මේ අවස්ථාව ලංකාවේ ජනතාවට අතිශය දුෂ්කර කාලයක්. ඒත් බලාපොරොත්තු අත්හැර ගන්න එපා
ඉන්දියාව වෙනුවෙන් මහදේවන් ගනේෂ් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කෞෂල්‍යා වික්‍රමසිංහ එක්ව නිෂ්පාදනය කළ ඒ ඉන්දීය සිනමා අධ්යක්ෂ ඒ.ටී. ඥාණම්ගේ second show (සෙකන්ඩ් ෂෝ) චිත්‍රපටය. PVR (පීවීආර්) ඇතුළු දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරෙන මොහොතක මේ චිත්‍රපටයේ සූරත්තම්මා ගේ චරිතයට දායක වූ ඊෂා චාබ්රා (Isha Chhabra) සමඟ කතා බහකටයි. මේ සූදානම සූරූපී ඊෂා චාබ්රා අල්ලා ගන්න අපට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය වෙත යන්න වෙනවා. ඉන්දීය නිළියක වන ඇය මේ දිනවල ඉන්නේ ඇමරිකවේ වීම ඊට හේතුවයි.
කවුද මේ සූරත්තම්මා ගේ චරිතය රඟපාන ඊෂා ඉතින් ඇය ගැන කීමට පෙර සෙකන්ඩ් ෂෝ ෆිල්ම් එක ගැන කෙටියෙන් සඳහනක් කිරීම මෙය නැරඹීමට කුතුහලයෙන් සිටින බොහෝ දෙනාගේ මනාපයට හේතුවක් වේවි.
සැන්ඩියා යන සූරූපී තරුණිය ආදරය කරන්නේ කඩවසම් පෙනුමැති ප්‍රසන්න නමැති තරුණයා හටය. ඔහු ධනවතෙකි. නිහතමානි චරිතයකි. ප්‍රසන්නගේ චරිතයට දායකව සිටින්නේ හේමාල් රණසිංහය.
රීෂා චාබ්රා යනු ඉන්දියානු නිළියකට අමතරව නිරූපිකාවකි. බොහෝ විලාසිතා ප්‍රසංග හා සංදර්ශනවලට දායක වූ සුරූපිනියකි. දමිළ සහ තෙළිඟු චිත්‍රපට ඇතුළු දකුණු ඉන්දීය සිනමාවේ බොහෝ නිර්මාණවලට මේ දක්වා දායක වී ඇත.
නිරූපිකාවක ලෙස අවතීර්ණ වී පසුව වෙබ් කතා මාලාවක් ඔස්සේ කරළියට පිවිසියාය. මාස්ට්රම් (Mastram) වෙබ් කතා මාලාව නිසා ඇය ගැන ඉන්දියාවේ බොහෝ දෙනා කතා කරන මොහොතකි මේ. ගෙවී ගිය කාලයේ දී සම්මාන පවා හිමිකර ගත් ඇය අපට කියන්නේ මොනව ද බලමු.
ඊෂා, මොකක්ද තේරුම ඊෂා කියන නාමයේ?
උදෑසන හිරුගෙන් ලැබෙන ප්‍රථම හිරු කිරණයට.
ඔබගේ පවුල විස්තර මොනවගේද?
අම්මයි - තාත්තයි සහෝදරියන් තුන්දෙනයි. සහෝදරයින් දෙදෙනෙකුයි මට ඉන්නවා. මම පවුලේ වැඩිමලා. අම්මා ගෘහණියක්. සාම්ප්‍රදායිකව හිතන පතන සංස්කෘතිය අගයන චරිතයක්. එක් සහෝදරියක් ෆැෂන් ඩිසයිනින් අංශයේ, අනෙක් කෙනා මාධ්‍යවේදිනියක්. එක් සහෝදරයෙක් රඟපානවා, ඊට අමතරව අධ්යක්ෂ කටයුතුවලටත් දායක වෙනවා. බාලම මල්ලිත් කලාවට සම්බන්ධයි. අපේ පවුල උත්තර ප්‍රදේශයට අයත්. මම උපන්නේ ඊෂිකේෂ් වලදී. ඉතාම පුංචි ගම්මානයකදී කිව්වොත් නිවැරදියි. ආගමික වශයෙන් ඉහළ තැනැක් ඇති පළාතක්.
