මේ වගේ චරිතයක් කරන්න ලංකාවේ කිසිම තරුණ නිළියක ඉදිරිපත් වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයේෂා පෙරේරා ගැන බොහෝ දෙනා කතාවෙන්න පටන් ගත්තෙ 2006 දී ඇය ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ පැළඳි නිසයි. ඉනික්බිතිව මිස් ඉන්ටර්නැෂනල් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයේෂා නිරූපිකාවක, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් කටයුතු කළාය. ඉනික්බිතිව දේශපාලනයට පැමිණි ඇය ඒ සියල්ලට සමුදී රට හැර ගියේ මීට වසර පහකට පමණ පෙරදීය. එහෙත් ගයේෂා ගැන බොහෝ දෙනා කතා කරන එක නම් නතර නොවූයේ සංජීව පුෂ්ප කුමාර සිනමා නිර්මාණකරුවාගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ නිර්මාණය නිසාය. ඉගිල්ලෙන මාළුවෝ නිසා රංගනයේදී ඒ චරිතයට අනුව අඩ නිරුවත්වීමට සිදුවූ නිසාම ගයේෂාගේ ඒ අභියෝගාත්මක චරිතය ගැන බොහෝ දෙනා කතා කරන්නට වූහ. වරෙක තහනමටද ලක්වූ ඉගිල්ලෙන මාළුවෝ (flying fish) මෙරටදී තිරගත වීම් ඇරඹෙන්නේ මෙම පෙබරවාරි 3දා සිටය. ඉතින් එහි අභියෝගාත්මක චරිතයක් රඟපාන ගයේෂා එක්ක කතා  කිරීමට මේ හොඳම වෙලාව නේද? හැබැයි ඒ වෙනුවෙන් අපට ඇය මුණ ගැසීමට ‘ඇමරිකාවේ කැලිෆෝර්නියාවට’ යාමට සිදු වෙනවා. මේ එහි වෙසෙන  ගයේෂා අපට හමුවූ විදියයි. 

ගයේෂා කාලයකට පස්සේ, කොහොමද ඉතින්? 

හොඳින් ඉන්නවා. මගේ පවුලෙ අයගෙන් වගේම ලංකාවෙන් දුරස්වෙලා ඉන්න එක ගැන නම් දුකයි. මෙහි සිට චූටි පුතා සහ සැමියා එක්ක සතුටින් කාලය ගත කරනවා. 

ලංකාවේ සමහරු අහනවානෙ දැන් සැපද?  කියල? ඉතින් අපි ගයේෂාගෙන් ඇහුවොත් ඇමරිකාවෙ ගෙවන ජීවිතය දැන් සැපද? කියලා? 

ඒක මාර ප්‍රශ්නයක්. කොහොම වුනත් ලෝකෙ කොයි රටේ හිටියත් අපට ජීවත් වෙන්න ජොබ් කරන්න වෙනවා. එක්කෝ තමුන්ගේම ව්‍යාපාර  කරන්න වෙනවා. මෙහේ ආවා කියලා අපට නිකන් ඉන්න බැහැනේ. ඉතින් හරි රැකියාවක් හොයා ගත්තොත් සැපයි තමයි. රැකියාවක් කරන අතරේ ගෘහණියක ලෙස මම මගේ වැඩ ටික කරනවා. ඉතින් ප්‍රශ්න කියන ඒවා නැත්තෙ නැහැනේ. ලෝකෙ කොහේ ගියත් මොනවා හරි දෙයක් තියෙනවනෙ. මවක ලෙස බිරිඳක් ලෙස මට වගකීම් තියෙනවා. පසුගිය කාලයේදී මම කළ රැකියාවට මීට සති තුනකට විතර පෙරදි සමු දුන්නා. වෘත්තිය වශයෙන් මෙඩිකල් කෝඩර් (medical coder) කෙනෙක් විදියට තමයි වැඩ කළේ.

ඉතින් ඇයි අයින් වුණේ? සරු වැඩි නිසාද? 

