මේ අවුරුද්ද මට ටිකක් වැඩ වැඩියි
ගායකයෙක් මෙන්ම තරුණ රංගන ශිල්පියෙකු ලෙසද වර්තමානයේ කටයුතු කරන සූර්යා දයාරුවන් මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ඔබට දකින්නට පුළුවන්. ගායකයෙක් ලෙසද ප්‍රසංග වේදිකාව තුළ නිතරම දකින ඔහු නව වසරේ අලුත් වැඩ කටයුතු කිහිපයක්ම සිදු කිරිමට සැළසුම් කරමින් සිටියි. මේ ඒ පිළිබඳව අපිට පැවසු දේ
මේ වසරේ මගේ තියෙන පළමු හා ප්‍රධානම වැඩ කටයුත්ත තමයි මාත් මගේ සමකාලීන මිතුරන් කිහිප දෙනෙකුත් එක්ක එකතු වෙලා හදපු සංගීත කණ්ඩායමක් ජනවාරි මාසේ දැවැන්ත ප්‍රසංගයක් හරහා ප්‍රසිද්ධ කරන එක. ජනවාරි 25 වැනිදා තමයි මේ ප්‍රසංගය තියෙන්නේ කොළඹ බණ්ඩාරනායක ශාලාවේ.
ඊට කළින් මගේ අලුත්ම ගීතය මනසාරි.. නිකුත් කරන්න සූදානමක් තියෙනවා ගීත රූප රචනාවක් සමග. මේ ගීතය ලිව්වේ ශේහාන් ගලහිටියාව. සංගිතවත් කළේ තුසිත් සිටිසන්. මේක වෙනස්ම තාලේ ගීතයක්. මම හිතනවා මගේ අනෙකුත් ගීත ශ්‍රාවකයෝ වැළඳ ගත්තා වගේම මේ ගීතයත් ඔවුන් ඉතා ආදරයෙන් රසවිඳිවි කියලා.
ඒ වගේම මේ වසරේදී මම විදෙස් ගී ප්‍රසංග කිහිපයක් සඳහා එකතු වෙන්න සූදානමකින් ඉන්නවා. වසර පුරාම මේ ප්‍රසංග පැවැත්වෙන නිසා ටිකක් විතර මම ගායකයෙක් විදිහට කාර්යබහුලයි. මොකද, ප්‍රසංගයක් සඳහා විදෙස්ගත වෙනවා කියන්නේ ඉතින් කාලයක් මම ඒකටම යොමු වෙලා ඉන්නවා කියන එක.
ඒ වැඩ කටයුතුත් එක්ක සුපුරුදු පරිදි භාරගත් ටෙලි නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. මේ වසරේදිත් මා රංගනයෙන් දායක වූ ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක්ම නිකුත් වෙන්න තියෙනවා. ඒ අතරම මා පෙනී ඉන්න ටෙලි නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශයත් වෙනවා.
ඔය අතරේම අධ්‍යාපනය පැත්තටම යොමු වෙලා මගේ ඉදිරි වැඩ කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. පෞද්ගලික ජිවිතේ නම් වෙනසක් නැහැ. පසුගිය වසර කිහිපය ගෙවුණා වගේ මේ වසරත් ඉතා ඉක්මණින් ගෙවිලා යාවි කියලා හිතනවා මම.
බුද්ධික සේනාධීර