මවක් බිරිඳක් විදිහට වගකීම් කියන දේවල් මගේ අතින් මඟ හැරුණු අවස්ථා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මම ඉපදිලා තාත්තාගේ අතට දීපු වෙලාවේ තාත්තාගේ එකම හීනය වෙලා තියෙන්නේ මාව ලොකු වුණාම රූප සුන්දරියක් කරන්න. මට අවුරුදු 19 සම්පූර්ණ වෙනකොට තාත්තා ඇප්ලිකේෂන් දානවා මිස් ශ්‍රී ලංකා තරගයට. ඒ වෙලාවේ මට ගන්න බැරිවුණ කිරුළ 2015දී මිසිස් ශ්‍රී ලංකා කිරුළ මම මගේ කරගන්නවා. මගේ තාත්තාගේ හීනය සැබෑ වුණේ එදා. එතනින් පස්සේ කලා ලොවේ ජනප්‍රිය කිරුළ පස්වතාවක් මගේ හිසමත පළඳිනවා. මගේ මේ කලා ගමනේ ගමන් නියමුවා වෙන්නේ මගේ තාත්තා’

ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරියයි. ඇයගේ දක්ෂතාවයෙන් වර්ණවත් වූ සිංහල සිනමාව සහ පුංචි තිරය තුළ ඇයට අනන්‍ය වූ රංගන කෞෂල්‍යයෙන් විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට සමීප වෙමින් ඒ ජනාදරයෙන් ජනප්‍රිය කිරුළ පස්වතාවක් හිස දැරූ ඇය වසර දහතුනකට පසුව කලා ජීවිතේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා හොඳම නිළියට හිමි සම්මානයට ද හිමිකම් කීය. මේ වනවිට විදේශයක පදිංචිව සිටියත් තමන්ගේ රටේ කලාව වෙනුවෙන් නොපිරිහෙලා දායකත්වය දෙන උදාරිගේ අලුත්ම තොරතුරු සහ සම්මානයේ සතුට බෙදාගන්න සිංගප්පූරුවේ සිට සඳැල්ල අපි සමඟ ඇය මේ විදිහට එකතු වුණා.

උදාරිට ජීවිතේ වටිනාම උපන්දින තෑග්ග ලැබුණේ මේ අවුරුද්දෙද?

ඇත්තටම ඔව්. ඒ තෑග්ග මට හීනයක් වගේ. පළමු වරට තමයි 2020 වසරේ හොඳම නිළියට නිර්දේශිත නාම ලබන්නේ. පළමු වරට නිර්දේශිත නාම ලබපු අවස්ථාවේදිම සම්මානයට හිමිකම් කියන්න ලැබීම වාසනාවක්. ඇත්තටම ඒක මම ජීවිතේ ලබපු පෙර පිනක් කියලා හිතුණා.

මට සම්මානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේම නැහැ. මම එදා සම්මාන උළෙලට ගියේ සම්මාන ලබන අයට සුබ පතන්න. මායි සැමියයි ලංකාවට ආවේ මගේ තාත්තාගෙයි, මහත්තයාගේ අම්මිගෙයි වෛද්‍ය කටයුතු වගයක් ලංකාවෙදි කරගන්න යොදාගෙන තිබුණු නිසා. සම්මාන උළෙලටත් සහභාගි වෙන්න බලාපොරොත්තුව ඇතුව තමයි ලංකාවට ආවේ. සැමියා එක්ක සම්මාන උළෙලකට සහභාගි වූයේ සෑහෙන කාලෙකින්.

මගේ උපන්දිනේ යෙදිලා තිබුණෙත් සම්මාන උළෙලට දින දෙකකට කලින්. ජීවිතේ මට ලැබුණ වටිනාම උපන්දින තෑග්ග තමයි මේ සම්මානය. මොකද අවුරුදු දහතුනක් කලා ජීවිතේ හොඳම නිළිය සම්මානය වෙනුවෙන් නිර්දේශ අතරවත් මම ඉඳලා නැහැ. ඉතින් මේක මගේ කලා දිවියේ ලබපු ලොකුම ජයග්‍රහණයක්. මට මේ සම්මානය ලැබෙන්නේ සංජය නිර්මාල් මහතාගේ සංසාරණ්‍යය අසබඩ නාට්‍යයේ ළමාතැනීගේ චරිතයට.

