මම Celebrity කෙනෙක් විදියට මම මගේම අලුත් Trend එකක් හැදුවොත් ඒක ෆලෝ කරන අයත් ඉන්නවා
'Fashion' විශේෂාංගය තුළින් මෙවර සඳැල්ල හා එක්වන්නේ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය නොමදව ලබන කලාකාරිනියක්. ඇය දමිත්‍රි සුභසිංහ
Fashion සම්බන්ධ දමිත්‍රිගේ මතය?
Fashion කියන්නේ ඇත්තටම මම ගොඩක් කැමති දෙයක්. Fashion කරද්දි මම හිතනවා තමන්ට ආවේණික වූ දෙයක් තියෙන්න ඕනැ. ඉතින් මට ගැළපෙන විදියට මටම ආවේණික Style එකක් මම හදාගෙන ඉන්නවා. මොකද අද සමාජය තුළ ජීවත් වෙද්දිත් මේ Fashion කියන දේ හරි වැදගත්. දවසින් දවස එක එක විදියෙ Fashion trends එනවනේ. ඉතින් සමහර වෙලාවට ඒවටත් මම හුරු වෙන අවස්ථා තියෙනවා. නමුත් මට ගැළපෙන විදියට.
දමිත්‍රිට ගැළපෙන විදියට Fashion හදාගන්නේ කොහොමද?
මම සමහර වෙලාවට මගේම Trend එකක් හදාගන්නවා. විශේෂයෙන් කියන්න ඕනැ මම ගොඩක් වෙලාවට Fashion කරද්දි ඉන්දියන් පැත්තට ගොඩක් බරයි. මොකක් හරි උත්සව අවස්ථාවකට සම්බන්ධ වෙනව නම් විශේෂයෙන් විවාහ උත්සවයකට යන්න වගේ භාවිතා කරන්නෙම ඉන්දියන් ටැමිල් Style එක තමයි. ඉන්දියන් ටැමිල් විදියට ඇඳලා, මොට්ටු තියලා ඒ විදියට හැඩගැන්වෙන්න තමයි ගොඩක් කැමැති. ඒ වගේම මම නර්තනයත් එක්ක නිරන්තයෙන් බැඳිලා ඉන්න නිසා සමහර වෙලාවට මගේ නර්තනවලට ගැළපෙන විදියට ඇඳුම් නිර්මාණය කරගන්න අවස්ථා තියෙනවානේ. මම කොහොමත් 'Dance Cover' කරන කෙනෙක්නෙ. ඉතින් ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් එකතු කරගන්නෙත් ඉන්දියන් Style තමයි.
ඉන්දියන් Style වලට ගොඩක් යොමුවෙන දමිත්‍රි ඉන්දියානු නිළියන්ගෙ Fashion ෆලෝ කරනවද?
ගොඩක් වෙලාවට මම ඉන්දියන් ආටිස්ලා ෆලෝ කරනවා. ඇඳුම් නිර්මාණයක් කරගද්දි වුණත් ඔවුන්ගේ අලුත් දේවල් බලනවා. විශේෂයෙන් මම කැමති නිළියො කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒ අයගේ අලුත් Style මොනවද කියලා Update එකේ ඉන්නෙ. ඒ දේවල්වලින් මට ගන්න දෙයක් තිබුණොත් මට හරියන විදියට ඒවා හදාගන්න අවස්ථා තියෙනවා.
දමිත්‍රිව ෆලෝ කරන අයත් ලංකාවෙ ඇති?
ඔව්. ඇත්තටම මම Celebrity කෙනෙක් විදියට මම මගේම අලුත් Trend එකක් හැදුවොත් ඒක ෆලෝ කරන අයත් ඉන්නවා. මම රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් විදියට මට ආදරේ කරන රසික පිරිසක් මේ වෙද්දි ඉන්නවා. ඒ අය අතර මම අඳින පළඳින විදිහට කැමති අය ඉන්නවා. ඉතින් ඔවුන් ඒවා ෆලෝ කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඇත්තටම මගේ Fashion වලට ගොඩක් දෙනෙක්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නෙ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.
