මාස 5න් 6න් ඔක්කොම සිදුවුණේ - හඳහන් බැලුවෙත් නැහැ
අකිල විමංග සෙනවිරත්න කිව්වම ඔහුව නොදන්නා කෙනෙක් නම් මේ රටේ නැති තරම්. ඒ ටියුෂන් ගුරුවරයෙක් ලෙසත්, දේශකයෙක්, ගී පද රචකයෙක්, විචාරකයෙක් ලෙසත් ඔහු ඉතාම ජනප්‍රිය චරිතයක්. ඒ විදියට විවිධාකාර අංශයන් ඔස්සේ ජනතාවගේ හඳබැදගත් ඔහු ඔහුගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළන්නට සූදානම්. ඒ සම්බන්ධවයි මේ සටහන.
අකිලගෙ අතගත් ඒ යුවතිය ගැන මුලින්ම කියමුද?
ඇය භාග්‍යා ආගරරත්න. වෘත්තියෙන් වෛද්‍යවරියක්. පදිංචිය නුවර. එතකොට පාසල් ගියේ නුවර හිල්වුඩ් විද්‍යාලයට. වයස අවුරුදු 30ක් වෙනවා. ඇය පවුලෙ එකම දරුවා. කලාවට ගොඩක් ලැදි හරිම සංවේදී චරිතයක් කියලා ඇය ගැන කියන්න පුළුවන්.
භාග්‍යාව අකිලට හමුවෙන්නෙ කොහොමද?
මගේ පාසලේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමයි ඇයව මුණගැහෙන්නෙ. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු ඇතුළුව මේ කට්ටිය ට්‍රිප් එකක් ගිහින් ඒ ෆොටෝ දාලා තිබුණා Fb එකේ. මම ඒ ෆොටෝ එකක් දැකලා මගේ යාළුවගෙන් ඇහුවා ඇය ගැන. ඊට පස්සේ ඉතින් මම ඇයගෙ Fb ප්‍රොෆයිල් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දාලා තමයි මුලින්ම කතා කළේ. ඉතින් මගේ යාළුවා තමයි මට උදව් කළේ මේ වෙනුවෙන්.
ඒ කියන්නෙ යාළුවොද ගොඩදාලා දුන්නේ?
ඇත්තටම යාළුවො තුන් හතර දෙනෙක් ඉන්නවා ලොකු සහයෝගයක් දුන්නු. ඒ අතර මම පෙර සඳහන් කරපු මගේ පාසල් යාළුවා ඉන්නවා. නමුත් ඔහු මේ වෙද්දි ලංකාවේ නම් නැහැ. මොකද මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ඉන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඒ නිසා ඔහු ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. මගෙත් එක්ක මුලින්ම මේ ගැන කතා කරන්න ගියේ මගේ හොඳම යාළුවෙක් වන මනුජ එක්ක. ඒ වගේම මතක් කරන්න ඕනෑ ලෂාන්, ඔහු දෙපැත්ත කතා කරලා වැඩේ සෙට් කළේ. ඒත් එක්කම බුද්ධික. ඔහු දැන් ඩුබායිවල ඉන්නෙ. ඉතින් මේ අය ඇතුළුව පවුල්වල අයගෙනුත් විශාල සහයෝගයක් ලැබුණා විවාහය දක්වාම මේ සම්බන්ධය ගේන්න.
අකිල විමංග ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්, දේශකයෙක්, ගී පද රචකයෙක්. ඒ හැමදේම එක්ක ඔබට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අතරින් තරුණියන්ගෙන් එහෙම යෝජනා එන්නත් ඇති ?
යෝජනා ඇත්තටම එනවා. තවමත් එනවා. මම විවාහ වෙනවා කියලා දැනගත්තත් යෝජනා ගේන අය ඉන්නවා. ඒ අතර හොඳ අයත් ඉන්න පුළුවන්. නමුත් මම කියන්නෙ විවාහය කියන්නෙ සංසාරික දෙයක්. කොහොමත් කෙනෙක්ට හරියන්න හෝ වරදින්න විවාහය සංසාරිකයි. මට සංසාරෙන් ආවෙ මේ දේ කියලා තමයි මම විශ්වාස කරන්නේ.
ගුරුගෝල පෙම් කතා එහෙම තිබිලම නැද්ද?
ඇත්තටම පන්තිවල ළමයි එක්ක එහෙම සම්බන්ධතා තිබිලම නැහැ. විශ්වවිද්‍යාලයට යන කාලෙ වුණත් විශ්වවිද්‍යාලය ඇතුළත එහෙම සම්බන්ධතා තිබිලා නැහැ. පන්තිවල ළමයි එක්ක සම්බන්ධතා තිබුණෙ නැහැ කියන්නෙ මම හරි විනීත, අහිංසක කියන එක නෙමෙයි, නමුත් මට එහෙම හිතිලා නැහැ. ප්‍රේමය කියන දේ හැම මොහොතකම හිතෙන්න ඕනෑ දෙයක්. මට සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල අවසානයේ නැවතුන තැන තමයි මේ. කොහොමත් පතාගෙන එන තැනක් තියෙනවා ඕනෑ කෙනෙක්ගෙ ජීවිතේ.
