මහපොළොවෙ තිබුණු අපේ ජිවිත අහස උසට ඔසවලා තැබුව එකම වේදිකාව හිරු වේදිකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා අවසන් වූ හිරු ස්ටාර් රියැලිටි ගී තරගාවලියේ ජයග්‍රාහි කිරුළ ලබා ගැනීමට මෙවර සමත්වුණේ බුලත්කොහුපිටියේ අමීෂ මිනෝල් ඒ වැඩිම ප්‍රේක්ෂක මනාපයක් ආදරයක් ලබා ගනිමින්. ඔහු ලබාගත් ඒ ජයග්‍රහනයේ සතුට සදැල්ල අපි හා බෙදාගත්තේ මෙලෙසින්.

ලැබූ ජයග්‍රහනයේ සතුට වචනවලට පෙරළුවොත්?

ඒ සතුට ඇත්තටම වචනවලට පෙරළන්න බැරි තරම් ඒ තරමට සතුටුයි. මම නොහිතපු ජයග්‍රහණයක් මහපොළොවෙ තිබුණු අපේ ජිවිත අහස උසට ඔසවලා තැබුව එකම වේදිකාව හිරු වේදිකාව. මේ තුළින් මට ලැබුණු දේවල් බොහෝයි. විශේෂයෙන්ම ප්‍රේක්ෂක ආදරය. ඒ හැමදේටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ වගේ වැඩසටහනක් හිරු නාළිකාව තුළ ගොඩනංවපු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහත්මයාට. ඒ වගේ ම අපිව මේ තැනට ගේන්න ලොකු කැපකිරීමක් කරපු හිරු ස්ටාර් විනිශ්චය මණ්ඩලයට ඒ සියලුම දෙනාගේ සහයෝගය මත තමයි මට මේ කිරුළ ලබා ගන්න හැකි වුණේ.

ගායන හැකියාව අමීෂට පුංචි කාලේ පටන් පිහිටලා තිබුණද?

ඔව් මම පුංචිිම කාලෙදිත් සංගීතයට ගොඩක් ආසයි සහ ලැදියාවක් තිබුණා ඒ නිසාම පාසල් කාලෙදි 6 වසරේ සිටම සංගීතය හදාරන්න පටන් ගන්නවා. ඒ හැදැරීමත් එක්ක උසස් පෙළටත් සංගීතයම තමයි තෝරගන්නෙ මම මේ වෙද්දිත් සෞන්දර්යය විිශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරමින් ඉන්නේ.

මේ හැකියාවන් ප්‍රසිද්ධ වේදිකාවට ගෙනියන්න හිතුවෙ ඇයි?

මම කොහොමත් කොරෝනා වසංගත කාලයේදී බොහෝ දෙනෙක් එකතු වෙලා හිටපු ටික්ටොක් වීඩියෝ ගීත වගේ දේවල් කළා. ඒ තුළින් සෑහෙන ප්‍රතිචාරයක් ලබාගන්නත් හැකිවුණා. ඒ ප්‍රතිචාරත් එක්ක තමයි මට හිතුණෙ මේ වගේ ගීත තරගයකට ගියොත් මගේ ගමනට යම්කිසි වටිනාකමක් ලබාගන්න හැකිවෙයි කියලා මොකද මේ වේදිකාව තුළින් තමන්ගේ ජිවිත වෙනස් කරගත්ත චරිත ඉන්නවා. 

ඉතින් මටත් හිතුණා උත්සාහ කරලා බලන්න. මගේ ජිවිතෙත් මේ තුළින් වෙනස් කරගන්න  හැකිවෙයි  කියලා විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි මම මේ තරගයට සම්බන්ධ වුණේ. ඉතින් නොහිතපු විදියට මට මේ තරගාවලිය තුළ දුර ගමනක් එන්න ලැබුණා. 

පාසල තුළත් අමීෂ මිනෝල් ජනප්‍රිය චරිතයක්ද?

ඔව් මම පාසල් දෙකකට ගියා මුලින්ම බුලත් කොහුපිටිය පාසලට ගියේ. එතැනින් පසුව උසස් පෙළ හදාරන්න කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වුණේ ඒ පාසල් දෙක තුලම ගුරුවරු ශිෂ්‍යයන් මට ගොඩක් ආදරෙයි. මගේ ගීත අහන්න හරිම ආසයි.

