මුලින්ම රඟපාන්න එනකොට මට වයස අවුරුදු විසිදෙකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙටි කාලයක් තුළදී වෙළෙඳ දැන්වීම් බොහෝමයක ඔබ දැක ඇති දේවි චන්ද්‍රසිරිට මෙවර සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. රංගනයට ඉමහත් කැමැත්තක් දක්වන දේවි කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්නටද අපේක්ෂාවෙන් පසුවන අතර, කෙටි කාලයක් තුළ ඇය ආ ගමන ගැන අපට පැවසුවේ මෙවැන්නකි.

ඔබ ගැන අපි මුලින්ම කතා කරමු?

දැනට මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. නිරූපිකාවක් කිව්වාම ගොඩ දෙනෙක් අඳුන්වන්නේ ෆැෂන් ෂෝ වල පෙනී ඉන්න මොඩ්ල්ස්ලාට නේ.  මම කරන්නේ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවලට පෙනී සිටින එක.  ඒ අතර මම තෝරාගත් පොටෝ ෂුට්වලටත් ඉන්නවා. දැන් මගේ එකම ඉලක්කය මේ ක්‌ෂේත්‍රයේ තුළ හොඳ සාර්ථක ගමනක් යන එක.

වෙළෙඳ දැන්වීම් රංගනයට ඔබ මුල පිරුවේ කොහොමද?

වෙළෙඳ දැන්විම් සඳහා පෙනී ඉන්න පටන් අරගෙන තාම ලොකු කාලයක් නැහැ බොහොම කෙටි කාලයක්. මුලින්ම හා පුරා කියලා වෙළෙඳ දැන්විමක හිටියේ %රන් කහට^ වෙළෙඳ දැන්විමේ. සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වුණ ජෝන් කිල්ස් වෙළෙඳ දැන්විමක පෙනී හිටියා. දැනට දේශපාලන වෙළෙඳ දැන්විම් කිහිපයක මම දායක ඉඳලා තියෙනවා. පත්වුණ නව රජයේ මාලිමාවේ තේමා ගීතයෙත් මම පෙනී ඉන්නවා. ඇට්ලස්, එලිෆන්ට් හවුස් වෙළෙඳ දැන්විම් වලත් දැනට මම පෙනි ඉඳලා තියෙනවා. හැබැයි ඒවා තවමත් විකාශය වුණේ නැහැ.

ඔබ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ මීට වසර ගණනාවකට කලින්?

ඔව්, මම මුලින්ම කලා නිර්මාණයකට කියලා පෙනී හිටියේ ගීත රූප රචනාවකට. එතකොට මට හරියටම අවුරුදු 22යි. දුරස් වෙන්නට මේ ලෙසින්.. කියන ගීතයට තමයි මම මුලින් පෙනී හිටියේ. ඒ වැඩෙන් පස්සේ ලොකු ආසාවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. නමුත්, යම් යම් පෞද්ගලික හේතු බලපෑවා මගේ ඒ තිරණේට. හැබැයි මගේ සැමියා මට උදව් කළා අයෙත් ඒ පැත්තට යොමු වෙන්න. ඊට පස්සේ ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරෙක් වුණ රොෂාන් ප්‍රියංකරට මන් ගැන කියලා තිබුනා. ඔහු මේ ක්‌ෂේත්‍රයේ ප්‍රවීණ අයෙක්. ඉතින්, රොෂාන්ගේ සම්බන්ධතා හරහා කලා ක්‌ෂේත්‍රයේ අයට ඔහු මාව සම්බන්ධ කළා.  

කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මේක මගේ හීනයක්. මම හිතුවේ නැහැ කවදාවත් මට කලාව පැත්තට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබෙයි කියලා. අද මාව යම් පිරිසක් දන්නවා. ගොඩක් අය මාව දැක්කාම මේ අර වෙළෙඳ දැන්විමේ හිටිය කෙනා නේද කියලා අහනවා. මිනිස්සුන්ගේ ලැබෙන අන්න ඒ ප්‍රතිචාරවලට මම ගොඩක් ආසයි. මම හිතනවා ඒක තමයි මිනිස්සුන්ගෙන් මට ලැබෙන ලොකුම තැග්ග කියලා. මම ඉපදුනේ පානදුරේ පැත්තේ පුංචි ලස්සන ගමක. ළමා කාලේදී අපි ගමේ වේදිකා නාට්‍ය එහෙමත් කළා. රංගනය කියන දේ ඇගට ආවේ ඒ ලැබුණ අත්දැකිම් හරහා කිව්වොත් හරි.  ලොකුම ආසාවන් තියෙනවා කවදා හරි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා එහි රඟපාන්න. ඒක තමයි දැනට මගේ ජීවිතේ තියෙන ලොකුම හීනේ.

ගීත කියන්න වගේ ගීත ලියන්නත් ඔබට හැකියාව තියෙනවා?

ගීත කියනවා..හැබැයි ගයන්නට වඩා ලියන්ටන ලොකු හැකියාවක් මට තියෙනවා කියලා මම හිතනවා. මම  ලියුව ගීත කිහිපයක්ම දැනට නවකයින් කීප දෙනෙක් ගායනා කරලා තියෙනවා. මම අපේ අලුත් ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලියූ ගීතයක් තියෙනවා. හ්ක මගේ යූ ටියුබ් නාලිකාව හරහා අදටත් අහන්න දකින්න පුළුවන්.

දිගටම කලාවත් එක්ක වැඩ කරන්න කැමතිද?

මවක් බිරිඳක් වුණා කියලා මම මේ ක්ෂේත්‍රය අත්හරින්න සුදානමක් නැහැ. අනික මම මවක් බිරිදක් වෙලා තියෙද්දි තමා මේ ක්ෂේත්‍රයට ආවෙත්. නව යොවුන් වියේ නොවුනත් ඔවුන් හා එක්ව වැඩ කරන්න හැකි පෙනුමක් තියෙනවා කියලා හැමෝම කියන්නේ. මටත් එහෙම හිතනවා. ඒක මට ආභරණයක්. තරුණියන් හා සමානව මට මේ කලාවට දායකත්වය සපයන්න පුළුවන්. මගේ අම්මා තමා ආසම මම කලාවත් එක්ක වැඩ කරනවාට. කලා කටයුත්ත එක්ක කාර්යබහුල වෙද්දි මගේ අම්මා තමා මගේ පුංචි පුතාව බලාගන්නෙත්. ඒ වගේම මගේ සැමියා. ඔහු තමයි මට කලාවට එන්න දෙවැනි අවස්ථාව උදා කර දුන්නේ. ඒ වගේම කලා ක්ෂේත්‍රය තුළ ගමනක් යන්න මට අතදිපු රොෂාන් ප්‍රියංකරවත් මම මේ කෘතවේදීව මේ වෙලාවේදී මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර

ඡායාරූප - සුපුන් උදයංග