මීට වසර කිහිපයක සිටම අකිල මගේත් මිතුරෙක් නිසා මම දන්නවා ඔබත් නොබැඳි සංගමයට බැඳෙන්න හිටපු කෙනෙක් කියලා. ඒ කාලෙ බඳින්නෙම නෑ කියපු අය නේද මේ?
ඔව් ඇත්තටම මගේ යාළුවො හැමෝම වගේ ඒ ප්‍රශ්නෙ මගෙන් අහනවා. මෙහෙමයි ඉතින් ඒ ගැන ඇත්තටම මම කිව්වෙ ගැළපෙන කෙනා හමුවුණේ නැත්නම් කවදාවත් බඳින්නෙ නැහැ කියලා. නමුත් භාග්‍යාගේ මුණගැසීමත් එක්ක මට හිතුණා ඇයව තමයි මට හරියන්නෙ කියලා. ඇත්තටම මම ඇයත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න පෙර අපි කතා බහ කරන කාලෙදි මට හිතුණා ඇය මට හරියනවා කියන දේ. මම කියන දේ ඇයටත් ඇය කියන දේ මටත් හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම වෘත්තීන් එක්කත් අපි දෙන්නට දෙන්නා ගොඩක් කාර්ය බහුලයි. ඉතින් ඒ හැමදේම තේරුම් අරගෙන අපි හැමදේම බැලැන්ස් කරගෙන යනවා. ඇය මට උපරිම නිදහස දීලා තියෙනවා මගේ වැඩ කරගෙන යන්න. තේරුම් ගැනීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. ඉතින් මගේ හැම වැඩ කටයුත්තකදීම මාරම සහයෝගයක් ලබාදෙනවා මේ වෙද්දි. ඒ දේවල් එක්ක මම හිතනවා ඉදිරියෙදී ලොකු ගමනක් යන්න හැකි වෙයි කියලා.
ගෙවල්වලින් මේ සම්බන්ධයට ලැබුණු ආශිර්වාදය කොහොම ද?
අපේ අම්මා නම් කොහොමත් බර බාරේ දදා හිටියේ ඉක්මනින් කසාද බඳින්න කියලා. අම්මාට නම් ඉතින් කවුරු හරි හොඳ ගැළපෙන කෙනෙකුට මාව බන්දලා දෙන එක තමයි තිබුණු එකම දේ. නමුත් ඒ සම්බන්ධව මට ලොකු උනන්දුවක් තිබුණෙ නැහැනෙ. කොහොම හරි ඉතින් මම භාග්‍යාගේ මුණ ගැසීම සම්බන්ධව ගෙදරට කිව්වම අම්මා කැමති වුණා. මගේ ගෙදරින් වගේම භාග්‍යාගේ ගෙදර අයගෙනුත් ඒ ආශිර්වාදය ලැබුණා දෙන්නටම. අපිට බාධක කොහෙවත් තිබුණෙ නැහැ. කොහොමත් අපි කතාබහ කරන්න පටන් අරන් මාස 4ක් 5ක් වගේ කාලයක් ඇතුළත තමයි විවාහ වෙන්නත් තීරණය කළේ. අපි වැඩිහිටි ළමයි විදියට මේ දේවල් ගෙවල්වලට හංගගෙන ඉන්න දෙයකුත් නැහැනෙ. ඒ නිසා කතා කරන්න පටන් ගත්තු කාලෙම ගෙවල්වලට කියලා ඒ හැමෝගෙම කැමැත්ත සහ ඒ ආශිර්වාදය ලබා ගත්තා.
හඳහන් එහෙම විශ්වාස කරනවද? ඒවා බැලුව ද?
අනේ නැහැ. අපි දෙන්නම ඒවා විශ්වාස කරන්නෙ නැහැ. මම දන්නෙ නැහැ. ඒ වගේ ඇත්ත, නැත්ත මොකක්ද කියලා. නමුත් අපි නම් ඒවා බලන්න ගියෙ නැහැ. කොහොමත් දෙන්නෙක් එකට ජීවත් වෙද්දී ප්රශ්්න එනවනෙ. ප්‍රශ්න නැත්නම් ඒ අය රොබෝලා වෙන්න ඕනෑ. මම නම් කියන්නෙ ඉතින් මීට පෙර සඳහන් කළා වගේ තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ වෙන්නෙ. අනෙක් භාහිර දේවල් ඇත්තටම වැඩක් නැහැ. අපේ විවාහයේ දී අපි කිසිම දෙයක් බැලුවෙ නැහැ බාහිර දේවල්. සාමාන්‍යයෙන් නුවර ප්‍රදේශයෙන් කසාද බදිද්දි කුල මල බලනවනෙ. නමුත් අපි ඒවා බැලුවෙත් නැහැ. කොහොමත් මගේ තාත්තාගේ ගමත් නුවර, භාග්‍යාත් නුවර. ඒ ප්‍රදේශයේ නෑදෑකම් කතා කළා ඇරෙන්න කුල, මල, හඳහන්, ධනය අපිට අවශ්‍ය වුණේ නැහැ.