එහෙම නෙවෙයි. ඒ කාලයේ ඉඳලම මට තිබුණු හීනයක් වුණේ ඇමරිකාවේදී මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කුඩා දරුවන් වෙනුවෙන් පටන් ගන්න මට පුළුවන් වුණා.  පූර්ව ළමා විය ගැන හදාරා සහතික පත්‍ර ලාභිනියක වූ පසුව තමයි මට ඒ වැඩේ පටන් ගන්න පුළුවන් වුණේ. පසුගිය දිනෙක අපේ ලංකාවේ  සුපිරි නළු රන්ජන් රාමනායක  ආවනෙ. එයා අතින් තමයි ඒ Day Care Center එක විවෘත වුණේ. මගේ එක් සිහිනයක් සැබෑවීම නිසා මම ඉන්නේ සතුටින්. 

කොහොමද ගයේෂාගෙ පුතා? 

මගේ පුතාගේ වයස අවුරුදු පහයි. පෙර පාසල් යනවා. මේ වසරේ අගෝස්තුවේදී එයා පළමු පංතියට ඇතුළත් වෙනවා. වැඩි කාලයක් ගත වෙන්නේ එයා එක්ක. 

සැමියා ගැනත් කියමු? 

එයා මෙඩිකල් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරනවා. ෆාමසි අංශයේ. ඉතින් මෙහෙට ගැලපෙන විදියට අපි අපේ ජීවන රටාව කරගෙන යනවා. 

ඇමරිකාවට ගිහින් කොච්චර කල් වෙනවද? 

අවුරුදු පහකට ආසන්නයි. 

ඒ ගෙවී ගිය කාලයේදී කලා අංශයේ වැඩවලට සම්බන්ධ වුණේම නැද්ද? 

කොරෝනා ලොක්ඩවුන් කාලයේදී දූවිලි සුළඟ ටෙලි නාට්‍ය විකාශය වුණා. එහි ඉතිරි කොටස් රූගත කළේ මෙහේ සිටින පියල් ජයශංඛ මහතා. ඒ නාට්‍ය ත්‍රිශුල දීප තඹවිටගෙ. ඒ හැර වෙනත් නිර්මාණවලට දායක වෙන්න අවස්ථා ලැබුණෙ නැහැ. 

ගයේෂා ඔබ මොනවා කළත් මේ දක්වා ඔබ ගැන බොහෝ දෙනා කතා කරන්න හේතුවක් වුණේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ ෆිල්ම් එකේ ඔබගේ චරිතය නිසයි. ඔන්න දැන් ඒ ෆිල්ම් එක එළියට ඇවිත්? 

ඔව් ඒක ඇත්ත. මේ ෆිල්ම් එක ගැන මම මොනවා හරි පිංතූරයක් දැම්මොත් වැඩි දෙනා කතා වෙන්නෙ ඒ ගැන. ඒත් ඒ විදියට අදහස් ප්‍රකාශ කරන අයට එරෙහිව මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ.

කොහොම වුණත් චිත්‍රපට සියයක රගපෑවට වඩා ඉගිල්ලෙන මාළුවෝ ඔබ රඟපෑ චරිතය ගැන මිනිස්සු කතා වෙනවා නේද? ඒකට හේතුව මේ කතාවේ හැටියට රංගනයේදී නිරුවත් වෙන්න සිදුවූ නිසාද? 

තුන්වැනි ලෝකයේ රටක් හැටියට අපේ රටේ සහ අසල්වැසි ඉන්දියාව කියන්නෙත් විශාල බන්ධනයක් තියෙන රටවල් දෙකක්. අද කාලයේදී පවුලක දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් හැදුවට ඒ කාලයේ පවුලක දරුවො එකොළහක්, දොළහක් හිටියා. සාමාන්‍යයෙන් ඒ කාලයේ පවුලක් ලොකුයි. අද කුඩා පවුල හෙවත් පුංචි පවුල රත්තරං වෙලා. හැබැයි සෙක්ස් හෙවත් ලිංගිකත්වය අන්තර්ජාලයේ.

එහෙම බැලුවම සෙක්ස් නොබලපු කෙනෙක් ලංකාවේ නැති තරම්. හැබැයි පෝස්ටරයක් දැක්කත් කුතුහලය තියෙන්නෙ. සමහර විට ඒක ආසාව හරි කැමැත්ත හරි නිසා වෙන්න පුළුවනි. පසුගිය කාලයේදී නිර්මාණය වූ චිත්‍රපට අතරින් වැඩිපුරම කතාබහට ලක්වූ චිත්‍රපටය ‘ඉගිල්ලෙන මාළුවෝ’ කිව්වොත් හරි. 

ඒකට හේතුව මේ කියන සෙක්ස් ජාතියේ චිත්‍රපටයක් වීමද? 

