මියුසික් වීඩියෝවක නිරුපනයක් හරහා තමයි මටත් ලොකු ආදරයක් දිනාගන්න ලැබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ කතාබහට ලක්වෙන චරිත අතරින් ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි සුරේන් පෙරේරා. ඔහු ‘‘රේස් 2’’ නිර්මාණය හරහා වෙනස්ම චරිත රංගනයකින් ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණෙන්නේ, ‘‘රේස් 2’’ නරඹන පිරිස ඒ ගැන හොඳින්ම දන්නවා ඇති. ඉතින් මෙවර මෙම නාට්‍යය ගැන කතාබහ කරන්න සැඳැල්ලෙන් ඉඩක් වෙන් කළා.

‘‘රේස් 2’’ හි ‘ඩිහේන්’ ජනප්‍රිය චරිතයක් වෙලා නේද?

ඔව්, ඇත්තටම ඒ චරිතය වෙනස්ම විදියේ චරිතයක්, ඒ නිසාම ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි.

ඉතින් මේ වෙනස් විදියේ චරිතය ගැන කතා කරමු ?

මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ඩිහේන්. ඔහුගේ පෙම්වතිය කාර් රේස් පදිනවා, ඒ නිසා ඇය ගොඩක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ඇයගේ අරමුණට යන්න ඩිහේන් හෙවනැල්ලක් වගේ පසුපසින්ම වැටිලා ඉන්නවා. ගෙදර වැඩපළ හැමදේම කරන්නේ ඔහු. උයනවා, රෙදි හෝදනවා, අතු පතු ගානවා,  මේ දේවල් නිසා පිරිමි පාර්ශවය නම් මගෙත් එක්ක පොඩි තරහකින් ඉන්නේ, නමුත් කාන්තාවන්ගෙන් නම් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ඒ ලැබෙන ප්‍රතිචාර ගැනත් කිව්වෝත් ?

පිරිමි අය බනිනවා මොකද බං ගෑනියෙක් වගේ ඔහොම හැසිරෙන්නේ කියලා. නමුත් කාන්තා පාර්ශවයෙන් අය නම් ප්‍රතිචාර දක්වන්නේ අපිත් හොයන්නේ ඩිහේන් වගේ පෙම්වතෙක් කියලා. තරුණ ගැහැණු ළමයින්ගෙන් තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නේ.

ඩිහේන් වගේ චරිත ඇත්තටම නම් ඉතින් ඉන්නේ නව කතාවල නැත්නම් සිනමාවේ, පුංචි තිරයේ තමයි නේද ?

ඔව් ඉතින්, ඒත් මගේ පෞද්ගලික මතය නම් විවාහ වුණාට පස්සේ කටයුතු බෙදාහදා ගෙන කරන්න ඕනෑ කියන දේ. අපේ ලංකාවේ පොඩි මතයක් තියෙනවනේ බිරිඳ උයා පිහාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න ඕනෑ, ස්වාමියා වැඩට යන්න ඕනෑ හම්බ කරන්න ඕනැ කියලා. නමුත් එය වැරදි අදහසක්...... දෙන්නාම ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක ඇත්තටම හොඳයි.

මොකද අපි කව්රුත් තනිවෙන දවසක් එන්න පුළුවන් යම්, ඒ දවසට කඩවල්වලින් නොකා උයා පිහාගෙන කන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත්.

සුරේන්ට හොඳට උයන්න පුළුවන්ද?

ඔව් මට හොඳට රසට උයන්න පුළුවන් කොහොමත් ලංකාවේ ඕනෑම  ලොකුම හෝටලයක වුණත් ප්‍රධාන සුපවේදියා පිරිමි කෙනෙක්නේ. උයන එක ඇත්තටම එක්තරා විදියක රසාස්වාදයක්, කලාවක්, මම උයන්නත් ගොඩක් කැමතියි.

එහෙනම් සුරේන්ගේ පෙම්වතිය බිරිඳ වෙන කෙනා ගොඩක් වාසනනාවන්තයි.

