මේ පාර අපි අවුරුදු ජයටම සමරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල කලා නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවන ශාලිකා එදිරිසිංහ බොහෝ දෙනකු වර්තමානයේ ආදරය කරන තරුණ රංගන ශිල්පිණියකි. තවත් නොබෝ දිනකින් උදා වන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ළහිළහියේ සූදානම් වන ශාලිකා එදිරිසිංහ අපි ඒ ගැන මෙසේ තොරතුරු විමසුවා.

අලුත් අවුරුද්දට කොහොමද ශාලිකාගේ සූදානම

අවුරුද්දට එකපාරයි නේ අපිට අවුරුදු තියෙන්නේ. මම කැමතියි එහෙම විශේෂ දවසක් සිංහල අපිට තියෙනවට. එකම දවසේ එකම වෙලාවේ මුළු ලංකාවේම ඉන්න සිංහල මිනිස්සු අපි හැමෝටම එකට එකම මේසේ ඉඳගෙන කිරිබත් කන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන්, කිරි උතුරවන්න පුළුවන්, එකම වෙලාවට ආගමික චාරිත්‍ර වාරිත්‍ර කරන්න පුළුවන් දවස මේක. මම සිංහල අවුරුද්දේ දකින සුවිශේෂත්වය එකයි. ඒ වගේම තමයි අපේ සිංහල සංස්කෘතියේ සිරිත් විරිත් අපේ අනාගත පරපුරට සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් වෙන්නෙත් මේ අවුරුදු දවසේදී තමයි. වසරකට වරක් එන මේ විශේෂ දවස සමරන්න ඉතින් මමත් මගේ පවුලේ හැමෝමත් හොඳ සූදානමකින් ඉන්නවා මෙදාපාර.

ශාලිකා කැවිලි පෙවිලි එහෙම හදන්න දන්නවද?

කේක් අලුවා වගේ දේවල් තමයි දන්නේ. උයන්න පිහන්න දන්නවා උනාට ගොඩක් අවුරුදු කැවිළි පෙවිලි නම් හදන්න දන්නේ නැහැ මම. ඒ දේවල් ඉතින් හදන්නේ මගේ අම්මා. අම්මාට මම අත් උදව් දෙනවා. හැම අවුරුද්දකදීම අපි දෙන්නා එකතු වෙලා තමයි ගෙදර කැවිලි පෙවිලි ටික හදන්නේ. කොහොමත් මගේ කෑමවලට වඩා අම්මාගේ කෑම රසයි.

අලුත් ඇඳුම් එහෙම හැමෝටම ගත්තද?

ඔව්, පවුලේ හැමෝටම ගත්තා විශේෂයෙන්ම අම්මාට, තාත්තාට. ඒ වගේම මගේ අයියාට එයාගේ දරුවන්ටයි ඇඳුම් ගත්තා. අවුරුද්දටම කියලා නැහැ ඉතින් ඔය යුතුකම් ටික මගේ අතින් හැමදාම වෙනවා. ඒත්, අවුරුද්ද කියන්නේ අපි හැමෝටම සුවිශේෂි දවසක්නේ. ඉතින් හැමෝටම මතක හිටින තෑගි මම දෙනවා ඒ දවසට.

ගමේ අවුරුදු ආසිරිය ශාලිකා විඳලා තියෙනවද?

ඔව් මම ගමක හැදුණ වැඩුණ කෙල්ලෙක්. ඉතින් මම හොඳට ගමේ අවුරුදු අසිරිය හොඳටම විඳලා තියෙනවා. අපේ කාලේ තමයි අවුරුදු හොඳටම අපේ ගම්වල තිබුණේ. දැන් නම් එහෙම අවුරුදු අසිරියක් ගම්වලත් මම දකින්නේ නැහැ. ඒක අපේ අනාගත පරපුරට නම් ලොකු පාඩුවක්.

ශාලිකා අවුරුදු කුමාරි තරගවලට එහෙම ගිහින් ඇති?

තෙරේන කාලේ ඉඳලා මම ඒ වගේ තරගවලට ගිහිල්ලා තියෙනවා. ගමේ ඉන්න කොට හැමදාම වගේ අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙනවා. එක් අවුරුද්දක් හැරෙන්න මම සහභාගි වුණ හැම අවුරුද්දකම වගේ මම තමයි පළමුවැනියා වුණේ. දෙවැනියා වුණ අවුරුද්දේ මම පොඩි වැඩියි අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ඉතින් හරියට පාසලේ නම කියාගන්න බැරිවුණ හින්දා තමයි මට දෙවැනියා වෙන්න සිදුවුණේ. ඒක මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ.

කලාකාරිණියක් විදිහට අවුරුදු කාලයට ඔබ ටිකක් කාර්යබහුලයි නේද?

ඔව්, කාර්යබහුලයි. මොකද, අවුරුද්ද සමරන්න අපි හැමෝම වැඩ ඉක්මණට ඉවර කරනවා. ඒ අතරේම කලාකරුවන්ට වෙන්වුණ අවුරුදු වැඩසටහන් තියෙනවා. විශේෂයෙන්ම කලා අවුරුදු උත්සව. ඊට අමතරව අපිට ආරාධනා කරන අවුරුදු උත්සව තියෙනවා. හැම එකකටම යන්න බැරිවුණත් පුළුවන් හැම එකකටම වගේ මම සහභාගි වෙනවා. එහෙම බැලුවම මුළු අවුරුද්දෙන්ම ගොඩක්ම මම කාර්යබහුල වෙන්නේ මේ අවුරුදු මාසේ තමා.

බුද්ධික සේනාධීර