එහෙමමත් නෙමෙයි. ඒක එක් එක් හේතු මූලික වුණා. මේක නිර්මාණය වූ විදියට ගැන මේ රටෙ සී අයිසී එකට ප්‍රශ්න තිබුණා. ඒ නිසා ඒ කාලයේ රටේ පැවැති වාතාවරණයට එක්ක එයාලා ප්‍රශ්න කරන්න ඇති. තහනමකට ගියේ ඒ වගේ දේ නිසයි. සෙක්ස් කියන පැත්තට වඩා කතාව පිළිබඳ වූ හේතු මුල් වෙන්න ඇති. මේ රටේ පැවැති යුද්ධ කාලයේදී සිටි කාන්තාවන් තුන් දෙනෙක් මුල් කරගෙන චිත්‍රපටයේ කතාව විකාශය වන්නනෙ. මේ තුන්දෙනා එකී කාලවකවානුවේදී මුහුණ දුන් සිදුවීම් මේ චිත්‍රපටයෙන් කියැවෙනවා. මේ චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයින් අපූරු කතාවක් ගැන ජීවිතය ගැන අපූරුවට කියාවි. ඒ නිසා  යන්න හැමෝම ගිහින් බලන්න ඉගිල්ලෙන මාළුවෝ. මේ චිත්‍රපටයේ හරිම එක නරඹන්න දැන් ඔබට පුළුවනි. චරිතයෙන් කියැවෙන්නේ ඒ ගැන මම අතිශයෝක්තියෙන් කියන්න කැමති නැහැ. චිත්‍රපටය නැරඹූ පසු ප්‍රේක්ෂකයින් ඒ ගැන හරිම විදිය කියාවි. මේ වගේ චරිතයක් කරන්න ලංකාවේ කිසිම තරුණ නිළියක ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් එදා ඒ අභියෝගය මම බාර ගෙන එය කළා. මම කියන්නෙ ප්‍රවීන අය ගැන නොවෙයි. මම එදා වාසනා කියන ඇත්තම ඇත්ත කාන්තාවට දුන් ජීවය ගැන බොහොම සතුටු වෙනවා.

හරිම එක කිව්වේ? 

මීට පෙර කට් කරපු එකක් එළියට ගිහින් තිබුණා. ඒත් එක කොහොම එළියට ගියාද කියලා අපි දන්නේ නැහැ. අවාසනාවකට එහෙම වුනත් හරිම ෆිල්ම් එක ඔරිජිනල් එක දැන් නරඹන්න පුළුවනි. 

ඔබ එදා මොන  විදියකින් හෝ චරිතය වෙනුවෙන් නොබියව පෙනි සිටියේ මොන වගේ  හේතුවක් නිසාද? 

ස්ත්‍රිය, සමාජය අභියස විශාල වශයෙන් මුහුණ දෙන ගැටළු කොන්වෙලා ජීවත්වන ස්ත්‍රීත්වය ඇතුළෙ, ඇත්තම ඇත්ත කාන්තාවකට මුහුණ දීමට සිදුවන ඛේදනීය ඉරණම ගැන, තමයි වාසනාගේ හොයන අංක එකේ රට ලංකාව වෙලා. 

මේ චිත්‍රපටය අවුරුදු 12කට පෙර කළ එකක්? අදට? 

මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි ටයිටැනික් ගනිමු. කොච්චර බැලුවත් ඒක අපට බලන්න හිතෙන දේ තියෙනවා. මිනිසුන්ගෙ රසවින්දනය තියෙන්නේ නිර්මාණයෙහි පරණවීම් එක්ක නෙමෙයි. තමන් මොන විදියටද නිර්මාණය රස විඳින්නෙ කියන එක මතයි. 

ලංකාව වගේ සෙක්ස් භීතියක් තියෙන රටකදී මේ වගේ අභියෝගාත්මක චරිතයක් බාර ගත්තා නම් ඇයිගයේෂාට  තවම ඇමරිකාවේදී නිර්මාණයකට දායක වෙන්න බැරි වුණේ? 

මම හිතන්නෙ ඒකට මම කලබල වෙන්න ඕනැ නැහැ. මුලින්ම මම මගේ ව්‍යාපාරයේ ස්ථාවරය හදාගෙන ඉන්පස්සෙ ඒ ගැන හිතනවා. තව කල් තියෙනවා. 

සඳුන් ගමගේ