මම 2008 වසරෙ අවුරුදු කුමාරි වෙද්දි තිබුණු ඒ කොණ්ඩය දැන්නම් ටිකක් අඩුයි
මේ එළඹ ඇත්තේ අවුරුදු කාලය නිසා ඒ සම්බන්ධ විශේෂ කතාබහක් අවුරුදු කුමාරියක් වුණු කලාකාරිනියක් සමඟින් පවත්වන්නට හිතුවා. ඇය අවුරුදු කුමාරියක් වී අවුරුදු 15 ක් මේ වනවිට ගතව ඇතත් ඒ සොඳුරු මතකයත් සමඟම අවුරුද්ද ඇයට දැනෙන විදිය ගැන දිලිනි ලක්මාලි සමඟ කළ සාකච්ඡාවක සටහනකි මේ.
අවුරුදු උදාවත් එක්කම දිලිනිගේ ජීවිතේ සුන්දරම මතකයක් තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම. ඒ මම 2008 ITN අවුරුදු කුමරිය වීම සම්බන්ධ මතකය. ඉතින් මේ වෙද්දී ඒ තරගයෙන් ජයග්‍රහණය කරලා අවුරුදු 15ක් වෙනවා. ඒතරම් කාලයක් ගෙවිලා තියෙද්දීත් ඒ සිදුවීම මගේ මතකෙට එනවා.
එහෙනම් ඒ තරගය ගැන කතා කරන්නම ඕනෑ?
ඒ තරගය තිබුණෙ මාතර කඹුරුපිටිය කියන ගමේ. මේ තරගය වෙනුවෙන් අයදුම්පතක් යොමු කළේ අම්මා. ITN අවුරුදු කුමරිය තරගය සම්බන්ධයෙන් රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙද්දී ඒක දැකලා අම්මා තමයි තරගයට මාව ඉදිරිපත් කෙරෙව්වෙ. ඉතින් හිතපු නැති විදියට පළමු වටය, දෙවන වටය ඇතුළුව වට ගණනාවක්ම ජයග්‍රහණය කරලා අවසන් තරගකරුවන් 15 දෙනා අතරට මට එන්න හැකිවුණා. ඒ තුළින් අවසන් වටයේ අවුරුදු කුමරිය විදිහටත් කිරුළ පළඳින්නට මට හැකියාව ලැබුණා. ඇත්තම කියනවානම් මම කිසිම විදිහයකින් හිතුවෙ නැහැ මේ විදියෙ ජයග්‍රහණයක් ලබන්න. මේ මම ලොකු කැමැත්තකින් සම්බන්ධ වුණු තරගයකුත් නෙමෙයි. නමුත් මම පාසල් යන කාලෙදි මේ තරග නරඹනවා. ඒ කාලෙදි අවුරුදු කුමාරි තරග ප්‍රධාන වශයෙන්ම පැවැත්වුණේ ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියෙනෙ. ඒ කාලෙදි ඉතින් බොහෝ දෙනෙක් ලොකු අවධානෙකින් මේ තරග නැරඹුවෙ.
ඒ තරඟ නැරඹුවට මම සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණෙ නැහැ. නමුත් 2008 ඒ තරඟයට අම්මගේ කැමැත්ත නිසා තමයි සම්බන්ධ වුණේ. එදා මගේ තරඟ අංකය වුණේ අංක 04. ඉතින් විශේෂම දේ කියන්නෙ තරඟය අවසානයේදී මම ජයග්‍රශනය කරලා මගේ අංකය කියද්දීත් මට ඒ සම්බන්ධ හැඟීමක් නැහැ. මමත් කිසි කල්පනාවක් නැතිව බලාගෙන ඉන්නවා. ඉතින් මට එහා පැත්තෙ හිටපු කෙනා තමයි කිව්වෙ ඔයා ගැන කියන්නෙ ඉස්සරහට යන්න කියලා.
ඒ මොහොතෙ මම ටිකක් තිගැස්සිලා හිටියෙත්. මොකද මම පළමු වතාවටනෙ මෙවැනි තරගයකට සම්බන්ධ වුණේ. ලොකු පිරිසක් ඉදිරියේ බලාගෙන ඉද්දි පොඩි බයක් චකිතයක් තිබුණා. ඇත්තටම මට තවමත් එදා සිදුවීම ගැන හිතාගන්න බැහැ.
අපිව එදා විනිශ්චය කරන්න ඇවිල්ලා හිටියෙ එවකට ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම අක්කා. ඒ වගේම ITN නාළිකාවෙ පිරිසක්, ඇමති බිරිඳක් හිටියා. ඉතින් ඒ අය තමයි මාව තෝරාපත් කරගත්තෙ.
දිලිනිගෙ කොන්ඩෙත් විශේෂත්වයක් නේද මේ තරගය ජයග්‍රහණය කරන්න?
අනිවාර්යයෙන්ම. මම තමයි ඒ තරගයෙ කොන්ඩෙ දිගම කෙනෙකුට හිටියෙ. අදටත් කොන්ඩෙට ආදරය කරන ඒ ගැන මගෙන් අහන බොහෝ දෙනෙක් ඉන්නවා. ඇත්තටම මගෙ කොණ්ඩෙ නිසා තමයි මෙවැනි ජයග්‍රහණයක් ලැබිලා අද රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නෙ.
