‘මාස්ක්’දාගෙන ගියත් මිනිස්සු අපිව හඳුනාගන්නවා
ගීතිකා රාජපක්ෂ රංග ශිල්පිනිය අමුතුවෙන් හඳුන්වාදිය යුතු ශිල්පිනියක නොවෙයි. විවිධ චරිත රංගනයට ඇය වඩා දක්ෂ ශිල්පිනියක ලෙස හඳුන්වන්න පුළුවනි. මේ දිනවල ඇය වෙනස් විදියෙ කතා තේමාවක් රැගත් නාට්‍යයකට සම්බන්ධ වී සිටින අතරේ, සුරංග ද අල්විස්ගෙ ‘ද ගේම්’ චිත්‍රපටයේ චරිතයත් සමග ප්‍රේක්ෂකයින් අතරට එන මොහොතක, ඇයගේ ඒ රංගනයන්ට සාපේක්ෂව අපි ගීතිකා සමග ගීතවත් පිළිසඳරක යෙදෙමු.
ගීතිකා අපි ජීවත් වන්නෙ ඉරහඳ පායන ලෝකයකනෙ. ඉතින් මේ දිනවල ඔබ චරිතයක් රඟපාන ‘ඉරහඳ පායන ලෝකය’ නාට්‍යයේ විදිය ගැන ගීතිකා විස්තර කරන්නෙ කොහොමද?
ජාතික රූපාවාහිනියෙ විකාශය කෙරෙන මේ නාට්‍ය වෙනස්ම විදියෙ නිර්මාණයක්. මුලින් මෙය අධ්‍යක්ෂණය කළේ දයාරත්න රටගෙදර ප්‍රවීනයා. මේ දිනවල නම් එය අධ්‍යක්ෂණය කරන්නෙ ඉරේෂ් ලොකුබණ්ඩාර. සෝමවීර සේනානායක ශූරීන්ගේ කතාවකට අනුව තිර රචනය ලියන්නෙ ගයාන් හෙට්ටිආරච්චි. මේ වෙනස් නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ ශ්‍රීනාත් ද සිල්වා. එකළ ශ්‍රී ලංකාව විදේශීය ආක්රමණයන්ට නතු වූ පසුව, සාමාන්‍ය ජන ජීවිතයේ සිට සංස්කෘතිය දක්වා වෙනස් වූ හැටි, එදා හෙළයින් මේ ආක්රමණයන්ට එරෙහිව සටන් කළ හැටි. හරි ලස්සනට කතාවෙන් කියැවෙනවා. ඒ කාලයේ එකගෙයි කෑම කියන දේ ගමේ සංස්කෘතියෙ තිබුණු දෙයක්. මගේ චරිතය විකාශය වෙන්නෙ එතැනදියි. තාත්තාගෙ, අක්කගෙ, පුතාලා දෙන්නාගෙ බිරිඳ වෙන්නෙ මම. නම මද්දුමී. ඇය ජීවිතයට කොහොම – මොන විදියට මුහුණ දේවිද කියන එක මේ නාට්‍යය නරඹා දැන ගන්න පුළුවන්.
ඒ කාලයේ පැවැති, ඒ එකගෙයි කෑම ඔබ දකින්නෙ මොන විදියටද?
මම හිතන්නෙ ඒ කාලයේ හිටපු මිනිස්සු හරි අව්‍යාජයි. කුහකකම ඉතාම අඩුවෙන් තිබූ අය. මමත්වය අදට වඩා අඩු ඇති. නැත්නම් ඒ විදියට වටහා ගැනීමක් තියෙන්න බැහැනෙ. මේ චරිතය කරද්දි රටගෙදර සර්ගෙන් අතීත විස්තර අහගත්තා වගේම මාත් කියෙව්වා. ඒ අනුව තමයි ‘මද්දුමී’ට ප්‍රවේශ වුණේ. මට හිතෙන විදියට ඒ කාලයේ මිනිස්සු හරි සුන්දරයි. හරිම සුදහශීලී එකමුතු ජාතියක්. අවශ්‍යතාවයන් අඩු නිසා සරලකම එක්ක ජීවිත ගෙවූ බව පෙනෙනවා.
ඉරහඳ පායන ලෝකය හැර, ගීතිකා රඟපාන වෙනස් ටෙලිනාට්‍ය මොනවද?