 ඔව් අනිවාර්යෙන්

සුරේන් නැවත පුංචි තිරයට එකතු වුණේ සෑහෙන කාලයකට පසුව නේද?

 මම 2017 වසරෙන් පසුව තමයි නැවත මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඇත්තටම මම රංගනය අත ඇරලා තිබුණේ යම් යම් හේතුන් නිසා. නමුත් නැවතත් ක්ෂේත්‍රයට එකතුවෙන්න ලොකු කැමැත්තක් තිබුණා. අපේ වයස්වල අපිත් එක්ක වැඩ කරපු පිරිස් රූපවාහිනියේ දකිද්දී සතුටු හිතුණා මටත් ඒ වගේම ඉන්න තිබුණා කියලා එහෙම හිතමින් ඉද්දි තමයි ‘‘ රේස්’’ හි අධ්‍යක්ෂවරයා ගීතාංජන කොස්තා මහත්මයා මට මේ නිර්මාණයට ආරාධනා කරන්නේ.

ඔහු මගේ මිතුරෙක්. ඉතින් මට කතා කරලා කිව්වා මේ වගේ නිර්මාණයක් තියෙනවා කරන්න කැමති ද  කියලා. ඉතින් මමත් ඉහළින්ම කැමති වුණා. මම ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වන පළමු වතාව තමයි මේ....

 අධ්‍යක්ෂවරයා මේ චරිතයේ විස්තර කියද්දී ඩිහේන් චරිතය භාර ගැනීමෙන් සුරේන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතුනේ නැද්ද?

මුලින්ම මේ නිර්මාණයේ පිටපත කියවද්දී මටත් ඇත්තටම පොඩි බයක් දැනුණා.

මේ දේ මට කරගන්න පුළුවන් වෙයිද කියලත්. මොකද මගේ පෞද්ගලික ජීවිතයයි මේ චරිත රංගනයයි අහසයි පොළොවයි වගේ. මෙහි තියෙන්නෙත් අමුතුම රංගනයක්නේ, මේ චරිත රංගනයේ දී ඩිහෙන් ආදරයෙදී සහ අනිකුත් වැඩ කටයුතුවලදී ඕනෑවට වැඩියෙන් කරන්න යනවානේ එය ඒ චරිතයේ ස්වරූපය.  

ඒ නිසා මම හිතන්නේ නැහැ ​මේ රංගනය තුළින් මගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා. ප්‍රේක්‍ෂකයෝ දැනගන්න ඕනෑ මේ රංගනයක් විතරයි කියලා.

තෝරා ගන්න චරිතවලින් ප්‍රතිරූපයට හානි වෙනවද? නැද්ද? කියලා බලලා චරිත තෝරගන්න  හිටියොත් රඟපාන්නේ නැතිව ගෙදර තමයි ඉන්න වෙන්නේ. මම ඉස්සර චරිත කළේ ගොඩක් තෝරා බේරාගෙන සමහර චරිත ප්‍රතික්ෂේප කළා ප්‍රතිරූපය ගැන හිතලා. ඒත් දැන් එහෙම නැහැ. මොකද චරිතයක් නිරූපනය කිරීමෙන් කවදාවත් කෙනෙක්ගේ ප්‍රතිරූපයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත ජීවිතේ අපි මොනයම් හෝ තමන්ට හානි වෙන දෙයක් කළොත් විතරයි ප්‍රතිරූපයට හානියක් වෙන්නේ.

මීට පෙර මම පුංචි තිරයේ විවිධාකාර චරිත රංගනයන්වල යෙදිලා තියෙනවා. අහිංසක පෙම්වතා වගේම දුෂ්ටයාත් වෙලා තියෙනවා. නමුත් මගේ සැබෑව ඒක නෙමෙයිනේ. මගේ සැබෑව දන්නේ මගේ වටපිටාවේ ඉන්න අය නිසා චරිත රංගනයකින් කෙනෙක්ට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ.

ඇයි සුරේන් රංගනයෙන් ඈත්වෙලා හිටියේ?

