුණේ.
පුංචි කාලේ මොන වගේ චරිතයක්ද?
පුංචි කාලේ මම නාහෙට අහන්නේ නැති චරිතයක්. හැබැයි ඒ සියලු දේවල් ලස්සනට තුලනය කරලා හොඳ ලෝකයක් දකින්න පුළුවන් හොඳ හදවතක් තියෙන, මනුස්සයෙක්ව තේරැම් ගන්න පුළුවන් මිනිහෙක් කළේ ඒ අතීතයයි.
කොහොමද යෙහෙලි එක්ක ගත කරන ජීවිතේ?
මගේ බිරිඳ යෙහෙලි රංගිකා. එයා එක්ක ගත කරන ජීවිතේ හරි සුන්දරයි.
සමන්ගේ පවුලේ විස්තර කිව්වොත්?
මගේ ගම කොත්මලේ. අම්මයි අප්පච්චියි අක්කලා හතර දෙනයි ඉන්නේ. මම පවුලේ බාලයා. එකම කොල්ලා. මේ ඒ අයගේ ආදරයත් එක්ක ආපු ගමනක්
කොත්මලේ ඉඳන් කොළඹට ඇවිත් කලාවට සම්බන්ධ වීම තුළ දුෂ්කරතාවලට මුහුණ දුන්නද?
ඔව්.. ඒකට කට්ටක් කෑවා. මේ වගේ රටක ඒ වගේ කට්ටක් නොකා ඉදිරියට එන්න අමාරැයි. ගමයි නගරයයි අතරේ තියෙන ප්‍රශ්නයට වඩා මේ රටේ පවතින ක්රමවේදයෙයි ප්රශ්නය තියෙන්නෙ. ඒක ඒ කාලෙත් තිබුණා. විශාල කාලසීමාවක් ගත කරලා විශාල උත්සාහයක් ගනිමින් තමයි අද මම ඉන්න තැනට ආවේ. තාමත් මම මේ ක්ෂේත්රයට ඇවිත් නැහැ. තාමත් අපේ හිත පිනවන්න තමයි අපි මේ ගමන යන්නෙ. මේ රට අපිට ජීවත් වෙන්න පරිසරය හදලා දීලා නැහැ. තාමත් මේ ගමන හරි දුෂ්කරයි.
ජීවිතේ ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද?
බලාපොරොත්තු තියෙනවා. නමුත් මේ පවතින තත්ත්වය හමුවේ බලාපොරොත්තු තියාගන්න අමාරැයි. ඉන්න කාලේ සතුටින් ඉන්න එක තමයි දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව.
දිශානි ජයමාලි