මේ කලාවට මම ගොඩක් ආදරේ කළාට අද කලා ක්ෂේත්රයේ මේ යන ගමන ගැන සතුටු නැහැ
යෂ් වීරසිංහ කියන්නේ මේ දිනවල ඉතා ඉහළ ප්රේක්ෂක ආදරයක් දිනාගෙන සිටින ආදරණීය රංගන ශිල්පියෙක්. ඔහු සමග කළ කතාබහක සටහනකි මෙලෙසින් දිගහැරෙන්නේ.
‘‘රෙදි මෝලවත්තෙ අනා’’ මේ දිනවල ඉතාමත් ජනප්රියයි නේද?
ඔව් එහෙම දෙයක් නම් තියෙනවා. ඇත්තටම මම ක්ෂේත්රයට එන්නෙ 2015 වසරේ. නමුත් මම වැඩිපුරම ජනාදරයට පත්වුණේ මේ ටෙලි නිර්මාණය හරහා. මිනිස්සු බොහෝ පිරිසක් මාව හඳුනගත්තෙ, මට ආදරය කරන්න පටන් ගත්තෙ, මේ හැම දෙයක්ම ලැබුණෙ රෙදිමෝලවත්තෙ අනා නිසා. ඉතින් මේ ලැබෙන ප්රතිචාර ගැන ලොකු සතුටක් තියෙනවා.
ඒ ආදරය ජනප්රිය සම්මාන උළෙලක මෙවර ජනප්රියම රංගන ශිල්පීන් 10 දෙනා අතරට ගෙනල්ලා තියෙනවා නේද?
ඔව්. ඒක ඇත්තටම මගේ ජීවිතේ මට ලැබුණු ලොකු වටිනාකමක්. මීට පෙරත් මම ජනප්රියම රංගන ශිල්පීන් 10 දෙනා අතරට සම්මාන උළෙලවල නිර්දේශ වෙලා තියෙනවා දෙවරක්. ඉතින් ඒ නිර්දේශ වීමම ලොකු සතුටක්. මෙවරත් ජනප්රියම රංගන ශිල්පියා වීමේ බලාපොරොත්තුවක් නම් නැහැ. නමුත් ඉතින් මෙවරත් නිර්දේශ වී තිබීම ලොකු සතුටක් වගේම ලොකු ජයග්රහණයක්. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.
යෂ්ට වැඩිම ආදරය තියෙන්නෙ කොයි වයස් ඛාන්ඩයෙන්ද?
එහෙම නැහැ. පුංචි ළමයාගේ සිට වැඩිහිටියා දක්වාම ඒ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇත්තටම ඒ ආදරය ඛාණ්ඩ ගත කරන්න බැහැ. මොකද කොහේ ගියත් මාව දැන හඳුනාගෙන ආදරය ප්රතිචාර දක්වන අය ඉන්නවා. ඒ ආදරය ආශිර්වාදය එක්ක තමයි අපි මේ ගමන ශක්තිමත්ව ඉදිරියට යන්නේ.
ඒත් අපිට නම් ආරංචි යෂ්ගෙ හිනාවටයි, කතා විලාසයටයි ගොඩක් ආකර්ෂණය වෙලා ඉන්න ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා කියලා?
එහෙම දේකුත් තියෙනවා. ඉතින් නැත්තෙම නැහැ.
ඒ විදියට ගැහැණු ළමයිගෙ ආකර්ෂණය ඉතා ඉහළ විදියට දිනාගෙන ඉන්න යෂ්ගෙ හිත ගිය කෙනෙක් නැද්ද?
තවම නම් නැහැ. මොකද මට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මගෙ පවුල වෙනුවෙන්. ඒවා කළාට පසුව තමයි අනිත් දේවල් ගැන හිතන්නේ.
ඒ කියන්නෙ යෂ් ගැන කෙනෙක්ට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්ද?
ඔව්. ඔව්. අනිවාර්යයෙන්ම පුළුවන්. කවුරු හරි කැමැති කෙනෙක් ඒ ගැන විමසීම් කරන්න පුළුවන්. මම බොදු ගොවි, උස අඩි 6යි, ඉතිරි විස්තර පසුවට සඳහන් කරමු.
ඒ බලාපොරොත්තුව යෂ්ට ආදරය කෙනෙකුට ලබාදීලා ආයෙත් මේ නිර්මාණය පැත්තට හැරුණොත් යෂ්ට මේ ‘‘අනා’’ චරිතය ලැබෙන්නෙ කොහොමද?
