මේ නාලිකා කරන්නෙ මේ ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාවය සූරාකෑමක්. මොකද ගෙවීමක් කරන්නෙ නැහැනෙ
රොඩ්නි වර්ණකුල නමැති මේ ප්‍රවීනයා, වේදිකාව, සිනමාව සහ ටෙලි නිර්මාණ මෙන්ම ප්‍රාසාංගික වේදිකාව ඔස්සේ අපට හමුවුවද, විද්‍යුත් මාධ්‍යයේ හෝ මුද්‍රිත මාධ්‍යයේදී නම් අපට මුණගැහෙන්නේ ඉතාම කලාතුරකිනි. රංගන හා ප්‍රාසාංගික කලා ක්ෂ්ත්රයේදී අපට හමුවන සැබෑ විශිෂ්ටයකු ලෙස අතිශයෝක්තියකින් තොරව අපට ඔහු නම් කළ හැකිය. මිනිසකු බාහිර සමාජයේදී බැබලෙන්නේ බාහිර පෙනුමට වඩා දක්ෂතාවයෙන් බව කදිමට සනාථ කළ චරිතයක් වන කොයිකාගේත් ආදරය දිනූ, රොඩ්නි වර්ණකුල ප්‍රවීනයා මේ දිනවල අපට මුණගැහෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී - 3 චිත්‍රපටය සමගය. බහුභූතයෝ (ගින්දරී - 1) ගින්දරී - 2 සහ මෙලෙසින් ගින්දරී 3 සමග ඔහු අපට හමුවන්නේ බන්ටි ලෙසය. ඉතින් බන්ටි වූ රොඩ්නි එක්ක හරබර රසබර කතාබහකට අපි එක්වෙමු.
රොඩ්නි, වේදිකාවට ගහට පොත්ත මෙන් බැඳී සිටින ඔබ මේ දිනවල වේදිකාවේ දායක වන නිර්මාණ ගැන සිහිපත් කළොත්?
සුපුරුදු පරිදි නරිබෑනා නාට්‍යයේ දර්ශනවලට දායක වෙනවා. ඊට අමතරව මනෝ රඟ සොබා සමඟත්, අලුත් වේදිකා නාට්‍යයක් වන පිස්ටෝලේ නැහැ නාට්‍යයටත් දායකව සිටිනවා. රොඩ්නි වර්ණකුල ඔෆිෂියල් නමින් පවත්වාගෙන යන මගේ යූටියුබ් නාලිකාවෙන්, රසමුසු ප්‍රාසාංගික දේ බෙදාහදා ගන්නවා. මනෝ සොඳුරු රඟසොබා නවතම දර්ශනයක් දෙසැම්බර් 18 ලයනල් වෙන්ට්ඩ්හිදී පැවැත්වෙනවා.
කොහොමද රොඩ්නිගෙ ගෙදර ජීවිතය?
ගෙදර ජීවිතය සතුටින් කාලය ගත කරනවා. කොරෝනා තිබූ කාලයේදී වුනත්, කාටත් වගේම අපිටත් දුෂ්කරතා තිබුණා. ආතතිය තිබුණා. පසුව ආයෙත් වැඩ කරද්දී ඒ තත්ත්වය මගහැරී ගියා. ආගමිකවත් අපි කරුණු කාරණා අවබෝධ කරගෙන ඉන්නකොට ඒ වගේ ආතතියක් ආවම ඒවා මගහරවා ගන්න පුළුවනි. කොරෝනාව අපි හැමෝටම වදදුන්නානෙ. ස්වභාවධර්මය අපට දෙන දේ අපි හොඳින් අවබෝධ කරගත්තාම, ජීවිතයට මුහුණ දෙන්න පුළුවනි. ස්වභාවධර්මයේ නීතිය තමයි අපේ ජීවිතවල නීතිය වෙන්න ඕනෑත්. කොහොමටත් එන විදියට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෑ. කොරෝනා ඉවරවුණාම රටේ ප්‍රශ්න ඉවරවුණේ නැහැනෙ. ඒක අපේ රටේ ස්වභාවය. පාලකයින්ගේ අදක්ෂකම් නිසා විඳවන්නෙ මිනිස්සු.
