මම හදපු චිත්‍රපටි කවදද අසාර්ථක වුණේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එතකොට මම එංගලන්තයේ ඉගෙන ගනිමින් හිටියේ. ඒ කාලයේදී තමයි මගේ පළමු චිත්‍රපටය කළේ. ඒකේ නම ඈත එපිට. ඒක සුපර් 8mm ෆිල්ම් එකක්. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ මැණික් කුරුකුලසූරිය. ඒකේ රචනයත් සංස්කරණයත් අධ්‍යක්ෂණයත් මමමයි. ඒක සාර්ථක නොවුවත් එක්තරා විදිහක අත්හදා බැලීමක් කළේ. එංගලන්තයේ හිටපු මගේ යාළුවෝ සහ ඒ වෙලාවේ එංගලන්තයට ඇවිත් හිටපු මැණික් කුරුකුලසූරියත් ඒකේ රඟපෑවේ සතයක්වත් අරගෙන නෙවෙයි. 

ඒ චිත්‍රපටය කිරීමෙන් ලොකුම ලොකු අත්දැකීමක් ලැබුවේ. 

මේ විදියට අතීත මතක ගෙනහැර පාන, ප්‍රීතිරාජ් වීරරත්න ප්‍රවීනයා මෙරට සිනමාවට අමුත්තෙකු නොවෙයි. ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් සූරවීර චණ්ඩියෝ ඇතුළු චිත්‍රපට ගණනාවක් නිර්මාණයට දායක වූ ප්‍රීතිරාජ් වීරරත්න ප්‍රවීනයාගේ නවතම චිත්‍රපටය වන රශ්මි මේ දිනවල තිරගත වෙනවා. උපේක්ෂා ස්වර්ණමාලී, පුබුදු චතුරංග, අකලංක ගනේගම, දුලීකා මාරපන, ලකී ඩයස්, රුවන්ති, ටෙඩී. පිං පොං, ඇතුළු ජනප්‍රිය තරු රැසක් රංගනයෙන් දායක වූ රශ්මි ශ්‍රී ලාංකීය සිනමාව හැඩකරන මොහොතක සිනමාවේ රසමුසු අත්දැකීම් සහ අමතක නොවන මතක ගොන්නක අත්දැකීම් ඇති ප්‍රීතිරාජ් වීරරත්න එක්ක අපි රසබර කතාබහක යෙදෙමු. 

ප්‍රිතිරාජ් වීරරත්න නමැති චරිතය කලාවට ආවේ කොතැනින් ද? කොහොම ද?

ආනන්ද විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ කොළඹ. මගේ පළවැනි පොත ලිව්වේ පාසල් කාලයේදීමයි. එතකොට මගේ වයස අවුරුදු 10යි. පළවැනියට ලිව්වේ ඉන්ස්පෙක්ටර්. දෙවැනියට ලිව්වේ පුංචි ළමයි සහ සහෝදර ගින්න. ඒ විදියට තමයි මගේ ගමන ළමා කාලයේදීම පටන් ගත්තේ. 

ඉගෙන ගත්තේ මොන වගේ අනාගතයක් ගැන හිතල ද?

උසස් පෙළ ඉවර කරලා මම වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට ගියා. චාටඩ් සහතිකලාභි ගණකාධිකාරීවරයකු ලෙස කටයුතු කරන අතරේ පශ්චාත් උපාධියට කළේ ව්‍යාපාර පරිපාලන විෂය. මූල්‍ය කළමනාකරණය තමයි එහිදී විශේෂ කර ගත්තේ. අධි ශිෂ්‍ය සාමාජිකත්ව පහක් විතර මට තියෙනවා. මේ විදියට උසස් අධ්‍යාපනයට යාමට පෙර ප්‍රථම වේදිකා නාට්‍ය කළෙත් ආනන්දයේ සිටි කාලයේදීයි. ජයසේකර අපොන්සු මියුරි සමරසිංහ ශ්‍රීයානි ෆොන්සේකා ඒ නාට්‍යයේ රඟපෑවා. කලාව කියන්නේ මගේ විනෝදාංශයයි. ඒ නිසා එදා ඉඳලාම කලාව කළා. වෘත්තියෙන් මම ව්‍යාපාර පරිපාලන කළමනාකාරීත්ව සහ මූල්‍ය පරිපාලන උපදේශකවරයෙක්. ADE විභාගය ලංකාවේ පවත්වන්න කටයුතු කළෙත් මම. ඒ විදියට වෘත්තියෙන් ප්‍රවීණයෙක් වුණත්. මම වඩා කැමති මාව කලාකරුවකු ලෙස හඳුන්වනවාටයි. ඒ තරමටම කලාවට මම ආදරෙයි. 

චිත්‍රපට ක්ෂේත්‍රයට ආ පසුව මුලින්ම කළ චිත්‍රපටය මොකක්ද?

විජය කුමාරණතුංගයන් රඟපෑ නොම්මර 17, 1988 දී ඒ චිත්‍රපටය කළේ. 

නොම්බර 17, විජය සමඟ වූ රස මතකයන් ඇති නේද?

