මුලින්ම රූපවාහිනියෙන් දකිද්දී අම්මෝ ඒ සතුට - මම ගොඩක් සතුටු වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වොල්ගාගේ උපන් දිනයට හැම අවුරුද්දෙම ගෙදර අය උපන් දින කේක් එකක් නම් කපනවලු. හැබැයි ඒ අතරින් වොල්ගාට අමතක නොවන උපන් දින මතකයක් ඉතිරි කළේ වොල්ගාගේ ජීවිතේ විශේෂම අයයි.

''මගේ ජීවිතේ විශේෂ කාලෙකදි මගේ අම්මයි තාත්තයි මගේ යාළුවන් කිහිප දෙනෙකුයි මගේ උපන් දිනය මට අමතක නොවන දිනයක් බවට පත් කළා. එදා මම ගෙදර හිටියේ නැහැ. ඉතින් මේ අය ගෙදර උපන් දින සාදයක් ලෑස්ති කරලා තිබුණා. ගෙදර එද්දි මට හිතාගන්නවත් බැහැ. මම හිතපු නැති විදිහට උපන් දින සාදයක් ඒ අය මම වෙනුවෙන් සූදානම් කරලා තිබුණා.''

• නොවරදින උපන් දින කේක් එක

''මගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි, ආච්චි සීයා ජීවත්ව සිටියදිත් අපි කේක් එකක් නම් අනිවාර් යෙන්ම කපනවා. දැන් නම් ආච්චි, සීයා ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා තාත්තගේ උපන් දිනයට කේක් එකක් කපලා අපේ පවුලේ අය එළියට ගිහින් උපන් දිනය සමරනවා. සමහර අවුරුදුවලදී අපි දාන දීලත් තියෙනවා. හැබැයි අම්මා තාත්තාගේ උපන් දිනයට මම ගාණේ කේක් එකක් නම් වරදින්නෙ නැහැ. මම එදාට කොහේ හිටියත් කේක් එකක් නම් ඒ දෙන්නා වෙනුවෙන් ගෙදරට යවනවා.'' 

මල් වැටිච්චි ෙබා්රිච්චි ගවුමක්

• අත්වැල් ගායනයෙන් කැමරාව ඉදිරියට

වොල්ගා ජීවිතේ මුල්ම වතාවට කැමරාවක් ඉදිරියට ඇවිත් තියෙන්නෙ පුංචි කාලෙදි. අද නිළියක් වුණත් එදා මුලින්ම අත්වැල් ගායනයෙන් එකතු වුණු වොල්ගාගේ ජීවිතේ ඒ කාලයත් හරි සුවිශේෂීයි.

''රූපවාහිනියේ (අතුරු මිතුරු) ළමා වැඩසටහනේ සින්දු කියද්දි පිටිපස්සෙ අත්වැල් ගායනයට හිටපු කෙනෙක් විදිහට තමයි මුලින්ම මම කැමරාවක් ඉස්සරහට ආවෙ. මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ නාට්‍ය කරමින් ඉඳිද්දි ප්‍රතිභා කියලා අයියා කෙනෙක් මාර්ගයෙන් මට වසන්ත ඥානප්‍රිය ගුරුතුමාව මුණගැහුණා. ඔහුගේ මාර්ගයෙන් මට රූපවාහිනී (අතුරු මිතුරු) ළමා වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙද්දි මම හිටියෙ පහ වසර පන්තියෙ.''

බෝරිච්චි අත් දාපු, බේබි කොලර් එකක් දාපු මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන අත්වැල් ගායනයට සම්බන්ධ වුණු හැටි අදටත් වොල්ගාට මතකයි.

• මුලින්ම රූපවාහිනියෙන් දකිද්දී අම්මෝ ඒ සතුට

(අතුරු මිතුරු) ළමා වැඩසටහනට අත්වැල් ගායනයෙන් කිහිප වතාවක්ම වොල්ගා සම්බන්ධ වුණා. ඒ අතරින් මුලින්ම රූපවාහිනියෙන් තම රූපය දැකපු ඇයට හිතාගන්නවත් බැරි වුණා. ඇය පුදුම විදිහට සතුටු වුණා. අද මොන තරම් නිර්මාණවලට දායක වුණත්, මොන තරම් රූපවාහිනියෙන් තම රූපය දුටුවත් ඒ හැම මොහොතක්ම ඇයට විශේෂයි කියලයි වොල්ගා කියන්නෙ.