මම රංගන ශිල්පිනියක් විදියට කරපු චරිතවලින් පසුකලෙක මාව ප්‍රේක්‍ෂකයෝ දැනගත්තට අදටත් ගොඩක් දෙනෙක් මාව හඳුනන්නෙ කොණ්ඩෙ දිග නිළිය නැත්නම් කොණ්ඩෙ දිග දිලිනි කියලා. ඇත්තටම මට මේ ගමන එන්න ලොකුම ආභරණය වුණේ කොණ්ඩෙ තමයි.
ඉතින් මේ විදියට ලස්සන දිගු වරලසක් හදාගන්න දිලිනි කරන සත්කාර ගැන දැනගන්න විශේෂයෙන් ගැහැනු ළමයි කැමති ඇති?
ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් ඒ ගැන අහනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ කොණ්ඩයක් පවත්වාගෙන යනවා කියන දේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මම 2008 වසරෙ අවුරුදු කුමාරි වෙද්දි තිබුණු ඒ කොණ්ඩය දැන්නම් ටිකක් අඩුයි. මොකද මම 2019 දී ටිකක් අඩු කළා. ඊට අමතරව රූගත කිරීම්වලදී ටිකක් කාර්යබහුල නිසා සමහර වෙලාවට අපේ ජීවිතවල අපිළිවෙල තත්ත්වයක් තියෙනවනෙ. සමහර වෙලාවට රෑට නාන්න එහෙමත් වෙනවනෙ. නමුත් කොණ්ඩෙට කරන සත්කාරනම් ඒ විදියටම කරගෙන යනවා. විශේෂයෙන් ඉතින් හොඳට වතුර බොන එකයි නිදාගන්න එකයි ගැන හිතන්නම ඕනෑ. ඒවා ශරිරයට ඉතා වැදගත්.
මෙවර කොහොමද දිලිනිගෙ අවුරුද්ද ගෙවෙන්නෙ?
ඇත්තටම පසුගිය අවුරුදු දෙක තුනක් වගේ කාලයක් රටේ පැවැති ප්‍රශ්නත් එක්කත් කොරෝනා ප්‍රශ්නය එක්කත් අවුරුද්දක් හරියට සමරන්න හැකිවුණේ නැහැනෙ. නමුත් මෙවර නම් අපි දකිනවා බොහෝ දෙනෙක් ඉතාමත් උද්යෝගයෙන් අවුරුද්දට සූදානම්වීමක් තියෙනවා. වෙනත් අවුරුදුවල වගේ පුරුදු විදියට ඇඳුම් පැළඳුම් අරගෙන කෑම බීම හදලා ලෑස්ති වෙනවා බොහෝ දෙනෙක්. ඉතින් මෙ අවුරුද්දෙ මටත් ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න හැකිවෙලා තියෙනවා. මොකද පසුගිය කාලෙ මම වැඩිපුර අවුරුදු සැමරුවෙ විවිධ නාළිකාවල. 2008 වසරෙ අවුරුදු කුමරිය වීමත් එක්ක ඒ ගතවුණු අවුරුදු 15 ඇතුළත උපරිම අවුරුදු 4 ක් වගේ ගෙදර අවුරුදු සමරන්න ඇත්තෙ. නමුත් මෙවර මට ගෙදර අය එක්ක අවුරුදු චාරිත්‍ර කරන්න හැකිවෙලා තියෙන නිසා මේ වතාවෙ ඒ චාරිත්‍ර නිසි විදියට ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්‍යයෙන් දිලිනිලාගේ ගෙදර අවුරුදු සැමරීම සිදුවෙන්නෙ කොහොමද?
අපේ ගෙදර ඉතින් අනිවාර්යයෙන්ම කිරිබත් හදනවා. ඊට අමතරව ඉතින් රසකැවිලි කිහිපයක් තියෙනවා අනිවාර්යයෙන්ම හදන. ඒ අතර කොකිස්, කිරිටොෆි තියෙනවා. ඇත්තටම ඉතින් පුංචි කාලේ වගේ ලොකු සැමරීම් දැන්නම් නැහැ. මොකද මගේ මල්ලි ඉන්නෙ විදෙස්ගතවෙලා. ඩුබායිවල ඉන්නෙ. ඒ නිසා දැන් අවුරුදු කිහිපයක්ම අවුරුදුවලට ගෙදර නැහැ. ගෙදර සාමාජිකයො අඩු වුණාමත් ඒ සැමරීම් ටිකක් අඩුවෙනවා. නමුත් ඉතින් අවශ්‍ය චාරිත්‍ර ටිකනම් කරනවා. ඇඳුම් පැළඳුම් අරගෙන, කෑම මේසය පිළියෙල කරගෙන ඒ අවශ්‍ය දේවල් කරනවා. පසුගිය අවුරුදු ඒ විදියට වුණත් මෙවර මම ගෙදර ඉන්න නිසා වෙනදා අවුරුදුවලට වඩා පොඩි වෙනසක් මෙවර සිදුවෙයි කියලා හිතනවා. නමුත් මෙවර තවමනම් මම ඇඳුම් ගන්න ලෑස්ති වුණේ නැහැ. මේ සතියේ තමයි ඒ දේවල්වලට සූදානම් වෙන්නෙ. ඒ වගේම කෑම හදන එකෙත් තීරණාත්මක දවස තමයි අප්‍රේල් 12. ඒ දවසෙ තමයි තීරණය කරන්නෙ පිළියෙල කරන රසකැවිලි ගැන.