දමිත්‍රි චාම් සරළ විදියෙ Fashion වලට නේද වැඩිපුර යන්නෙ?
ඔව් අනිවාර්යයෙන්ම. මොකද මම ගොඩක් ආසයි චාම් වෙන තරමට. කොහොමත් මම ගෝල්ඩ් ජුවලරිවලට කැමැතිම නැහැ. ඒවා පාවිච්චි කළත් ඒ උත්සව අවස්ථාවකට වගේ විතරයි. එවැනි අවස්ථාවල ටිකක් බර ජුවලරි පළඳන අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍ය ගමනට බිමනට මම අඩුම තරමෙ කරාබු දෙකක්වත් පළඳින්නෙ නැති තරම්.
දමිත්‍රිට ගැළපෙන විදියට Fashion කරන්න සීමාවක් හදාගෙන තියෙනවද?
ඔව්. අනිවාර්යයෙන්ම මට සීමාවල් තියෙනවා. ඒවායින් එපිටට නොයා මට ගැළපෙන විදියට Fashion තෝරාගන්නෙ. අපි යන එන තැන්වලට ගැළපෙන විදි තියෙනවනෙ. ඒ කියන්නෙ කොටට අඳින, දිගට අඳින වගේ. ඉතින් ඒ ඒ අවස්ථාවලට අනුව මට ගැළපෙන විදියට අඳින්න පළඳින්න තෝරාගන්නවා. ඒ විදියට මම ඇඳුම් වර්ගීකරණය කරගෙන ඉන්නෙ ගෙදර.
සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් විවාහ උත්සවයකට හෝ යම් උත්සව අවස්ථාවකට යද්දි ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වියදම් කරනවා වැඩියිනෙ. ඒ විදියට හදාගත්ත ඇඳුමක් අඳින්නෙ එකවරක් පමණයි. දමිත්‍රිටත් එහෙම ඇඳුම් අල්මාරිවල පුරවලා ඇති නේද?
ඇත්තටම ඕනෑම ගැහැණු ළමයෙක් මොනවා හරි උත්සවයකට යද්දි එක ඇඳුමක් එක වතාවයි අඳින්නෙ. ඒ වගේ ඡායාරූප එහෙමත් FB වල එහෙම පලකරන නිසා දැන් එක ඇඳුම් දෙතුන් වතාවක් අඳින්නෙම නැති තරම්නෙ. ඒක මේ කාලෙට කාටත් පොදු කාරණාවක්. ඇත්තම කතාව මමත් එක ඇඳුමක් එක වතාවයි අඳින්නෙ. නමුත් මම දැන් සම්බන්ධ වන උත්සව අවස්ථාව අනුව මගෙ ඇඳුම් නිර්මාණය කරගද්දි ඒ නිර්මාණකරුවාට ඒ ඇඳුම නැවත භාරදෙනවා. ඒකට විශේෂම හේතුව තමයි මට සමහර වෙලාවට සම්බන්ධ වෙන්න තියෙන උත්සව අවස්ථා වැඩියි. ඒ වෙනුවෙන් අඳින පළඳින ඔක්කොම එකතු කළොත් ගෙදර ගොඩගැනෙන එක විතරනෙ වෙන්නෙ. ඒ නිසා ඒ ඇඳුම නිර්මාණකරුටම නැවත භාර දෙනවා. මගේ ඇඳුම් නිර්මාණය කරලා දෙන නිර්මාණකරුවන් 5 දෙනෙක් ඉන්නවා. චිරන්ත පියුමාල්, නයෝමා, නිමිෂා, ලක්මා සහ අකීරා. මේ පස්දෙනා තමයි මට අවශ්‍ය විදියට ලස්සනට ඇඳුම් නිර්මාණය කරලා දෙන්නෙ. ඒ වගේම මගේ අම්මා මට බොහෝ අවස්ථාවලට ඇඳුම් හදලා දෙන අවස්ථා තියෙනවා. මට අවශ්‍ය සැලසුම දුන්නම ඒ විදියට හදලා දෙනවා.