මම මීට පෙර සඳහන් කළා වගේ ප්‍රතිරූපයට හානි නොවන චරිත රංගනයන් තෝරාගන්නට ගිහින් සහ මම ටිකක් පණ්ඩිත විදියට වැඩ කළා.

මගේ ඒ පණ්ඩිත වැඩ නිසා යම් සිදුවීම් වුණා. දැන් ඒ හැමදේම තේරුම් අරගෙන තමයි නැවතත් ක්ෂේත්‍රයට එකතු වුණේ. කලාව කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්, ඒ දේ කිසිම අවස්ථාවක මම නතර කරන්න කැමති නැහැ. ඇත්තටම කව්රුත් නිසාවත්, ප්‍රශ්නයක් නිසාවත් අපි අමාරුවෙන් ගොඩනඟාගත්තු දේවල් අතරමඟ නතර කරන්න අවශ්‍ය නැහැ.

අවුරුදු 5ක් වගේ කලා කටයුතුවලින් ඈත්වෙලා ඉද්දි මට ලොකු දුකක් දැනුණා. ඉතින් නැවතත් මේ ක්ෂේත්‍රයට එකතු වුණේ කලාවට තියෙන ආදරේ නිසාමයි.

ඉතින් පෙර වැරදිත් හදාගෙන මම නැවතත් මේ ක්ෂේත්‍රයට එකතු වුණේ මේ තුළ ලස්සන ගමනක් යන්න. මේ නිර්මානයත් එක්ක තවත් නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. ඒ වගේම මම මීට පෙර නිවේදනයෙනුත් විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හිටියා. නැවතත් මට නිවේදන අංශයෙනුත් වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරියෙන් ඒ තුළිනුත් දකින්න ලැබෙයි.

විශේෂයෙන්ම කියන්න ඕනැ මම අවුරුදු ගණනක් ක්ෂේත්‍රයේ නැති වුණත් ආයෙමත් ක්ෂේත්‍රයට ආවට පස්සේ මගෙත් එක්ක එදා සිට එකතුවෙලා හිටපු රසික පිරිසගෙන් අදටත් ඒ ප්‍රතිචාරම ලැබෙනවා. ඒ ගැන ඇත්තටම මාරම සතුටුයි. ගොඩක් දෙනෙක් කියන්නේ මම එදා හිටපු සුරේන්ම තමයි රූපයේ කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ කියලා. ඇත්තටම එවැනි ප්‍රතිචාර ලැබීම මට ලොකු සතුටක්.

රෝෂාන් ප්‍රනාන්දුගේ ‘‘ඔයා නිසා හඬලා’’ ගීතයේ කෙල්ලෙක්ට ඇහැක් ගහන කොල්ලා විදියටත් ඒ කාලේ ලොකු ආකර්ෂණයක් දිනා ගත්තා නේද?

ඇත්තටම ඒ මියුසික් වීඩියෝවෙ  සිදුවීම ලොකු ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා මේ රෝෂාන් ප්‍රනාන්දු  මහත්මයා ගීතය කරලා දැන් අවුරුදු 10කට වඩා වැඩියි. නමුත් තවමත් ඒ ගීතය ගැන මිනිස්සු කතා කරනවා. ඉන් පසුවත් මම මියුසික් වීඩියෝ  කිහිපයකම හිටියා.  මෑත කාලයේදීත් සම්බන්ධ වුණා. නමුත් මේ ගීතය තරම් මිනිස්සු අතරට ගියේ නැහැ,

මියුසික් වීඩියෝවකින් කොහෙත්ම කෙනෙක්ව කැපී පෙනෙනවා සහ මතක් වෙන ප්‍රවණතාවය අඩුයි. ඉස්සර එහෙම නැහැ ගීතයක් හිට් වෙන්නෙත් මියුසික් වීඩියෝවෙන්.  ඒ විදියට හිට් වුණූ මියුසික් වීඩියෝවක නිරුපනයක් හරහා තමයි මටත් ලොකු ආදරයක් දිනාගන්න ලැබුණේ.

ධනු විජේරත්න