ඊෂාට ළමා කාලයේදී මොනවගේ අරමුණුද තිබුණේ.
මලල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යන්න. මොකද කිව්වොත් මම මලල ක්‍රීඩා අංශයට දක්ෂ වුණා. පාසල වෙනුවෙන් විවිධ ඉසව්වලට දායක වුණා. එහිදී පාසල වෙනුවෙන් මලල ක්‍රීඩා අංශයේ ශූරිය වෙන්නත් පුළුවන් වුණා. පසුව දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක්වූවා. මීටර් 3000ට දිවීමේ ශූරතාවය, දුර පැනීම සහ මීටර් 3000 ඇවිදීමේ තරඟ ඉසව් නියෝජනය කළා.
ඇයි එච්චර දුර ඇවිත් ක්‍රීඩාව නැවැත්තුවේ.
ඒ වන විටත් මම යෝගී භාවනා වැනි දේට යොමු වෙලා හිටියේ. ඉතින් ඒ නිසා පසුව කලාව ජීවිතය සමීප වුණා. අවුරුදු 17 දී විතර මට කලා අංශයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලැබීමත් එක්ක ඒ අංශය තෝරා ගත්තා. යෝගී භාවනා වැනි දේ නිසා මට මගේ ජීවිතය වගේම ලෝකය ගවේෂණය කරන්න එය හොඳ මාර්ගයක් වූ බව කියන්න පුළුවනි. ජීවිතයට බොහෝ දේ කරන්න හොඳ මතකයක් ඇති වෙනවා. රංගනයට ඒව විතරක් නෙවෙයි. ලියන්න ව්‍යවසායකත්වයට යන්න මට පුළුවන් වී තිබෙනවා. ජීවිතය කියන්නේ එක් දෙයකට සීමා වූ දෙයක් නෙවෙයි. මේ ලැබුණු ජීවිතයේ දී අපට බොහෝ දේ කළ හැකියි.
බොහෝ දෙනෙක් කියන්නේ ඔබ හරි නිරහංකාරයි කියලයි. ඒක ඇත්තක් ද
ජීවිතයේ අපි කවුරුත් සීයට, සීයක්ම අංගසම්පූර්ණ නැහැ. ජීවිතය ස්වභාවධර්මය එක්ක ගත කරමින් සිටින විට ඔබට සියලු දේවල වටිනාකම වැටහෙනවා. ජලය, වාතය, ආහාර පාන, වගේම මිනිසුන්ගේ අගය දැනෙනවා. වටිනාකම තේරෙනවා. අපි නිහතමානී වන තරමට තමයි එහි සැබෑ අරුත වැටහෙන්නේ.
මේ සෙකන්ඩ් ෂෝ එකට ඊෂාට අවස්ථාව ලැබුණේ කොහොමද?
දමිළ නළු අජ්මල් නිසා කිව්වොත් හරි. අපි ලන්ඩනයේ දී බොහෝ විට එකට වැඩ කරලා තිබුණා. මට මේ වගේ චරිතයක් රඟපෑමේ අදහසක් තිබුණේ නැහැ. ඒත් එයා තමයි කිව්වේ මේක වෙනස් චරිතයක් කියලා. ඉතින් මාත් ඒකට හරි ආසාවෙන් උනන්දු වුණා. අභියෝග බාර ගන්නත් එපායැ. මම කොහොමටත් ශිව දෙවියන්ගේ බැතිමතෙක්. ඉතින් සුරත්තම්මා කියන්නේ වෙනස්ම චරිතයක්. ඒ අභියෝගයක් සාර්ථකව කළ බව මට දැනෙනවා. මේක මගේ පළමු සිනමා රංගනය.
ඊෂා ලංකාවට එහෙම ඇවිත් තියෙනවද?