පාසලේ මොනම හෝ උත්සවයක් තිබුණොත් අනිවාර්ය්‍ යෙන්ම ගීත ගායනා කරනවා මට අවස්ථාවක් ලබලා දෙනවා. ඒ වගේම පාසල් රැස්වීමකදි වුණත් ගීත ගායන කරන්න ඉඩ ලබාදෙනවා. ඒ වගෙම මම ඒ කාලෙදි පාසල් මට්ටමින් පැවැති ගායන තරගවල ජයග්‍රහන ලබාගෙන තියෙනවා. සමස්ථ ලංකා ජයග්‍රහන ගායනයෙන් හා බටනලා වාදනයෙන් දෙකෙන්ම. ඒ අත්දැකීම් සියල්ලම එක්ක තමයි අද මට මේවගේ දුරක් එන්න ලැබුණෙ මගේ සංගීත ජිවිතේ.

සංගීත ජිවිතේ මෙවැනි ජයග්‍රහනයක් ලබාගන්න බලාපොරොත්තුවක් තිබුණද?

ඇත්තම කියනවනම් මේ ගායන තරගාවලිය තුළ න ම් අවසන් මහා තරගයට ගීතවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා නම් හීනෙකින්වත් හිතුවෙ නැහැ. මොකද මේ තුළ දක්ෂ තරගකරුවන් බොහෝ පිරිසක් හිටියා. ඔවුන් සමග තරග කරද්දි අැත්තටම මගේ අරමුන වුණේ අවසන් තරගකරුවන් 12 දෙනා අතරටවත් යාම තමයි ඉතින් තරගය උනුසුම් වීමත් එක්ක මට අවසන් තරගකරුවන් 12 දෙනා අතරට යන්න ලැබීමත් එක්ක මගේ හිතට දැනුනේ අවසන් මහා තරගයට ගිහින් ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණොත් හොඳයි කියලා ඒ අරමුණ ඉතින් මට මේ තරගය තුළ ඉෂ්ට කර ගන්න හැකිවුණා. ඒ ජනතාවගේ ආදරයත් ආශිර්වාදයත් එක්ක.

අවසන් තරගකරුවන් කොයිවගේ අභියෝගයක්ද වුණේ?

මගෙත් එක්ක තරඟකරන්න හිටපු අනෙක් තිදෙනාම ගොඩක් දක්ෂයි. ඒ තිදෙනාත් විවිධ ශෛලින්වල ගීත ගායනා කළා. ඔවුන්ගෙන් ලොකු අභියෝගයක් තිබුණා. ඉතින් මම හිතන්නේ මේ ජයග්‍රහනය පිටුපස හිටපු ජනතාවගේ හයිය තමයි මගේ ජයග්‍රහනයට ප්‍රබල ලෙස බලපෑවේ අනෙක් තරගකරුවන් එක්ක කරට කර තරග වදින්නත් මට ලොකු ශක්තියක් වුණා ජනතාවගෙන් ලැබුණ ආදරය.

අවසන් තරගකරුවන් සිව්දෙනා අතර තිබුණ බැදීම කොහොමද?

අපි හැමෝම ලොකු සහෝදරත්වයකින් තමයි හිටියෙ. අපි අතර කිසිදු විරසක කමක් නැහැ. තරගාවලිය පුරාවටම එක බත් එක කාලා ගොඩක් සතුටින් හිටියා.

වේදිකාවෙදි විතරයි මුහුණට මුහුණ තරග කළේ ඒ තරග ස්වභාවය නිසා එතැනින් පසුව වේදිකාවෙන් බැස්සම ඉතා සහයෝගයෙන් සතුටින් ඉතා සුහඳව වැඩ කරගෙන හිටියෙ.

අමීෂගේ ජයග්‍රහණය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලා වුණා නේද?

ඒ දේවල් ඉතින් තරගයකදි පොදු දෙයක්නෙ. විශේෂයෙන් ඒ ඒ තරගකරුවන්ට බැඳුණු රසික පිරිසක් ඉන්නවනෙ. ඒ පිරිස තමන් ආදරය කරන කෙනාව ඉදිරියට යවන්න කැමතියි.