‘නීලපබළු’ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණ. ලලිත් වසන්ත සහ සඳුන් රාජකරුණා මහත්වරු නිසා මට අවස්ථා ලැබුණෙ. උපුල් ජයසිංහ මහතාවත් (නිල්වලා) මතක් කරන්නට ඕනෑ. එයාලා නිසා තමයි එදා මට ‘උතුම් පැතුම්’ නාට්‍යයේ සුදු හාමිනේ වෙන්න පුළුවන් වුණේ. ‘නීල පබළු’ කරද්දි මටත් චරිතයක් තියෙනවා කියලා කිව්වා. ඒකෙ නම ‘ජානු’. ඊට අමතරව ‘මීමුරේ’ කියන ලංකාවේ ලස්සනම පළාතක මේ දිනවල තවත් අලුත් නාට්‍යයක රූගත කිරීම්වලට දායක වෙනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ ඉරේජ් ලොකු බණ්ඩාර.
මීමුරේ’ ට ගීතිකා කැමතිද?
අනේ ඔව්, කන්දක් උඩ මීදුම අතරින් ෂූටිං කරන්නෙ. හරිම ලස්සනයි. බොහොම කැපවීමෙන් මේ වැඩේ කරන්නෙ. අපි නවතින තැනත් හරිම සුන්දරයි. ෂූටිං කෙෙරන්නෙ කැලෑවෙ. ඒක හොඳ අත්දැකීමක්.
මේ ඔක්කෝම අතරේ, ‘ද ගේම්’ චිත්‍රපටයේ ගීතිකාගේ චරිතය ගැන කොහොමද කියන්නෙ?
මගේ රංගන දිවියේ සිනමාවෙ රඟපාන ප්‍රථම චරිතය තමයි ද ගේම් චිත්‍රපටයේ රඟපාන්නෙ. ඊට කලින් මට අවස්ථා ලැබුණත් සුරංග ද අල්විස් අයියාගෙ නිර්මාණ එක්ක තමයි මට සිනමාවට එන්න ලැබුණෙ. ‘ගේම්’ චිත්‍රපටයට තෝරාගෙන තියෙන කතාව හරිම ලස්සනයි. පසුගිය සමයේ රටේ සිදුවූ සිදුවීම් අලලා තිර රචනය ලියා තිබෙනවා. මම මේ කතාවෙ හැටියට, එනම් එක්තරා කණ්ඩායමක රහසක් මගෙන් හෙලිවේය කියන බයට, ඒ කණ්ඩායම මාව මරනවා. මගේ මරණය එක්ක තමයි මේ චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නෙ.
කොහොමද මේ චිත්‍රපටයේ රඟපා ලැබූ අත්දැකීම්?
සුරංග ද අල්විස් කියන්නෙ මට මගේම සහෝදරයකු වගේ කෙනෙක්. ඉතින් රඟපාද්දි විශේෂ බයක් තිබුණෙ නැහැ. බය වුණේ මේක ටෙලිතිරය වගේ නෙවෙයි, ලොකු තිරයකනෙ නරඹන්න ලැබෙන්නෙ. ඒ නිසා ඉතා සියුම් තැන් ගැන පවා විමසිලිමත් වෙන්න තිබුණා. මොකද පුළුල් තිරයකදි වැරදි පේන්න බැහැ. ඒ විදිය ගැන අවබෝධයක් ඇතිව සිනමාවේ රංගනය සඳහා වටහා ගැනීමක් ඇතිකර ගන්න පුළුවන් වුණා. සිනමා රංගනය කියන්නෙ හරි සංයමයකින් කළයුතු දෙයක්. මගේ චරිතය හරියට කරන්න අධ්යක්ෂ සුරංග ද අල්විස් අය්යාගෙන් ලැබුණ උපදෙස් නිසා චරිතය හොඳට කළ බව මට කියන්න පුළුවනි.
කොහොමද ගීතිකාගෙ ගෙදර ජීවිතය?
හොඳින් ගෙවෙන බව කියන්න පුළුවනි.
ගීතිකාගෙ ජීවිතය අද වන විට මොන වගේ තැනකද තියෙන්නෙ?