 

ඉතින් මේ අවුරුද්දේ සිනමාව උදාරිටම වෙන්වුණ අවුරුද්දක් වේවි කියලා එන්න තියෙන නිර්මාණ ටික දැක්කම පේනවා.

ඇත්තටම ඔව්. චිත්‍රපටි අටක රූගත කිරීම් අවසන් කළා. ඩී. සිවදාසන්ගේ ‘දෙවෙනි යුද්ධය’, බෙනට් රත්නායකගේ ‘කවුරුවත් දන්නේ නැහැ’ මේ චිත්‍රපටය තිරගත වුණා පහුගිය දවස්වල. සරත් වීරසේකරගේ ‘ශ්‍රී සිද්ධා’ ජැක්සන් ඇන්තනිගේ ‘එකගෙයි සොකරි’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ සංජීව පුෂ්පකුමාරගේ ‘ආසු’, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණි’ ජැක්සන් ඇන්තනීගේ ‘දේවි සම්බුලා’ ඉදිරියේ දී තිරගත වීමට නියමිතව තියෙනවා. ඒ වගේම චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදිහට මම දකිනවා. මේ හැම නිර්මාණයක්ම මට විශේෂයි. විශේෂයෙන් එකගෙයි සොකරි චිත්‍රපටයේ රඟපාන කාලේ මට ජැක්සන් ඇන්තනී මහත්මා යටතේ ලැබුණු ගුරුහරුකම්, වෘත්තිය පරිණතභාවය හදාගන්න ලැබුණු උපදෙස් මගේ රංගන කුසලතාවයන් දියුණු කරගන්න විශාල පිටිවහලක් වුණා.

වසර දහතුනක අත්දැකීම් එක්ක කලාව ඇතුළේ උදාරි අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

බොඳ මීදුම් ටෙලි නාට්‍ය කරන මුල් කාලේ රඟපෑ චරිතවලට වඩා දැන් මගේ රංගනය දකිද්දි මම ලොකු වෙනසක් අත්දකිනවා. මම වැඩ කරපු අධ්‍යක්ෂවරුන්ගෙනුත් ප්‍රවීණ ශිල්පීන්ගෙනුත් මම ඉගෙන ගත්ත දේ තමයි ඉවසීම ප්‍රගුණ කිරීම. වචන උච්චාරණය, හැම නිර්මාණයකින්ම මම කලාව පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රංගනය කියන්නේ අපි හොයාගෙන ගිහින් ප්‍රගුණ කරන්න ඕන විෂයක්.

දෙරණ මිස් ශ්‍රී ලංකා ඔස්සේ කලාවට අඩිය තියපු මම මුලින්ම කැමරාව ඉස්සරහට එන්නේ වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලින්. මුලින්ම මාව සිනමා තිරය ඉස්සරහට ගේන්නේ උදයකාන්ත මහතාගේ ‘පායා එන්න හිරුසේ’ චිත්‍රපටයෙන්. ඊට පස්සේ බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයෝ මට අසීමිතව ආදරය කරන්න පටන් ගත්තා. එතැන් පටන් මම ප්‍රේක්ෂකයන් අතරට වැඩිපුරම ආවේ ටෙලි නාට්‍යවලින්. ඇත්තටම මම කවදාවත් ඇගයීම් සම්මාන බලාගෙන වැඩ කරලා නැහැ.

ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වුණු උදාරි පසුකාලීනව ටෙලි නාට්‍ය අත්හැරියේ ඇයි?

ටෙලි නාට්‍ය අතෑරලා නැහැ. හැබැයි මෙගා නාට්‍යය එක්ක වැඩ කරන්න මගේ අදහසක් නැහැ. තාවකාලිකව පුංචි තිරයෙන් ඈත් වුණේ පසුගිය කාලේ සිනමාවට වැඩි කාලයක් යොදවන්න වුණු නිසා. ඒ චිත්‍රපට  තිරගත වන තෙක් තාවකාලිකව ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා ඉන්න තීරණය කළා.