මේ ස්වභාවය එක්ක රොඩ්නිගෙ දවස ගෙවෙන විදිය?
මම බොහොම සතුටින් ඉන්නෙ. මොකද මම දැන් තුන් සීයා. ඒ කියන්නෙ මට දැන් මුණුපුරාලා දෙන්නෙක් සහ මිණිපිරියක් ඉන්නවා. ඒ අයගෙ මුහුණ බලමින්, සුරතල් බලමින් කාලය ගෙවීම හරිම සුන්දරයි. ඒවා හරියට අපේ ජීවිතයට ලැබුණු දිව්‍ය සුරකුමර කුමරියෝ වගේ තමයි. එයාලා එක්ක බොහොම සතුටින්.
රොඩ්නි, මොන තරම් නිර්මාණවලට දායක වුනත්, ඔබ නිරන්තරයෙන් පුවත්පත් සාකච්ඡා සහ විද්‍යුත් මාධ්‍යයේ පෙනී සිටින කෙනෙක් නෙවෙයි? ඇයි ඒ?
මෙහෙමයි. මම මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 41 කුත් පහුවුණා. රූපවාහිනී මාධ්‍ය වගේම එෆ්.එම්. නාලිකා පවා ආවේ අපි ක්ෂේත්රයට ආ පසුවයි. ඒ විදියට විද්‍යුත් නාලිකා එහෙම ආවාම අපි හිතුවෙ ඒවායින් රටට ක්‍රමවත් වැඩපිළිවෙළක් වේවි කියලයි. නමුත් අදටත් අපි දකින දේ තමයි තවමත් අනන්‍යතාවයක් හදාගෙන නැතිකම. අපටම කියලා දෙයක් හොයාගෙන නැතිකම. සමහර වෙලාවට නොගත යුතු පිටරට දේ වලින් රූපවාහිනී නාලිකා පුරවාගෙන. සමහරු ඒවා බලනවා, සමහරු බලන්නෙ නැහැ. ඉන්පසුව අන්තර්ජාල මාධ්‍ය ඇවිත්. මේ සියලු දේ එක්ක බොහෝ දේ අපෙන් ගිලිහී ගිහින්. රූපවාහිනියෙන් අද බොහෝදෙනා ඈත්වෙලා වගෙයි පෙනෙන්නෙ. අනෙකුත් මාධ්‍යයත් එහෙමයි. ඒකට හේතුව ඒ නාලිකාවල ස්වභාවයයි. කාගෙවත් දේ නිතර කොපි කරන්නත් බැහැනෙ. අද සමහරවිට ටෙලි නාට්‍ය පාලනය කරන්න අධ්යක්ෂවරයා නෙවෙයි. අධ්යක්ෂවරයාට වඩා ටෙලිවිෂන් එකේ පාලකයින් තමයි ටෙලිනාට්‍ය පාලනය කරන්නෙ. එෆ්.එම්. නාලිකාවල මාධ්‍ය සාදාචාරයක් අද වන විට නැති තරම්. මුල් කාලයේදී ඒවා ප්‍රමෝට් කරගන්න සහ තිබූ අලුත් ගතිය නිසා වේදිකා නාට්‍යවල ශිල්පීන් ඇතුළු කලාකරුවන් ගෙන්වා ගෙන ප්‍රෝග්‍රෑම් කළා. නමුත් පසුව එයාලා කලාකරුවන් ගෙන්වා ගත්තෙ චැනල් බබලවා ගන්න. කිසිදු මුදලක් නොගෙවා, තමන්ගෙ ආයතනයට ගෙන්වා ගුවන් කාලය පුරවා ගැනීම තමයි එයාලා කරන්නෙ.
