මුලින්ම ඉතින් පැද්දේ ෆුට් සයිකල් තමා මොකද අපිට පොඩි කාලේ ගෙවල්වල වාහන තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය, රථගාය, ඉතින් මෙවර මේ විශේෂාංගයට අපි  සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ. 

දිමංක වෙල්ලාලගේ කියන්නේ රථගාය තියන කෙනෙක්ද?

අම්බානකට රථගාය නම් තියෙන කෙනෙක් මට පොඩි කාලේ ඉදලා  වාහන උණක් තිබුණා. ඒක තාම තියෙනවා මගෙ යාළුවෝ ඒ ගැන දන්නවා. ඉතින් ගොඩාක් යාළුවෝ වාහනේක කොහෙහරි යනවනම් මම ඉන්නකොට මට තමයි වාහනයේ යතුර දෙන්නේ. එයාලා දන්නවා මම  Driving වලට ආසයි කියලා. 

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මුලින්ම ඉතින් පැද්දේ ෆුට් සයිකල් තමා මොකද අපිට පොඩි කාලේ ගෙවල්වල වාහන තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ටිකක් ලොකු වෙනකොට මෝටර් සයිකල් පැද්දා. ඒවා පැදලා අනතුරු එහෙමත් වෙලා තාත්තාගෙන් හොඳට ගුටිත් කාලා තියෙනවා.
මම ගායකයෙන් වෙන්න කලින් ඒ කියන්නේ ඒ වෙනුවෙන් හීන දකින කාලේ සින්දු කරන්න සල්ලි නැහැනේ. ඉතින් ඒවාට සල්ලි හොයාගන්න රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික ඇගලුම් කම්හලක ආරක්ෂක නිලධාරියෙකු විදිහට සේවය කළා. එතන Parking Full උනාම කම්පැණි එකට වැඩට එන අය මට යතුර දීලා යනවා එයාලගේ වාහන Park කරන්න කියලා. ඒ වුණාට හැබැයි එයාලා දන්නේ නැහැ මට Driving බැහැ කියලා. ඒත් මට confidence තිබුණා වාහන පදින්න පුළුවන් කියලා.  ඒකෙන් මම Driving පුරුදු වුණා වගේම මම සුඛෝපභෝගී කියලා කියන හැම වාහනකයක්ම වගේ මට පදින්න අවස්ථාව ලැබුණා. එහෙම වාහන පුරුදු වෙලා තමයි මම ලයිසන් එක ගත්තේ ඒ වෙනකොට මට ලයිසන් එකක් තිබුණේ නැහැ. 

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදා ද?

මගේම කියලා මම වාහනයක් ගත්තේ 2014. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයට ආව කාලේ. මම මුලින්ම ගත්තේ Sky Blue පාට ටොයොටා ඇක්වා එකක්. ඒ කාලේ එක එක සමාගම්වලින් කලාකරුවන්ව සම්බන්ධකරගන්නවා.  ගිවිසුමකට තමයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ. මම හිතන්නේ දැන් නම් එහෙම ගන්නේ නැහැ.  කොහොම උණත් මම එක්තරා සමාගමක් සමඟ ගිවිසුමකට අත්සන් කළා. ඉතින් ඒ සමාගමෙන් මට සෑහෙන මුදලක් ලැබුණා. ඒ ලැබුණු මුදලෙන් එකවර සල්ලි ගෙවලා තමයි මගේ පළවෙනි වාහනය ගත්තේ. හැබැයි අවුරුදු දෙකක්වත් ඒ වානහය පැද්දේ නැහැ ඒක මගෙ අතින් හැප්පුණා. වාහන තුනක්ම ඉතා බරපතළ රිය අනතුරු වෙලා condemn වෙලා තියෙනවා. ඇත්තටම අධික වේගයෙන් රිය පැදවීම නිසාම තමයි මම ගොඩක්ම අනතුරුවලට මුහුණ දුන්නේ.

පළවෙනි වාහනය අරන් මුලින්ම කොහෙද ගියේ? ඒ මතකයන්?

මම වාහනය මුලින්ම තාත්තට පෙන්නුවම, තාත්තාට මාත් එක්ක කතා කර කර දුර ගමනක් යන්න ඕනේ කිව්වා. ඉතින් එයාගෙ ඉල්ලීමට මම තාත්තාව වාහනයේ දාගෙන කතරගම ගියා. අපි දෙන්නා ගොඩාක් එකතුයි. ඉතින් අපි මුලින්ම ඒ ගමන තමයි ගිහින් ආවේ. ඒක තමයි මම හිතන්නේ ගමනක් කියලා මගේ පළවෙනි වාහනේ ගියපු මුල්ම ගමන. 

මුලින්ම වාහනයක් ගත්තහම මොකද කරන්නේ?