විජය අයියා මාත් එක්ක හරි යාළුයි. ඒකට හේතු වුණේ 1987 දී යාපනයට සිංහල මිනිස්සුන්ට යන්න බැරි කාලයක, ඉස්සෙල්ලාම ගියේ විජය අයියා. ඊට මාස දෙකකට විතර පස්සේ ව්‍යාපාර කළමනාකරණ සම්මන්ත්‍රණයකට දමිළ ශිෂ්‍යයන් 5ක් එක්ක මම යාපනයට ගියා. ඒ ගැම්ම  ආවේ එදා විජය ගිහින් තිබුණු නිසයි. නල්ලූර්වල එල්ටීටීඊ කඳවුරට මාව එක්කගෙන ගිහින් තේ පැන් සංග්‍රහයකුත් ලැබුණා. විශ්වාස කරන්න පුළුවන් සිංහල මිනිහෙක් කියලා ඊළනාඩු පත්තරෙත් මා ගැන ලියලා තිබුණා. එයින් පසුව තමයි විජය අයියා මා ගැන ගොඩාක් පැහැදුනේ. මම යාපනයට ගිහින් ආවා කිව්වාම විජය අයියා මා එක්ක බොහොම යාළු වුණා. එයා දැරුවේ ජාතික සමගියෙන් යුතු දේශපාලනයක්. නොම්මර 17ට විජය අයියා ආවෙත් එදා ඇති වූ හිතවත්කම් නිසයි. 

එදා නොම්මර 17 ෆිල්ම් එක දවස් 12න් රූගත කරළා. ඉවර වුණා විජය අයියා ආවේ දවස් 7ක් විතර.

ෂූට් වලට අරන් යන්න හැමදාම උදේට පොල්හේන්ගොඩින් විජය අයියාව ගන්නේ මම. ඒ එන අතරවාරයේ දී අපි කතා කරමින් ආවා. ඒ විදියට එද්දී එක් දවසක අනේ විජය අයියා දේශපාලන වේදිකාවේ කියන සැර කතා ටිකක් අඩු කරන්න දවසක් ඔයා කියලා තිබුණානේ මරණවා නම් ඔළුවටම තියන්න කියලා. අනේ ඒ වගේ කතා නම් කියන්න එපා. ඔයාට කවුරුහරි වෙඩි තිබ්බොත් මටත් වෙඩි වදීවිනේ කියලා මම විහිළුවට කිව්වාම ‘‘මල්ලී ප්‍රීති මගේ මේ අහිංසක මූණ දැකලා කවුරුත් මට වෙඩි තියාවි කියලා ඔයා හිතනව ද ? කියලා විජය අයියා හිනාවෙලා කිව්වා. අනේ දෙයියනේ, ඒත්, සහාසිකයන් විජය අයියාගේ මූණටමනෙ වෙඩි තිබ්බේ. 

පසුකලෙක විජයට වෙඩි තැබූ ආරංචිය කොහොම ද දැන ගත්තේ. 

එදා මම විජය අයියාව හමුවන්න ගියා, ඒ ගිහින් ඇවිත් විනාඩි පහකට විතර පස්සේ තමයි මට ආරංචි වුණේ විජය අයියාට වෙඩි තියලා කියලා. එදා මම විජය අයියාව හමුවන්න ගියේ මගේ දෙවැනි චිත්‍රපටය ආසයි බයයි එකේ චරිතය ගැන කතා කරගන්න. ඒකේ විජය අයියා ඩබල් ඇක්ටින් කරන්න හිටියේ. ෂූටිං වලට එයා එන දවස් ගැන එයාම මට සටහනක් ලියා දීලා තිබුණේ.  

විජය අයියා ඒ ෆිල්ම් එකේ ගීතයකුත් ගයන්න හිටියේ. ඉතින් ඒ ගැන කතා කරගෙන එන්න ගියත් මම යනකොට විජය අයියා හිටියේ නැහැ. විනාඩි 5කින් එනවා කියලා සිකුයුරිටි නිලධාරියා මට කිව්වා. ඒත් මට පරක්කු නිසා මම යන්න ගියා. මොකද රත්මලානේ මගේ යාළුවකුගේ ගෙදර ලන්ච් එකට මට යන්න තිබුණු නිසා. යාළුවාගේ ගෙදරට යනකොටම යාළුවා කලබලයෙන් ඉස්සරහට ඇවිත් මචං විජය කුමාරණතුංගට වෙඩි තියලා’’ කියලා කිව්වා. වාහනය හිටියේ මමයි. මගේ බිරිඳයි, අපි ආපහු වාහනය හරවා ගෙන වේගයෙන් කොළඹට එද්දී වැල්ලවත්තේ දී මගේ වාහනයත් හැප්පුණා. ඒත් මම නොනවත්වා විජයගෙ ගෙදරට ගියා. අනේ සර් ගිහිල්ලා විනාඩි පහක් නැහැ. විජය මහත්තයා ආවා එතකොට වෙඩි තැබුවා කියලා සිකියුරිටි නිලධාරිය හඬමින් මට කිව්වා. 