ඒ නිසා තමයි ඔබ වැඩිය දකින්න නැත්තෙ?
බලන්නකො සති අන්ත වැඩසටහන් කොච්චර නම් තියෙනවද? ඒවාට අපේ කලාකරු චරිත ඇවිත් නටනවා, සිංදු කියනවා, ඒ විදියට පෙනී සිටිනවා. එහෙම පෙනී හිටලා නාලිකාවල ගුවන් කාලය පුරවලා එයාලට ගාණක් දැන්වීම් වලින් හම්බකරලා දීලා, නොමිලේම කලාකරුවෝ තමන්ගේ දායකත්වය ලබාදෙනවා. ඒ විදියට යන අයට ඕනෑ නම් ප්ලේන්ටි එකක් දේවි. නැත්නම්, තේරුමක් නැති පුංචි තෑගි මල්ලක් දෙනවා. වතාවක මටත් එහෙම දෙයක් ලැබුණා, ගෙදර ඇවිත් බලද්දි කවුරුවත් භාවිතා නොකරන ෆෝන් එකක්. හරියට ටොයිස් එකක් වගේ. අදටත් වෙන්නෙ ඒ වගේ දේ. හැබැයි එයාලගෙ ගුවන් කාලය පුරවන්න, සාකච්ඡා උදේ, දිවා, රාත්‍රී සවස වැඩසටහන්, මේ ඔක්කෝටම කලාකරුවෝ ගෙන්වා ගන්නවා. මේ නාලිකා කරන්නෙ මේ ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාවය සූරාකෑමක්. මොකද ගෙවීමක් කරන්නෙ නැහැනෙ.
ඔබ එහෙම කිව්වට, ඔය ඕනෑ තරම් තරු නිතර රූපවාහිනී, එෆ්.එම්. වල පෙනී සිටින්න වැල නොකැඩී එන්නෙ?
අනේ ඔව්, ඔව්, මම මෙහෙම නොගියට, අනේ දෙයිහාමුදුරුවනේ ඔය ඕනෑ තරම් අය එන්නෙ. ඒකෙ කිසි ගැටලුවක් නැහැ. ඒ අය අතරේ අලුත් වගේම පරණ අයත් ඉන්නවා. ඉඳහිටලා හරි ගිහින් පෙනී සිටීම හොඳයි කියලා පරණ අය හිතනවත් ඇති. අපිට දැන කියාගන්න හොඳම තැන මෙතැන කියලා අලුත් අය හිතනවා ඇති. කොහොම වුනත් වැඩසටහන් නිෂ්පාදකවරු හොඳින් මෙයාලගෙන් නොමිලේම ප්‍රයෝජන ගැනීමක් වෙන්නෙ. අපි හිතමු ක්‍රිකට් තරගයක් දිනුවා කියලා, නැත්නම් වෙනත් ක්‍රීඩාවක තරගයක් දිනුවා කියලා. ඔන්න ඉතින් ඒ කණ්ඩායමේ හය හත්දෙනෙක් ගෙනැල්ලා නාලිකාව බබලවා ගන්නවා. අලුතින් ටෙලි නාට්‍යයක් පටන් ගන්නකොට, ෆිල්ම් එකක් පටන් ගන්නකොටත් එහෙමයි. සියල්ල දඩමීමා කරගෙන හරිම ලෙහෙසියට සතපහක්වත් වියදම් නොකර විවිධ අංශවල තරු වලින් නොමිලේම ප්‍රයෝජනයක් ගන්නවා. ආටිස්ට්ලා තමුන්ගෙ වාහන වලින්ම, තමුන්ගෙ පෙට්‍රල් ගහගෙන මේවාට දායක වෙනවා. මොනයම් විදියකින් හෝ මේ කරන්නෙ සූරාකෑමක්. ඒ නිසා මම නම් ඒවාට දැන් නොයන තරම්. සමහර චැනල්වලට මම අවුරුදු 20 කින් විතර අඩිය තියලා නැහැ. ඒකට හේතුව මාව දැනුවත්වම එයාලා එදා මාව සූරාකෑවා. මට ලැබිය යුතු මුදල් පවා තියෙනවා. තවම ලැබිලත් නැහැ. අපි හිතමු චැනල් එකක සංදර්ශනයක් පවත්වනවා කියලා, එදාට මාත් ගායකයකු ලෙස ඇරයුම් ලබනවා. ඉතින් මාත් යනවා. නමුත් කොටස් දෙකකට දෙවිදියකට සලකන්නෙ. ඉතින් ඒවා තේරුම් අරගෙන තමයි මම ටික ටික ඒවායින් ඈත්වුණේ. සාධාරණ ශිල්පීය ගාස්තුවක් ගෙවනවා නම් විතරක් මම යනවා.