එහෙම වාහනයක් ගත්තම විශේෂයෙන් කියලා මුකුත් කරන්නේ නම් නැහැ. 
මුලින්ම ඉතින් මගේ අම්මාටයි තාත්තාටයි ඒක පෙන්නනවා. අපේ ගෙදර වාහන තිබුණු ගෙයක් නෙමෙයි ඉතින් මම ඒ වගේ වාහනයක් ගත්තම එයාලා තමයි මුලින්ම සතුටු වෙන්නේ සහ ඒ ගොල්ලෝ හරි ආසයි.

දැන් පාවිච්චි කරන වාහනය මොකක්ද? ඒ වාහනය එක්ක තියන හොඳම මතකය මොකක්ද?

දැන් Vitz එකකුත් තියෙනවා ටොයොටා Allion එකකුත් තියෙනවා. මේ වාහන දෙකෙන් මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන්නේ Allion එක තමයි. ඒ  වාහනය අරන් දැන් මාස 6ක් විතර ඇති. 

හොඳ මතකයක් කියන්නේ ගත්ත දවසේ ඉදන් ඒකෙ ලෙඩ. ඒ උණාට ඒක විකුණන්නත් ලෝභයි. ඒ වාහනය අරන් තාම මාස 6ක් උණාට මේ ටික කාලෙට මේ වාහනය Repair කරන්නම ලක්ෂ 10කට වැඩිය වියදම් කරලා තියෙනවා.  
මේ වෙනකොට මම වාහන 7ක් 8ක් වගේ පාවිච්චි කරලා තියෙනවා.  මම Driving වලට ආස වුණාට මගේ වාහන උවමනාවෙන් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. මගේ වාහනයට කවුරුහරි නැග්ගොත් සංසාරේ කලකිරෙනවා. මම වාහන අස් කරන පිහදාන කෙනෙක් නෙමෙයි. ප්‍රසංගවලට ගිහින් එද්දී රෑ වෙනවානේ එතකොට ඒවාට දාගෙන යන සපත්තු එහෙම මගේ වාහනය ඩිකිය ඇතුලේ තියෙනවා දවස් ගණන්. සමහර වෙලාවට මතකත් නෑ ඇඳුම් කාර් එකේ සීට්වල එහෙම්ම ම තියෙනවා.

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවා ද?

අනිවාර් යෙන්ම මාර කටු කාලා තියෙන්නේ.  Allion එක ගත්තට පස්සේ දවසක් gasket ගියා. මම සාමාන්‍යයෙන් වාහනයක Technical පැත්ත ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම Technique කියලා දන්නේ Singing Technique විතරයි. කොහොමහරි එදා වාහනයේ කූලන් මොනවා හරි ලීක් වෙලා වාහනය හීට් වෙන්න ගත්තා. මම දන්නේ නැතුව වාහනය හීට් වෙලා හින්දා මම කූල් වතුර දැම්මා පස්සේ බලද්දි gasket  ගිහිල්ලා. යක්කල පැත්තේදී වුණේ මේ සිද්ධිය.කොහොමහරි එදා මට ප්‍රසංග 3කට යන්න තිබුණා.  ඒත් එක ප්‍රසංගයකට විතරයි යන්න පුළුවන් වුණේ. වාහනය ගරාජ් එකකට දාලා ටැක්සි එකක් දාගෙන තමයි ඒකටත් ගියේ. සති තුනක් විතර ගියා වාහනය හදලා ගේන්න ඒ වගේම ලොකු මුදලකුත් ගියා. 

මේ වෙනකන් පාවිච්චි කරපු වාහනවලින් කැමතිම වාහනය මොකක්ද?  

honda shuttle කියලා වාහනයක් තිබුණා ඒකට මම ගොඩක් කැමතියි. ඒ වාහනය දැන් තියෙන්නේ මගේ රසිකයෙක් ළඟ. ඉතින් එයා මගේ නමට තිබුණ වාහනය තාම වෙනස් කරලා නැහැ. තාමත් මගේ නමින්ම තමයි එයාලා වාහනය තියාගෙන ඉන්නේ. එයා දන්නවා මේ වාහනය කලින් Accident වුණ වාහනයක් කියලා. ඒත් මම පැදපු වාහනය කිව්වාම එයා ඒක අරගෙන තිබ්බා. මට මේ ළඟකදි එයාව හම්බවුණා. වාහනයත් එයා මට පෙන්නුවා. ඒ වාහනය දකිනකොට ඇත්තටම මට සතුටුයි මොකද ඒක ගොඩාක් Damage වුණ වාහනයක්. ඉතින් හොඳ තත්ත්වයෙන් තිබීම ගැන සතුටුයි. 

දිමංකගේ Dream vehicle එක ගැනත් කියමු? 

දැන් මම ගන්න ආසාවෙන් ඉන්නෙ බෙන්ස් එකක් තමයි. ගන්නේ මොන පාට එකක්ද කියලා තාම හිතලා නැහැ. මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක තමයි මේ ආසාව ඉෂ්ට කරගන්න පරක්කු වෙලා තියෙන්නේ. ඒත් ඉදිරියට බලමු. 

 

ලිහිණි ලියනගේ