ඊට පස්සේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ‘‘විජය ගැන පත්තරවලට ලිව්වොත් මරණවා උඹවත්’’ කියලා මට තර්ජනය කළා. හැබැයි මම බය වුණේ නැහැ. විජය ගැන ෆිල්ම් ප්‍රචාරණ වැඩ ඒ විදියටම කළා. බය කියන දේ මගේ ශබ්දකෝෂයේ නැති දෙයක්. මේ තර්ජන එක්ක මම කුරුඳුවත්ත පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. විජය එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ කියලා මට පත්තරයක දැන්වීමක් දාන්න කිව්වා. ඒක් මොන විලි ලැජ්ජා නැති වැඩක් ද? මම එහෙම කරන්න ගියේ නැහැ. විජය වගේ මානුෂීය ගුණයෙන් පිරිපුන් චරිතයක් අහිමිවීම ගැන මම හිටියේ පුදුම දුකකින්.  

කාලයක් යනකල් ෆිල්ම් කරන එක වගේම පත්තර කරන එකත් නැවැත්තුවා නේද?

95න් පස්සේ මම එහෙම කළේ දුව රිෂිනි සහ පුතා ඉරාජ්ගෙ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න ඕනෑ වූ නිසයි. 95ට කලින් කොච්චර කාර්ය බහුල වුණා ද කිව්වොත් දවසට පැය 3ක් වගේ නිදා ගත්තේ. දුවටයි පුතාටයි දෙන්නටම උපාධි තියෙනවා. එයාලා හොඳින් ඒ අධ්‍යාපනය කළා. දැන් ඉතින් මට ආයෙත් මම ආදරය කරන සිනමාව හොඳට කරන්න පුළුවනි. 

අපි රශ්මි ෆිල්ම් එක ගැන කතා කරමු. එදා ඔබ කළ චිත්‍රපට ඔක්කොම වගේ ජනප්‍රිය සම්මාන ලැබූ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට. අද මේ චිත්‍රපටයටත් එහෙම වේවිද?

‘‘රශ්මි’’ චිත්‍රපටය රූගත කිරීම් කළේ 2014-15 දි වගේ. මේක පෝලිමේ දාලා තියාගෙන හිටියා. ඊට පස්සේ කළ ‘‘තිත්ත ඇත්ත’’ තිරගත වුණා. එදත් දිනුම් අදත් දිනුම් කළා. රශ්මි චිත්‍රපටයට පාදක කර ගත්තේ සත්‍ය කතාවක්. 
ඇත්ත රශ්මි යාළු වෙන්නේ ලංකාවේ ජනප්‍රියම නවකතාකරුවකු එක්ක. ඒ පුද්ගලයා මේ වන විට ජීවත් වන්නේ විදේශයක. ඒ කතාව මම වෙනස් කරලා සිනමාවට උචිත විදියට යොදා ගත්තා. රශ්මි නිර්මාණය වුණේ ඒ විදියටයි. 

මේ ෆිල්ම් එක (රශ්මි) නැගලා යාවිද?

මොනවද මේ අහන්නේ? මම කළ ෆිල්ම්ස් කවදද අසාර්ථක වුණේ? මොකද මම සිනමාවට අසීමිතව ආදරේ කරන කෙනෙක්. මේ ෆිල්ම් එක සාර්ථක වේවි. අතිශය ජනප්‍රිය නළු නිළි පිරිසක් රඟපාන්නේ. 

සිනමා ක්ෂේත්‍රයේදී බොහෝ දෙනා ඔබට හරිම ආදරෙයි. අපේ ප්‍රීති අයියා අපේ ප්‍රීති මහත්මයා කියලා බොහෝ දෙනා කියන්නෙ මේ තරමටම ඔබට ආදරය කරන රහස මොකක්ද?

කිසිම රහසක් නැහැ. මම කෙනෙකුගේ වටිනාකම කවදාවත් බාල්දු කළේ නැහැ. මගේ නිර්මාණයක දී කලාකරුවෝ ඉල්ලපු මුදල් බාර්ගේන් කරන්න ගියේ නැහැ. ඒ මුදලම දුන්නා. ඉස්තරම්ම විදියට කන්න බොන්න දුන්නෙ. එයාලා ඒ සියලු දේ නිසා හරිම සතුටින් වැඩ කළේ. මම මේ විදියට නළු - නිළියන්ට සළකද්දී දවසක් කෙනෙක් මට දෝෂාරෝපණය කළා. අයියෝ ඔයා මේ විදියට එයාලට සළකද්දි අපි කොහොමද ඔයා වගේ කරන්නේ කියලා. ඔච්චර හොඳට සළකන්නේ මොකටද කියලා එයා කිව්වා. ඒත් මම කවදාවත් මගේ ක්‍රමය වෙනස් කළේ නැහැ. මගේ නම ප්‍රීතිරාජ් ඉතින් මම වගේම හැමෝම ප්‍රිතියෙන් සතුටින් ඉන්නට ඕනෑ. අදත් හෙටත් මම කරන්නේ ඒකයි. මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න මම ආසයි. 

සඳුන් ගමගේ