ඔබ ගීත කීපයක් නිර්මාණය කළා කියලා කිව්වනෙ, ඒවා ඔය චැනල්වල ප්‍රචාරය විකාශය වෙනවද?
සංයුක්ත තැටි දෙකක් කළා, 2000 දී සහ 2011 දී එකක් කළා. නමුත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ සිටි.එෆ්.එම්. හෝ වෙළඳ සේවය, ස්වදේශීය සේවය සහ බොහෝවිට ලක්හඬ විතරයි ඉඳහිට හෝ ඒවා ප්‍රචාරය කරවන්නෙ. මම නොදන්නා තවත් ඒවා ඇති. මොකද අපි එෆ්.එම්. කණේ ගහගෙනම ඉන්නෙ නැහැනෙ. ඒත් සමහර එෆ්.එම්. වලට අපේ සිංදු ඇලජික්. ඒ නිසා තමයි අපේ ගීත නිර්මාණ යූටියුබ් හරහා රසිකයින් අතරට යවන්නෙ. ගෙවී ගිය මගේ හතළිස් වසරක කාලයේදී ගීත තුන්සියයක් විතර කරලා තියෙනවා. එයින් දහයක් දොළහක් විතර ඇහෙන්නෙ අර මම කිව්ව චැනල් (එෆ්.එම්) වලින් විතරයි. ඉතින් නොගියා කියලා මට නම් ප්‍රශ්නයකුත් නැහැ.
හොඳයි, අපි දැන් ගින්දරි 3 ගැන කතා කරමු?
උදයකාන්ත මහතා බහුභූතයෝ (ගින්දරී - 1 ලෙස) සහ ඊට පස්සෙ ගින්දරී කළා. ඉතින් ගින්දරී - 3 රිලීස් වෙලා. ඒත් ඇත්තටම ඒක එන්න තිබුණෙ 2020 දී. කොරෝනා නිසා වසර දෙකක් කල් ගියා. මේ චිත්‍රපට තුනේම මගේ චරිතයෙ නම බන්ටි. ලැන්ටි ලෙස මහේන්ද්‍රත්, චමින්ද ලෙස රිචඩ් මානමුදලි රඟපානවා. පබෝදා ගින්දරී ලෙස රඟපානවා. මුලින්ම බන්ටි සහ ලැන්ටි යක්ෂණීට බයවූ විදිය ගලා ගියා. ඉන්පසුව යක්ෂණීව මම විවාහ කරගෙන දරුවකු ලැබෙනවා. ඉතින් මේ ගින්දරී - 3 චිත්‍රපටයේ තියෙන්නෙ ඒ දරුවාගේ වික්‍රමයන්. මේ ගින්දරී -3 රූගත කළේ 2019 දී. උදයකාන්ත අධ්යක්ෂවරයා කියන විදියට තවම මේ චිත්‍රපටය තිරගත කරන්න පටන් අරගෙන සීමිත දින ගණනක් විතරයි. ඒත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බව ඔහු සඳහන් කළා.
සඳුන් ගමගේ