මේ නාට්‍යයට සම්බන්ධ වුණු මුල් කාලෙම ප්‍රේක්ෂකයො මගේ රංගනයට කැමති වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ කතාබහට ලක්වන චරිත අතරින් අලුතින්ම එකතු වුණු චරිතයක් සමගින් සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා ගායන තරුවක්ව ප්‍රේක්ෂක ආකර්ෂණය අවධානය බෙහෙවින් දිනාගත්  මේ අලුත්ම මුහුණ භානු ප්‍රභාෂ.

රියැලිටි තරගයක් හරහා ගායන තරුවක් විදියට බොහෝ දෙනෙක්ගෙ ආදරය දිනා ගත්ත භානු අද රංගන තරුවක් වෙලා නේද?

ඔව්. ඇත්තටම මට රංගනයට ප්‍රවේශ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දෙරණ නාලිකාව හරහා විකාශය වන ‘ඉස්කෝලේ’ නාට්‍යය තුළින්. ඉතින් මට මේ ලැබුණෙ ලොකු අවස්ථාවක්. ගායනය මගේ ජීවිතේ වුණාට රංගන අත්දැකීමත් ලබා ගන්න ලොකු කැමැත්තක් තිබුණා. මීට පෙර වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මගේ ප්‍රධාන අරමුණ වුණේ ගායනයෙන් ඉදිරියට යාම නිසා රංගනයට වැඩි ඉඩක් ලබා දුන්නෙ නැහැ.  නමුත් ඉතින් නොහිතපු විදියට මට රංගනයට අවස්ථාවක් ලැබුණා. ඒ තුළින් මම උපරිම ප්‍රයෝජනයක් ගන්නත් බලාපොරොත්තු වෙනවා.

දැන් වැඩි ප්‍රතිචාර නළුවාටද? ගායකයාටද?

මම සම්බන්ධ වුණු දෙරණ Dream Star රියැලිට් තරගාවලිය හරහා මාව ගොඩක් දෙනෙක් දැන හඳුනා ගත්තා. ඒ තුළින් හොඳ ප්‍රතිචාරත් ලැබුණා. දැන් වුණත් කොහේ ගියත් මාව දැන හඳුනාගෙන මගේ ගායනය ගැන කතා කරන පිරිසක් ඉන්නවා. ඒ ප්‍රතිචාර ඒ විදියට තියෙද්දිම තමයි Dream Star තරගය අවසානයත් එක්කම මට රංගනයට ආරාධනාවක් ලැබෙන්නේ. ඉතින් මේ වෙද්දි ගායනයට වගේම රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් මේ චරිතය ගැනත් කියමු?

චරිතය තමයි රොෂාන්, රොෂාන් කියන්නේ සැර පරුෂ දුෂ්ට චරිතයක්. මේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයට නම් ළඟින්වත් යන්නෙ නැති චරිතයක්. රොෂාන්ට බනින අයනම් ගොඩක් ඉන්නවා.

භානු ගායන තරුවක් විදියට ප්‍රේක්ෂක මනාප ලබාගෙන ඉදිරියට ආපු චරිතයක්නෙ. ඉතින් එක පාරටම මේ වගේ චරිතයක් කිරීම ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණෙ නැද්ද?

ඇත්තටම කියන්න ඕනෑ මේ නාට්‍යයට සම්බන්ධ වුණු මුල් කාලෙම ප්‍රේක්ෂකයො මගේ රංගනයට කැමති වුණේ නැහැ. මම මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පෙර මුලින්ම හිතුවෙ මේ ලැබුණු අවස්ථාව ගැන විතරයි. මොකද මේ ක්ෂේත්‍රය ඇතුළෙ මේ වගේ අවස්ථාවක් ලබා ගන්න අමාරුයි. ඉතින් මට ඕනැ වුණේ මේ රංගන අත්දැකීම ලබාගන්න. මේ මගේ පළමු අත්දැකීම. මේ චරිත රංගනය පෞද්ගලිකව මට කිට්ටුම නැහැ. ඒ වගේම චරිතයට අවශ්‍ය වයස ප්‍රමාණයවත් මට තවම නැහැ. නමුත් මට මේ චරිතය ගොඩනඟා ගන්න මෙහි අධ්‍යක්ෂවරයා  ඇතුළු නාට්‍ය කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සහයෝගයත් එක්ක චරිතය ඉදිරියට ගෙනාවා. ඉතින් මුලින්ම කිව්වා වගේ රොෂාන් චරිතය භානුට ළඟින්වත් තියන්න බැහැ. මට කියන්න තියෙන්නෙ රොෂාන්ට බනින අය ඒ තරහ රොෂාන් එක්ක තියා ගන්න. භානුගෙ කලා නිර්මාණ විතරක් රසවිඳින්න කියලා. මොකද භානු කියන්නෙ රොෂාන් වගේ සැර පරුෂ කෙනෙක් නෙමෙයි. ඒ චරිත රංගනයක් විතරයි.

