’මාරයි ඈ’ කියන ඕනෑ තුවාලයකට මමත් ඔට්ටුයි - ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පි නලින් ප්‍රේමතිලක
Qනලින්.... සිනමා නිර්මාණයක අංග රචනා ශිල්පියකුට විශේෂිත තැනක් හිමිවෙනවා. නලින් සාමාන්‍ය අංග රචනා නිර්මාණවලට අමතරව විශේෂිත වුණ නිර්මාණවලටත් දායක වෙලා තිබෙනවා. මෙහි ආරම්භය වුණේ කොහොමද...?
මම මේ වෙද්දී අවුරුදු තිස් නවයකට ආසන්න කාලයක් අංග රචනා ශිල්පියෙක් ලෙස වැඩකරල තියෙනවා. මුලින්ම මේ කටයුත්තට මම සහය අංග රචනා ශිල්පි ලෙසයි සම්බන්ධ වුණේ. ඒ කාලේ මේ දේවල් ඉගෙන ගන්න තැන් එතරම් තිබුණේ නැහැ. අපි පාරම්පරික විදිහට අපට වඩා ප්‍රවීණ, අත්දැකීම් බහුල ශිල්පියෙක් ළඟ සහය ශිල්පියෙක් ලෙස වසර ගණනාවක් වැඩකරලා තමයි අත්දැකීම් එකතු කරගත්තේ. නිතර මේ දේවල් ඇසුරු කිරීමත් සමඟ අපි මේ දේවල් පිළිබඳව හිතින් අධ්‍යයනය කළා. මුල් කාලයේ අපි පටන් ගනිද්දීත් ලෝකය පුරා මේ රූපලාවන්‍ය ආලේපන (Cosmetic Makeup) තිබුණා. හැබැයි ඒ කාලේ අපිට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න අමාරු කාලයක් තිබුණා. ඒ කාලේ අපිට අන්තර්ජාලය තිබුණේ නැහැ. අද වෙද්දී අපිට ලෝකයත් එක්ක යාවත්කාලීන වෙන්න, ඉදිරියට යන්න හැකියාව ලැබිලා තියෙනවා. ලෝකයේ හොඳම චිත්‍රපට බලමින් ඒ අය අංගරචනා කරලා තියෙන හැටි අපිට බලන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්න දේවල්වලට වඩා අන්රත්ජාලය ඔස්සේ ඉහළම නිර්මාණ තාක්ෂණය අපිට බලන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
Qඅන්තර්ජාලය ඔස්සේ දකින ඒ තාක්ෂණයට නලින් තමන්ගේ හැකියාවත් එකතු කරලා තියෙනවා...?
ඔව්.... අන්තර්ජාලය ඔස්සේ ඒ තාක්ෂණික දැනුම ලබාගන්නා ගමන් අපි විසින් ලබන අත්දැකීම් එක්ක තිබෙන දේ ගොඩනගා ගනිමින් ඒ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන්. සමහරු ජාත්‍යන්තර සිනමා පට බලලා ''මාර මේක්අප් එකක් කරලා තියෙන්නේ'' කියලා කියනවා. ඒ වගේම මාර හැකියාවක් අපේ ලංකාවේ අංගරචනා ශිල්පීන්ට කරන්න පුළුවන්. මූලික තාක්ෂණික දැනුම දැනගත්තාට පස්සේ අපිට ඒ දැනුම හා අපේ අත්දැකීම් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒ නිර්මාණයට අදාළ දේවල් තමන් විසින් සොයාගෙන යන්න ඕනේ.
Qනලින් අංග රචනාවේදී විශේෂ බලපෑමක් සිනමා නිර්මාණයේදී කරන අංගරචනා ශිල්පියෙක්....?
ඔව්... මේ වෙද්දී මම ''ආදරණීය කතාව, දේදුනු ආකාසේ'' වැනි විවිධ ආදරණීය චිත්‍රපටවල අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කරලා තියෙනවා. ලෝකයේ සමහර විශේෂ බලපෑමක් ඇතිකළ හැකි (Special effects) අංග රචනා ශිල්පීන් ඉන්නවා. ඔවුන් සිනමා පටයට සම්බන්ධ වෙන්නේ ඒ විශේෂ අංග රචනාව කරන්න විතරයි. නමුත් ලංකාවේ අංග රචනා ශිල්පියෙක්ට තුවාලයක්, වෙඩි වැදුණ කැළලක්, වයස්ගත කිරීමා ආදී සියලු අංග රචනාවන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අංගරචනා ශිල්පියා සෑමවිටම ලෝකයේ ජීවත් වෙන චරිත පිළිබඳව අධ්‍යයනයක මෙන්ම චරිත හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. චරිතයට සම්බන්ධ වෙන නළුවා හෝ නිළියට සමහරවිට ඒ බාහිර පෙනුම නැතිවෙන්නට පුළුවන්. කොණ්ඩය හොඳට තිබෙන නිළියක් තට්ටය කිරීමේ හැකියාව අංගරචනා ශිල්පියාට තිබිය යුතුයි. මගේ ප්‍රතිපත්තිය තමයි අංග රචනයක් අංග රචනයක් නොවිය යුතුයි කියලයි. හැමවිටම ඒ චරිතය සත්‍යයක් වෙන්න ඕනේ. රැවුලක් දැම්මොත් ඒ රැවුල සාමාන්‍ය රැවුලක් විය යුතුයි. ඒක දැම්මා කියලා ප්‍රේක්ෂකයින්ට දැනගන්න බැහැ. අද වෙද්දී සිනමාවට එකතු කරගන්න කැමරා ඉතා දියුණුයි. ඉතා සුළු වැරුද්දත් ඒ කැමරාවෙන් පෙනෙනවා. ඒ වගේම සිනමාවේ තිබෙන විශාල තිරයෙන් අපේ දශමයක වැරුද්දක් අඩි ගාණක විශාල වැරැද්දක් ලෙස දකින්නට ලැබෙනවා. ඒ නිසා අංග රචනා ශිල්පියෙක් වුණාම තමන් හිත විදිහ හා ඉගෙන ගන්නා විදිහ වෙනස් විය යුතුයි.