ඔව් මගේ ඥාති සහෝදරයෙකු පවා ලංකාවේ ඉන්නවා. මම ලංකාවට හරි ආසයි. නිවාඩුවකට ආවේ. නිවාඩුව ගත කරන්න හොඳම ගමනාන්තයක්. මුහුදු ක්‍රීඩාවල විශේෂයෙන් කිමිදෙන්න ආසයි. රාමා රාවනා කතාව අහලා කියවලා තියෙන නිසා මට ලංකාවේ ආවාම ඒ කතාව සහ ඉතිහාසය මතක් වුණා. ඇත්තටම කිව්වොත් සෙකන්ඩ් ෂෝ මංගල දර්ශනයට එන්න හිතාගෙන හිටියේ. ඒත් බැරි වුණේ ලොස් ඇන්ජලීස් ඇවිත් සිටින නිසයි. හොලිවුඩ් ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටිනවා. ඉතින් මට ඇමරිකාවට එන්නම අවශ්‍ය වුණා.
ඒක මොන වගේ ව්‍යාපෘතියක් ද?
කොළම්ඹියා ෆැමිලි Awards උළලේ ජාත්‍යන්තර සංවිධායකවරිය ලෙස කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම ඉන්දීය චිත්‍රපට වගේම සංස්කෘතික අංග මෙම උළෙලට ඉදිරිපත් කිරීමේ කටයුතු සම්බන්ධීකරන කටයුතු පැවරී තිබෙනවා. ව්‍යාපෘති කීපයක්ම මෙහි සිට සිදු කරන බව කියන්න පුළුවනි.
ඊෂා ඔබ සුන්දර තරුණියක් කොහොමද ඔයාගේ ආදරය?
ආදරය කියන්නේ මුළු ලෝකයටම කළ හැකි දෙයක්. මම මට වගේම අනෙක් හැමෝටමත් ආදරෙයි. එයාලත් මට ආදරේ බව මම දන්නවා.
මම අහන්නේ ඔබ ප්‍රේමවන්තියක නෙවෙයිද?
මම තනිකඩයි ඒත් මම අනෙක් අයට ආදරෙයි.
ඊෂාට ඊෂාව කැඩපත වෙතින් දකිද්දී මොන වගේ හැඟීමක්ද එන්නේ.
මම ඊෂා චාබ්රා මට හිතෙන්නේ මම මැජික් එකක් කියලයි.
ඊෂා කැමති අකමැති දේ මොනවද?
මම නීතිගරුකයි. නීතිගරුක බවට කැමතියි. වෛරයට අකමැතියි. අවාසනාවට අකමැතියි. සාමූහිකත්වයට කැමතියි. පරිසරයට ආසයි. විවිධ ආහාරපාන වලට කැමතියි. ඒ වගේ කැමති අකමැති බොහෝ දේ තියෙනවා.
ලංකාවේ සිංදු එහෙම අහලා තියෙනවද?
ඔව් අහනවා. මේ ෆිල්ම් එකේ හේමාල් රංගනයේ යෙදෙන ගීතයටත් මම ආසයි.
ලංකාව ගැන ඔබ අහලා තියෙන හොඳ දේ මොනවද?
ලංකාවේ මිනිස්සු හරිම හොඳයි, හොඳ ප්‍රෞඬ සංස්කෘතියක් හිමි මිනිස්සු, බොහොම නිහතමානී මිනිස්සු කියලා තමයි දන්නේ.
තවත් මොනවද ඔබට ලංකාවේ ජනතාවට කියන්න තියෙන්නේ?
මම දන්නවා මේ අවස්ථාව ලංකාවේ ජනතාවට අතිශය දුෂ්කර කාලයක්. ඒත් බලාපොරොත්තු අත්හැර ගන්න එපා. ජීවිතය කියන්නේ තරඟයක්. අපි ඊට මුහුණ දිය යුතුයි. වතාවක ඉන්දියාවට මේ වගේ ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. ඒත් ඒක ජයගත්තා. ඒ වගේ අවස්ථා සදාකාලික නැහැ. ඒ නිසා කිසි විටෙකත් බලාපොරොත්තු අත්හරින්න එපා. ලංකාවට ලංකාවේ ජනතාවට ඉක්මණින්ම ප්‍රීතිමත් සමයක් යහපත් කාලයක් උදාවේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කටකතා විශ්වාස කරන්නත් එපා කියලා මම ලංකාවේ ජනතාවට කියන්න කැමතියි. රටවල් වශයෙන් රාජ්‍ය වශයෙන් භේද කරන්න බොහෝ කටකතා පැතිරෙනවා. ඒත් මොළයට මුල් තැන දෙන්න.
සඳුන් ගමගේ