අකිල සහ භාග්‍යාගේ හමුවීමත් එක්ක මාස 5ක් 6ක් වගේ කෙටි කාලයක් තුළ විවාහයට සූදානම් වෙන්න හිතුවෙ ඇයි?
මාස 5ක් 6ක් වගේ අපි කතා කළානෙ. ඉතින් මට හිතුණා විවාහයට යන්න ඕනෑ කියලා. මොකද මම දැඩිව විශ්වාස කරනවා අපි බඳින වයසෙනම් ඉන්නෙ, ඒ ප්‍රේම සම්බන්ධතා කල් යවන්න හොඳ නැහැ කියලා. එහෙම වුණාම ඒවා නැතිවෙන්න පුළුවන්. ඉතින් දෙන්නට දෙන්නා ගැළපෙනවා නම් ඉතා ඉක්මනින් විවාහ වීම තමයි හොඳම දේ. එ නිසා අපි දෙන්නා තීරණය කළා විවාහයට දින නියම කරන්න. ඒ අනුව තමයි ජනවාරි 17 අපේ විවාහ උත්සවයත් ජනවාරි 21 දෙවැනි දවසත් යොදා ගත්තෙ. ඇත්තටම මීටත් පෙර තමයි අපි විවාහය කරන්න හිටියෙ. නමුත් හෝටල් බුක් කිරීමේ ගැටලු ඇතිවුණා. ඒ නිසා තමයි ඉහත සඳහන් කළ දිනයන් යොදා ගත්තෙ.
රෑ හීනයෙන් සුරඟනක් ඇවිදිලා
මන්දාර මල් කිනිත්තක් දී ගියා
පෑ හීතලෙන් උණුහුමක් හොය හොයා
මං ගාව උන් තනිකමක් සැඟවිලා.....
හැම හීන හීන ගානෙ එනවද
සැනසුමක් අරන්
මට පේන පේන රූපෙ ඔබමද
සිතුවමක් ලෙසින්
ඒ ආදරේ සිහිනය දිගේ............
සුරඟන වීණා වී - ඔය බඳ සිහිදේවී
ඔබ ළඟ තවතීවි - මේ ගමනේ......
අකිලට භාග්‍යාගේ මුණ ගැසීමත් එක්කද මේ ගීතය රචනා වුණේ?
ඔව් අනිවාර්යයෙන්ම.
අද වෙද්දී මෙය ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා ඒ ගැනත් කියමු.
ඇත්තටම මෙහෙම ගීතයක් කළේ හඳිසියේ ආපු අදහසක් නිසා. විවාහ උත්සවයට දින කිහිපයකට පෙර මමත් සංගීත අධ්යක්ෂ උදාර සමරවීරත් පොඩි කයියක් ගහගෙන ඉද්දී තමයි මෙහෙම ගීතයක් කරමු කියලා තීරණය කළේ. ඉතින් ඒ මොහොතෙම උදාරගේ ස්ටුඩියෝවට ගිහින් ඔහුගේ මෙලඩියකට මම ඒ මොහොතේම වචන ටිකක් දැම්මා. ඒ වචන මට එක පාරම ආපු වචන ටිකක්. එක රැයකින් තමයි ඒ සියල්ලම කළේ. මෙලඩිය සහ සංගීතය නිර්මාණය කළාට පසුව නව පරපුරේ ගායන ශිල්පී සංදීප් ජයලත්ට එය ගායනා කරන්න දුන්නා. ඒ වගේම ඔහු එක්ක යුග ගායනයෙන් එකතු කරගත්තෙ අලුත්ම ශිල්පිනියක්. ඇය ඉමේෂා තත්සරණි. ඉතින් මේ ගීතයට මේ වෙද්දි ඉතා හොඳ ප්‍රතිචාරත් තියෙනවා. ඇත්තටම අපිටත් ඕන වුණේ අලුත් දෙයක් කරන්න. ඉදිරියේදී විවාහ වෙන්න ඉන්න අය මේ ගීතය ඔවුන්ගේ ඒ අවස්ථාවන්වලට යොදාගනියි කියන බලාපොරොත්තුවත් ඇතිව තමයි අපි මේ ගීතය කළෙත්.
ධනු විජේරත්න