කලාව නිසා පෞද්ගලික ජීවිතේ මඟ හැරුණු තැන් උදාරිගේ ජීවිතෙත් ඕන තරම් ඇති. ඒ අභියෝගයන්ට ඔබේ සැමියාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තටම කලාව නිසා මට ජීවිතේ මඟ හැරුණු තැන් ගොඩක් තිබුණා. මවක් බිරිඳක් විදිහට වගකීම් කියන දේවල් මගේ අතින් මඟ හැරුණු අවස්ථා තියෙනවා. පසුගිය අවුරුදු දෙකම මගේ සැමියාගෙන් සහ දරුවාගෙන් ඈත්වෙලා කලා කටයුතු නිසා මට ඉන්න වුණේ ලංකාවේ. මට එයාලා ළඟට ගිහින් එන්න නිවාඩුවක් තිබුණෙම නැහැ. දුව අම්මාව හොයන පුංචි කාලේ මට එයා ළඟ ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර දවස්වලට මම ගෙදරින් යද්දි දුව නිදි. මම රෑට එනකොටත් දුව නිදි. දුව මාව ඇහැටවත් නොදකින බොහෝ දවස් තිබුණා. ලංකාවේ මම ගෙවපු අවුරුදු දෙකම සැමියා දුවට අම්මයි තාත්තයි දෙන්නම වුණා. එයාගේ සියලු වගකීම් සැමියා නොපිරිහෙලා ඉටුකළා. කිසිම වෙලාවක කලාව නතර කරලා සිංගප්පූරුවට එන්න කියලා සැමියා කියලා නැහැ. විශේෂයෙන් සැමියාගේ තේරුම් ගැනීම මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා. කිසිම ජයග්‍රහණයක් කැපවීමකින් තොරව ලබාගන්න බෑ කියන එක මම මගේ ජීවිතේ අත්දැකීමෙන්ම දන්නවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නෙම විවාහවෙලා. ඒ බැඳීම මේ කලා ගමනට කොතනකදිවත් බාධාවක් විදිහට පෙනුනෙ නැද්ද?

සැමියා මුණ ගැහෙන්නේ මට අවුරුදු 19 දි. උදයකාන්ත මහත්මාගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය කරන කොට මම විවාහවෙලා හිටියේ. මම විවාහකයි කියන එක ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් වුණේ නැහැ. ජනප්‍රිය නිළිය සම්මානය වසර පහක් එක දිගට ටෙලි සිනමා ක්ෂේත්‍ර දෙකෙන්ම ලැබුණා. ඇත්තටම විවාහය මගේ රංගනයට කොතනකදිවත් බාධාවක් වෙලා නැහැ. මගේ සැමියා වෛද්‍යවරයෙක්. ඔහු ඔහුගේ වැඩත් කරගෙන රූපගත කිරීම්වලට මාවත් නිදහස් කරලා දරුවව බලාගෙන ඇයට මම නැති අඩුව දැනෙන්න නොදී හොඳ පියෙක් සැමියෙක් විදිහට ලබාදෙන සහය ඇත්තටම ගොඩක් වටිනවා. දැන් මගේ දුවට අවුරුදු 9ක්. හරිම සතුටුයි දැන් මගේ උසටම හරියන්න ලොකු දුවෙක් ඉන්නවනේ.

ඉතින් ළඟකදි නැවත ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇත්තටම ලංකාවට ආවේ සති දෙකකට වගේ ඇවිත් යන්න. අප්‍රේල් 10 වෙනිදා නැවත සිංගප්පූරුවට ආවා. ලෝකේ කොහේ හිටියත් ලංකාවේ තරම් සැනසීම ලැබෙන්නේ නැහැ. නැවත දුවගේ පාසල් නිවාඩුවට ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

මව්රට අද මූණදීලා තියෙන තත්ත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

විදේශ රටක ඉඳන් මගේ රට දිහා බලනකොට හදවතට දැනෙන්නේ පුදුම වේදනාවක්. මගේ රටේ තරුණ පරම්පරාව ගැන හරිම දුකයි. දරුවන්ගේ අනාගතය ගැන දැනෙන්නේ මහා බයක්. විදේශ රටක හිටියත් හදවතින්ම ඉන්නේ ශ්‍රී ලංකාවේ මගේ රටේ මිනිස්සු එක්ක.

නදීශා අතුකෝරළ

ඡායාරූප -  සජීව ලක්ෂාන්

හැඩගැන්වීම ලක්කිත උක්වත්ත