‘‘කියා දෙන්න ආදරේ තරම්’’ හි අධ්යක්ෂවරයා ධනුෂ්ක රත්නායක හරහා තමයි මේ චරිතය ලැබෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ ‘‘රෙදිමෝලවත්තෙ අනා’’ චරිතය මුලින්ම කරන්න හිටියෙ වෙනත් රංගන ශිල්පියෙක්. ඔහුට අසනීප වෙලා රෝහල් ගත වෙන්න සිදුවෙලා. ඒ සිදුවීමත් එක්ක තමයි මෙහි අධ්යක්ෂවරයා ධනුෂ්ක රත්නායක මට කතා කරලා මේ සම්බන්ධව කියන්නේ. ඉතින් ඒ කතා කරන දවස් ටිකේ මට විවේකයක් ලැබිලත් තිබුණා. ඒ නිසා මමත් දෙවරක් නොසිතාම ඒ වැඩකටයුත්තට සම්බන්ධ වුණා. ඇත්තටම මේ වෙනුවෙන් මම සම්බන්ධ වෙද්දි පිටපතක්වත් කියවලා තිබුණෙ නැහැ. නමුත් මෙහි අධ්යක්ෂවරයා කතා කළ නිසාම ඒ විශ්වාසෙට මම ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් මේ අවස්ථාව උදාවීම ඇත්තටම අහම්බයකින් වගේ වුණු සිදුවීමක්.
අහම්බයකින් මේ චරිතයට සම්බන්ධ වුවත් අද වෙද්දි ලොකු සාර්ථකත්වයක් තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම. මගේ ජීවිතේට සෑහෙන ලොකු දේවල් ටිකක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ප්රේක්ෂක ප්රතිචාර සහ ඒ ආශිර්වාදයත්. ඉතින් මේ වෙනුවෙන් මාව සම්බන්ධ කරගත්තු මෙහි අධ්යක්ෂවරයාට තමයි මේ ලැබෙන ප්රේක්ෂක ආදරය වෙනුවෙන් මුලින්ම ගෞරවය පුද කරන්න ඕනෑ.
මීට අමතරව නියැළෙන නිරමාණ කටයුතු?
පෙබරවාරි 20 සිට දෙරණ නාලිකාවෙ අලුත්ම නිර්මාණය කොම්රෙඩ් විකාශය ආරම්භ වෙනවා. ඊට අමතරව ඒකාංගික ටෙලි නිර්මාණ කිහිපයක් ලැබිලා තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉදිරියේදී ඒ තුළින් දකින්න ලැබෙයි. ඒත් එක්කම මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණයක් බොහෝ දුර මේ වසරේ තිරගත වෙයි. තවත් සිනමා නිර්මාණ සඳහා ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් රටේ පවතින තත්ත්වය එක්ක ඒවා කවදා ආරම්භ කරයිද කියන දේ නිශ්චිතවම කියන්න බැහැ. ඉදිරියට බලමු.
රටේ පවතින තත්ත්වයත් එක්ක මේ රටේ බොහෝ දෙනෙක් රට ගම අතහැරලා යනවානෙ. යෂ්ටත් එහෙම අදහසක් තියෙනවද?
තවම නම් නැහැ. නමුත් ඒ ගැන හරියටම කියන්න බැහැ. තව දුරටත් රට මේ තත්ත්වයේ පැවතුණොත් තීරණයක් ගන්න වෙනවනෙ. ඇත්තටම මම මේ වෘත්තිය ආරම්භ කළේ ලොකු ආසාවකින්. මොකද මේ මගේ පවුලෙන්ම ආරම්භ කරපු දෙයක්. ඉතින් ගොඩක් දේවල් කැප කරලා මාරම බලාපොරොත්තුවකින් ආරම්භ කරපු මේ කලාවට මම ගොඩක් ආදරේ කළාට අද කලා ක්ෂේත්රයේ මේ යන ගමන ගැන සතුටු නැහැ.
රට සහ කලාව දෙකම පිළිබඳ කනගාටුවක් තියෙනවා. ඉතින් මේ ගමනෙ ඉදිරියක් ගැන හිතන්න අමාරුයි. මේ ක්ෂේත්රය තුළ රංගන ශිල්පියෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් විදියට මට ලබාගත හැකිවෙලා තියෙන ලොකුම දේ තමයි ප්රේක්ෂක ආදරය. ඒ ආදරෙත් එක්ක අනිත් හැම දේම යට යනවා.
ධනු විජේරත්න