Qනලින් අංග රචනාවේදී තුවාලයක් නිර්මාණය කරන්නේ කොහොමද?
අද වෙද්දී මම තුවාල වර්ග බොහෝමයක් අධ්‍යයනය කරලා තියෙනවා. දැකලා තියෙනවා. මම මායා චිත්‍රපටයේදී නිහාල් ප්‍රනාන්දුගේ බෙල්ල කපන දර්ශනයක අංග රචනා කළා. ඒ බෙල්ල කැපූ තුවාල පහරේදී ඇත්තටම බෙල්ලේ අඟල් එකහමාරක් පමණ ඇතුළට අත දාන්න පුළුවන්. මායා චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂකක ලෙස කටයුතු කළේ ඉන්දියන් ශිල්පියෙක්. බෙල්ල දැකපු ඔහු කැමරාව තියලා ''මට ෂූට් කරන්න බැහැ'' කියලා පැත්තකට වුණා... ඒ තරමටම ඒ බෙල්ල කැපූ දර්ශනය තාත්වික වුණා... මුලින්ම මම කෘත්‍රිම බෙල්ලක් හදලා එයින් කෑල්ලක් කපලා නිහාල්ගේ බෙල්ලට එකතු කළා. හැබැයි ඒක කිසිම විදිහකින් හොයාගන්න බැහැ. නිහාල්ගේ සමට ඒ ගැලපෙන ලෙසින් මම කෘත්‍රිම බෙල්ල නිර්මාණය කළා. ඇත්තම කිව්වොත් අංග රචනාව කියන්නේ මැජික් එකක්.
Qවිශාල තුවාලයක් දමද්දීත් කෘත්‍රිම තුවාලයක් ලෙසින් සමට එකතු කරනවද?
ඔව්... සාමාන්‍ය තුවාලයක් කරද්දී නිර්මාණකරුවාගේ හෝ නිර්මාණකාරියගේ සමට කළත් විශාල තුවාල කෘත්‍රිමව සමට එකතු කරනවා. ලෝකයේ මේ සඳහා වෙන්වුණ ක්ලේ එකක් තිබෙනවා. ඒ ක්ලේ එකෙන් අපි මුලින්ම සම්පූර්ණයෙන්ම තුවාලයක් ගොඩනගනවා. එහෙම ගොඩනගපු තුවාලයේ අපි අච්චුවක් ලබාගන්නවා. ඊළඟට තමන්ගේ සමට අවශ්‍ය පරිදි සිලිකන් එක යොදාගෙන තුවාලය නිර්මාණය කරගන්න පුළුවන්. මේ දේවල් අධ්‍යයනය කරන්නට ඕනේ. මොන දේ කාගෙන් ඉගෙන ගත්තත් ශිල්පියා තමන්ගේ අත්දැකීම් හා අධ්‍යයනයත් එක්ක ඒ නිර්මාණය සාර්ථක කරගන්න ඕනේ.
Qනලින් සිනමාපට කිහිපයකට යක් මුහුණ නිර්මාණය කළ අංගරචනා ශිල්පියායි...?
ඔව්... මුලින්ම මම විසින් ''යකාව හදන්නේ කොහොමද...? කියලා හිතාගන්නවා. ඒ නිර්මාණය මගේ ඔළුවේ මුලින්ම හදාගන්නේ මමයි. ඉන්පසුව එයට අවශ්‍ය දේවල් ළං කරගෙන මම එය ප්‍රතිනිර්මාණය කර ගන්නවා. ලෝකයේ ඇතැමුන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපි මුහුදේ තියෙන සිප්පි කටුවක් වගෙයි. හැබැයි අපිට හිතන්න පුළුවන්. ඒ හිතීම තුළින් හොඳ නිර්මාණයක් ගොඩනඟන්න පුළුවන්. ඉතින් අන්තර්ජාලය ඔස්සේත් දකින නිර්මාණයක් එක්ක මම නිර්මාණය ගොඩනගනවා. හැබැයි අන්තර්ජාලයේ තිබෙන හැම නිර්මාණයක්ම අපිට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට ගැලපෙන නිර්මාණය ගොඩනැගිය යුත්තේ අපිමයි. ලංකාවේ ඉන්න අංග රචනා ශිල්පීන්ට ඇති විශාලම අභියෝගය වන්නේ මේ දේවල් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් ලංකාවේ නොමැතිකමයි. විදෙස් රටවල්වලින් ගෙන්වද්දී විශාල බද්දක් ගෙවන්න සිදුවෙනවා. මෙවැනි අභියෝගවලට මුහුණ දෙන අතරතුරේ තමයි අංග රචනා ශිල්පින්ට මේ හැමදේම කරන්නට සිදුවෙලා තියෙන්නේ.
දිශානි ජයමාලි