මම හිතන්නෙ අත්දැකීම් එක්ක, ජීවිතය එදාට වඩා අවබෝධ කරගෙන සිටින බව හැඟෙනවා. ජීවිතය හරි සුන්දරයි. ලොකු - ලොකු බලාපොරොත්තු ගොන්නක් මට නැහැ. නිර්මාණයකට දායක වෙලා මුලින්ම මම ඒ නිර්මාණය රස විඳිනවා. මගේ චරිතය දිහා බලලා රස විඳිනවා. ලස්සන නිර්මාණවලට දායක වෙලා, ප්‍රේක්ෂක ආදරය ලැබීම කියන්නෙ, වෙනස්ම හැඟීමක්. ‘මාස්ක්’ එකක් දාගෙන ගියත්, මිනිස්සු අපිව හඳුනාගෙන කතා කරනවා කියන්නෙ ලොකු ආත්ම තෘප්තියක්. රංගනය කියන්නෙ කලාව කියන්නෙ මුදලට වඩා ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් රස්සාවක්. මම එය බොහොම ගෞරවයෙන් ඒ රාජකාරිය කරගෙන යනවා. ඒ ගමනට අවුරුදු 10ක් සමීප වේගෙන එනවා. ඉදිරියටත් ඒ ආ විදියට සරලව ගෙවන්න ආසයි.
ජීවිතයේ ගීතිකාට කියන විශේෂ බලාපොරොත්තු මොනවද?
එහෙම ලොකුවට බලාපොරොත්තු නැහැ. රංගන ජීවිතයේදී කවදාකහරි සම්මානයක් ලබාගත හැකි තරමේ නිර්මාණයකට දායක වෙන්න සහ ඒ විදියෙ දක්ෂතාවයක් පෙන්වන්න ආසයි. ඒ වෙනකල් මගේ ගමන මම හිමින් යනවා.
ආදරයේදී ගීතිකා මොන වගේ කෙනෙක්ද?
පාසල් යන කාලයේ ඉඳලාම හරිම අවංක කෙනෙක්. ‘ආදරය’ කියන මාතෘකාවෙදි හරිම සංවේදී කෙනෙක්. ආදරය ගොඩාක් බලාපොරොත්තු වන කෙනෙක්. ආදරයේදී බලාපොරොත්තු තියෙනවා. ඒත් ආදරය කියන්නෙ අපි හිතන විදියටම නොලැබෙන දෙයක්. අපි හිතන විදියේ ආදරයක් ලබන්න පිනක් තියෙන්නත් ඕනැ. ඒ නිසා ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න ඕනෑ.
ගීතිකාගේ හැකියාවන් දිහා බැලුවාම වැඩිපුරම ගීතිකාගේ ජීවිතයේ කැමැත්ත තියෙන්නෙ මොනවටද?
අද නම් මගේ මුළු ජීවිතයම රංගනය එක්ක බැඳී තියෙන බව කියන්න පුළුවනි.
කාන්තාවක් විදියට ගීතිකා, ඔබ ගැන හිතන්නෙ කොහොමද?
කාන්තාවක් විදියට හෝ මනුස්සයකු ලෙස මම කරන සෑම දෙයක්ම හරි කියලා හිතන්නෙ නැහැ. තව කෙනෙක්ගෙ අදහස්වලට ගරු කරන කෙනෙක්. තමන් නිතරම හරි කියන තැන ඉන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්, ජීවිතය හරි සැහැල්ලු වේවි. ඒ වගේම අපිට අපගේ අඩුපාඩු හදා ගන්නත් පුළුවනි. කාලයක සිට මම හොඳ සවන් දෙන්නෙක් බවට පත්වෙලා. මම හිතන විදිහට ඒක හොඳ දෙයක්.
ලාංකිකයකු වීම ගැන දුක් වෙනවද?
සමහරු හිතන්න පුළුවන් පෙර පවකට මේ රටේ උපන්නෙ කියලා. හැබැයි මම නම් හිතන්නෙ මේ රටේ ඉපදෙන්න පිනක් තියෙන්න ඕනැ. රට කොහොම වුණත් අපි කටයුතු කරන විදිය එක්ක තමයි අපේ ජීවිතවලට ආලෝකය ලැබෙන්නෙ. කවුරු කවුරුත් එකිනෙකාට ගරු කරමින් රටට ආදරය කරමින් ජීවත් වීම තමයි වැදගත්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩ ගැන්වීම් - ශාලිකා ඉෂානි (Salon Shalika)