ඉතින් ඒ වගේ පිරිසක් මටත් මඩ ගැහුවා. විවිධ දේවල් කිව්වා. විවිධ සැලසුම් කරලා තිබුණා. ඇත්තටම ඒ සමහර මඩ ප්‍රහාර මගේ ගමන ඉහළට යන්නත් මට වැදගත් වුණා. ඒ දේවල්වලින් මාව නොදන්නා පිරිසක් දැන ගත්තා. සමාජ ජාලා ඔස්සේ මඩක් ගහලා දැම්මම මාව නොදන්න කෙනෙක් ඉන්නවනම් මේ කවුද? කියලා විශේෂයෙන් හොයලා බලනවනෙ? ඉතින් එහෙම මාව හොයලා බලන්න ගිහින්  මට එකතුවුණා පිරිසකුත් හිටිය. ඉතින් ඒ හැමදේම මම ආශි්ර්වාදයක් විදියට තමයි භාරගත්තේ.

අමීෂ මේ තරගය තුළ වැඩිපුර ගායනා කරන්න තෝරගත්තේ කාගේ ගීතද?

මම මුලින්ම රත්තරන් පෙම් පුරානේ ගිතයෙන් තමයි හිරු වෙදිකාවට පා තබන්නෙ. ඒ ගිතයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් තිබුණා. එදා සිට බොහෝ දෙනෙක් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත තමයි ඉල්ලුවේ. ඒ ප්‍රතිචාර නිසාම එතැනින් පසුවත් ඊළග වටයට එතුමාගේ ගීතයක් තෝරගත්තා. ඉන්පසුව මිල්ටන් මල්ලවආරච්චි, සේනානායක වෙරලියද්ද, සනත් නන්දසිරි, මොහිදින් බෙග් වගේ ප්‍රවීන ගායන ශිල්පින්ගේ ගීත  තමයි තෝරගත්තේ ඒකට හේතුව ඔවුන් තමයි ජනතාවගේ හදවතේ රැදිලා ඉන්න ප්‍රවීන ආදරණීය ගායකයන්. ඒ ගිතවලට ප්‍රේක්ෂකයො ආදරෙ කරනවා ඒ නිසා තමයි ඔවුන් මගේ හඩින් ගායනා කරපු ඒ ගිත එක්ක රැදිලා හිටියෙ. ඒ මුල් ගායකයන්ට සහ ගීතවල පද රචකයන් සංගීතඥයන් ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ. මොකද ඔවුන් එවැනි ගීත නිර්මාන බිහි කරපු නිසා තමයි අද අපිටත් ඒ නිර්මාණ භාවිතා කරලා ජිවිතේට මේ වගේ වටිනාකමක් ලබාගත හැකිවුණේ.

ඔබේම ගීත නිර්මාණ බිහි කරන්න සුදානම්ද?

ඔව් අනිවාර්ය්‍යනේම මේ වෙද්දිත් මගේම ගීත නිර්මාණ දෙකක් කරගෙන යනවා. එහි එක් ගීත නිර්මාණයක් මගේම තනුවක් ඒ වගේම තවත් ගීතයක් ලියමින් ඉන්නේ. මගේ ආදරණියන්ට ඒ නිර්මාණ ඉදිරියේදි දැක ගන්න හැකිවෙයි.

මෙවැනි ලොකු ජයග්‍රහනයක් ලැබිලා තමන්ගේ ගම බලා පිටත් වෙද්දි ඒ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම හිරු කිරුළ අරගෙන මගේ ආදරණිය ගම බුලත්කොහුපිටියට යද්දි ඒ දැනුන හැගීම විස්තර කරන්න අමාරුයි.

මම නොහිතපු විදියට විශාල පිරිසක් එකතුවෙලා හිටියා.

බුලත්කොහුපිටිය නගරය වැහෙන්නම ජනතාව ඉතින් ඒ වගේ ආදරයක් ලබන්න මම පෙර පිනක් සහ වාසනාවක් තියෙන්න ඇති ඒ ගැන මට ගොඩක් සතුටුයි ඒ හැමදෙනාම වගේ මගේ වටා හිටපු ලංකාවාසී සියලුම දෙනා අදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. හැමදෙනාටම ගොඩක් ස්තුතියි මේ කිරුළ මට ලබාගන්නට ශක්තියක් වුණාට.

ධනු විජේරත්න