''මුලින්ම රූපවාහිනියෙන් මාව දකිද්දි මට දැනුණු හැඟීම වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ. මම ගොඩක් සතුටු වුණා. දැනටත් මාව රූපවාහිනියෙන් පෙන්වද්දි ඒක මට සාමාන්‍ය දෙයක් නෙමෙයි. මම අහම්බෙන් රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වුණු කෙනෙක් නෙමෙයි. බොහොම කැමැත්තෙන්, මහන්සියෙන් මම මේ දේවල් කළා. අදටත් මම ඉන්න නිර්මාණයක් මම බලද්දි මට ඒ දේ අලුත්. ඒක මට හැමදාමත් විශේෂයි. අදටත් ඒ හිතට දැනෙන හැඟීම මෙහෙමයි කියලා කියන්න තේරෙන්නෙ නැහැ. ඒක හරි අපූරුයි. පුංචි කාලෙ මම යාළුවො ගොඩක් ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි (අතුරු මිතුරු) වැඩසටහන යද්දි මම මගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, ළඟම නෑදෑයන්ට මාව බලන්න කියලා තිබුණා.''

• ඉස්කෝලෙදි කලබගෑනියක්

වොල්ගා ඉගෙන ගත්තෙ බාලිකා පාසලක. ඉතින් දඟකාරකම් ගැන අහලා වැඩක් නැහැනෙ. වොල්ගාගෙ පාසල් ජීවිතේදිත් හොරෙන් කෑම කාපු දවස්, උගන්වන විෂයන් මඟහැරපු දවස් අනන්තවත් තිබුණා. ඔය අතරෙදි උසස් පෙළ පන්තිවල ඉගෙන ගනිද්දි අල්ලපු පන්තියේ හිටපු ගැහැනු ළමයි එක්ක වොල්ගාගෙ පන්තියෙ ළමයි එක පොදියට ගුටිබැට හුවාමාරු කරගත්ත දවසකුත් තිබුණා. වොල්ගා නම් කියන්නෙ ''මම ගහගත්තෙ නැහැ. ''කෑගහන්න එපා. එහෙම කරන්න එපා'' කියලා ළමයින්ව බේරුවා කියලයි. හැබැයි ඇත්ත දන්නෙ වොල්ගාම තමයි.

'හිතට වදින' කෙනා ඔයාද

• තමන් දැන් නිළියක් කියලා තමන්ටම දැනුණු මොහොත

''මාව නිළියක් විදිහට මුලින්ම හඳුනා ගන්නට පෙර මිනිස්සු මාව නිවේදිකාවක් විදිහට හඳුනා ගත්තා. මම ඉස්සර ස්වර්ණවාහිනියේ (හිතට වදින එක) නමින් වැඩසටහනක් නිවේදනය කළා. මේ වැඩසටහන ඒ දවස්වල දවල් එකට තමයි විකාශය වුණේ. මට තාම මතකයි.. මම කැලණි පන්සල් ගිය දවසක මාව දැකපු කෙනෙක් ''අර හිතට වදින එක කරන කෙනා ඔයා නේද?'' කියලා මගෙන් ඇහුවා. එදා මට හරි සතුටුයි. එදා තමයි කෙනෙක් මාව මුලින්ම හඳුනා ගත්තෙ.''

ඔන්න ඔහොමයි මුලින්ම වොල්ගාව මිනිසුන්ගෙ හිතට වැදුණෙ.

අද මාණික්‍කාවත ටෙලිනාට්‍ය හරි ජනප්‍රියයි. ඇය එම ටෙලිනාට්‍යයේ (ගුණාදරී) නම් චරිතය කරනවා. ටෙලිනාට්‍යයේ අම්මා තාත්තාට ඇය (මගේ රත්තරනී) කියලයි කියන්නෙ. ඔන්න ඉතින් මේ දවස්වල වොල්ගාගේ බොහෝ රසික රසිකාවියන් ඇයට කතා කරන්නෙ (මගේ රත්තරනී) කියලලු. ඒකත් ඇගේ ජීවිතයට මේ දවස්වල සුවිශේෂී සිදුවීමක් කියලයි වොල්ගා අපිට කිව්වෙ.

දිශානි