මේ දිනවල වැඩි කැමැත්තෙන් කරන Fashion මොනවද?
මේ ටිකේ මම ගොඩක් බැගී Style තමයි යන්නෙ. Long over size shirts, over size trousers, over size T shirt තමයි අඳින්නෙ. Over size style එකට මම ටිකක් ආසයි. ඊට අමතරව ඉතින් මම හැමදාමත් වගේ Hand bag සහ Shoes වලට නම් මාරම කැමැත්තක් තියෙනවා. විසිතුරු දේවල්වලට අකමැති වුණත් කොහේ ගියත් Hand bag එකක් Shoe එකක් නම් ගන්නවාමයි. මගේ ළඟ Hand bag සහ Shoes එකතුවක් තියෙනවා. ඒ තුළ නැති පාටක් නැති තරම්. මම කොහොමත් ඇඳුම් ගන්නවටත් වඩා කැමැති ඒවට තමයි. මෑතකදී මම ඩුබායි ගිය වෙලාවකත් Hand bag සහ Shoes ගොඩක් අරගත්තා. ඒවගේ එකතුවකුත් තියෙනවා. ගොඩක් වෙලාවට මම Hand bag එකට මැච් කරලා තමයි Shoe එක දාන්නෙ. ඒ තරමට පිස්සුවක් තියෙනවා. ඒ වර්ග දෙක සම්බන්ධව.
එතකොට පර්ෆියුම්වලට එහෙම කැමැත්තක් නැද්ද?
ඇත්තටම එහෙම විශේෂයක් නැහැ. මම පාවිච්චි කරන Brand එකක් තියෙනවා. ඊට අමතරව ඒ සම්බන්ධ ලොකු ආසාවක් නැහැ. නමුත් මට තෑගිවලට ලැබුණු පර්ෆියුම් බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒ එකතුවක් මගේ ළඟ තියෙනවා. ඒ වගේම මම වොච්වලට වැඩි කැමැත්තක් නැති වුණත් මට තෑගිවලට ලැබුණු වොච්වල එකතුවකුත් මගේ ළඟ තියෙනවා. ඉතින් ඒවා හිතුණොත් පළඳින අවස්ථා තියෙනවා. නමුත් මිලදී ගන්නෙ නම් නැති තරම්. විශේෂයෙන්ම මම තවත් ගොඩක් කැමති දෙයක් තමයි නේල් ආර්ට්, අත්වලට සහ කකුල්වලට මම නේල් ආර්ට් කරනවා. නමුත් ඒ තුළ තද පාට වර්ණවලට යන්නෙ නැහැ. මේ දේවල් තමයි ඉතින් මගේ විදියෙ Fashion.
දමිත්‍රිගෙ චාම් බව නිසාම පසුගිය දිනෙක පැවැති විවාහ උත්සවයක් වැඩි කතාබහට ලක්වුණා නේද?
ඔව්. ඇත්තටම මම කොහොමත් සැලසුම් කළේ චාම් සරළ විදියෙ විවාහ උත්සවයක්. ඉතින් ඒ වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, සැරසිලි ඇතුළු සියල්ලම හරිම චාම් විදියට සකසන්න තමයි මට ඕනැ වුණේ. ඒ නිසාම මගේ ඇඳුම්, මනාලයාගේ සහ දෙවැනි මනාල මනාලියන්ගේ ඇඳුම් පවා සුදු පැහැයට බරව තමයි ගියේ. සැරසිලිත් එහෙමයි. ඉතින් බොහෝ දෙනෙක්ගෙ පැසසුමට ලක්වුණා මගේ විවාහ උත්සවය. මට අවශ්‍යම විදියට සිදුකරන්න හැකිවුණා කියලා මම හිතනවා.
ධනු විජේරත්න