චරිත රංගනයක් වෙනුවෙන් බැනුම් අහන්නෙ චරිතයට සාධාරණයක් කරන නිසා නේද?

එක පැත්තකින් බලද්දී මට හිතෙනවා මේ තරම් චරිත රංගනය වෙනුවෙන් බැනුම් අහන්නෙ මම ඒ චරිතය සාර්ථකව කරන නිසා වෙන්න ඇති කියලා. මොකද රොෂාන් කියන චරිතය බැනුම් ඇසිය යුතු චරිතයක්නෙ. ඉතින් මට පුළුවන් විදියට උපරිමේ මේ චරිතයට සාධාරණයක් කරන්න තමයි මමත් බලාපොරොත්තු වෙන්නෙ.

කොහොමද අලුත් අත්දැකීම?

ඇත්තටම සතුටුයි. ඉතා හොඳ අත්දැකීමක්. මීට පෙර රංගනය ටිකක් හෝ හදාරලා තිබුණත් පුංචි තිරයට සම්බන්ධ වීම ලොකුම වෙනසක් වුණා. ඒක වෙනස්ම ලෝකයක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ මේ සම්බන්ධවීම එක්ක මට එකට එකතු වෙලා වැඩ කරන්න හොඳ කණ්ඩායමක් ලැබුණා. ඉතින් හරිම ආසාවෙන් තමයි මේ වැඩකටයුත්ත කරගෙන යන්නෙ.

භානුගෙ කලා කුසලතාවලට පාසල් වේදිකාවෙන් ලැබුණු පන්නරය කොහොමද?

පාසල් වේදිකාවෙත් සංගීතයට තමයි වැඩි නැඹුරුව තිබුණෙ. රංගනය පැත්තෙන් පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් වැඩි දායකත්වයක්  තිබුණෙ නැහැ.  සංගීතයට  කොහොමත් ලැදියාව පොඩි කාලෙ ඉඳන්ම තිබුණෙ මගේ අම්මයි, තාත්තයි නිසා. මොකද ඒ දෙන්නම සංගීත ගුරුවරු. අම්මා පෙරදිග සංගීතයත් තාත්තා අපරදිග සංගීතයත් ඉගැන්නුවෙ. ඉතින් මට පෙරදිග, අපරදිග ගීත ගායනා කරන්න ඒ කාලෙ ඉඳන්ම හැකියාව තිබුණා. ඒ නිසාම පාසලේත් සංගීතය කරන ළමයෙක් විදියට ප්‍රසිද්ධ වෙලා හිටියා. තාත්තා අපරදිග සංගීත ගුරුවරයෙක් වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක්. සංගීත භාණ්ඩ වාදනයත් තාත්තාට හොඳට පුළුවන්.

ඒ නිසාම මටත් ඒ හැම පැත්තකින්ම දක්ෂතාවක් තිබුණා. ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තාත්තාගෙන් තමයි. අද තාත්තා ජීවතුන් අතර නැහැ. නමුත් පාසල් වේදිකාවෙ ලබා ගත්ත ඒ පන්නරයට ඒ කාලෙදි තාත්තා තමයි වැඩිම ශක්තියක් වෙලා හිටියෙ.

අද භානුත් සංගීත ගුරුවරයෙක් නේද?

ඔව්. මම සංගීතය උගන්වනවා. ගායනය, වාදනය දෙකම. ඒ දේත් එක්ක මමත් තවම සංගීතය වැඩිදුර ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. මම තවම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයෙක්.

කලාව පැත්තෙන් ඉදිරි සැලසුම් කොයි විදියටද සැලසුම් කරලා තියෙන්නෙ?

කලාව පැත්තෙන් වැඩි ඉඩකඩක් ලබාදීලා තියෙන්නෙ සංගීතයට තමයි. මම මේ වෙද්දි සංගීත අධ්‍යක්ෂණයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකටත් සංගීතය සපයලා තියෙනවා. මෑතක ගීතයක් එළිදැක්වූවා. අතවරයට ලක්වුණු ගැහැනු ළමයෙක් ගැන කියවෙන ගීත නිර්මාණයක්.

ඒ ගීතයේ පද රචනය ප්‍රසාද් ඉන්දිකගෙ. සංගීතයෙන් චතුර ජයසිංහ සම්බන්ධ වුණේ. මම කොහොමත් සමාජ ප්‍රශ්න, කාලීන ගැටලු කලා නිර්මාණ ඔස්සේ කතා කරන්න කැමතියි. ඒ නිසාම මේ ගීතයත් ඉතා කැමැත්තෙන් තමයි ගායනා කළේ. ඉදිරියේදීත් සමාජ ප්‍රශ්න ඒ ගැටලු මූලික කරගෙන හොඳ ආදර්ශවත් කලා නිර්මාණ බිහි කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ධනු විජේරත්න