මම හිතන්නේ 19 කියන්නේ ආදරය ගැන හිත යොමු කරවන්න කාලයක් නෙවෙයි
මෝසමට පිනි වැස්ස දෙන සීත පරදන්න
උණුහුමට ඔය පපුව අස්සටම ගුලි වෙන්න
තව ටිකක් ලං වෙලා ආදරෙයි කොඳුරන්න
ජීවිතේ මිහිර විඳගන්න තව ඉඩ දෙන්න.
මේ විදියට ආදරය කවියෙන් ප්‍රකාශ කරන කවි හිතක් ඇති මේ තුරුණු ශිල්පිනිය තාරුණ්‍ය අතර වඩා සමීප රුවක් වී සිටින්නේ විකාශය කෙරෙන ඇස් නාට්‍යය නිසයි. ඇය නමින් විනුකි දිනාය. අපි ඇය එක්ක තාරුණ්‍යයේ කතා බහකට එක්වෙමු.
විනුකි දිනායා, ලස්සන නමක්? මොකක්ද තේරුම?
දිනායා කියන්නේ ජයග්‍රාහී කාන්තාව කියන අදහස.
ඇයි ඔබට විනු කියන්නේ?
මම පාවිච්චි කරන්නේ විනු කියලයි. ඒ නිසා මගේ නම විනුකි කියලා වැඩි දෙනෙක් දන්නෙත් නැහැ.
විනු කවුද? මොනවද කරන්නේ?
රංගන ක්ෂේත්රයට ආ ආධුනික කෙනෙක්. රංගනය ගැන ඉගෙන ගන්න කෙනෙක්. ඒ අතරේ උසස් පෙළට සූදානම් වෙමින් සිටින්නේ.
ගම
තාත්තගේ ගම කුරුණෑගල. අම්මා රාජගිරියේ. අපි පදිංචිය කොළඹම තමයි. අපේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලිලා දෙන්නයි. තව චූටි බලු පැටියෙක් ඉන්නවා. අපේ අම්මයි, තාත්තයි දෙන්නම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන්නේ.
විනුගේ අරමුණ?
රංගනයට ආසා වගේම ගුරුවරියක වීමේ ආසාවකුත් තියෙනවා. තවම තීරණය කරලා නැහැ. ඉස්සෙල්ලා ඒ ලෙවල් ලියලා ඉන්න ඕනෑ. ඉන් පස්සේ ටික කාලයකට විදෙස්ගත වෙන්නත් කියලා හිතාගෙන ඉන්නේ. ෆැෂන් ඩිසයිනින් අංශයෙන් වැඩිදුර හදාරන්න ආසයි.
විනු රංගනය පටන් ගත්තේ?
මුලින්ම පෙනී සිටියේ රූපවාහිනී දැන්වීම්වලට. රඟපෑමට අවස්ථාව ලැබුණේ ඉන් පස්සේ.
ඒ ලෙවල් කරන අතරේ රඟපානවාට ගෙදරින් කැමතිද?
තාත්තා නම් කිව්වේ ඒ ලෙවල් ඉවර වෙලා රඟපාන්න කියලයි. හැබැයි තාත්තාත් දැන්වීම් සහ නාට්‍යවලට දායක වෙනවා. ඒ නිසා රංගන විෂය ගැන දන්න නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ.
එතකොට විනු රඟපෑමට ආවේ ඒ වටපිටාව නිසාද?
නැහැ, ඇත්තටම ඒක අහම්බයක්. මගේ යාළුවෙක් හරහා මට දැන්වීමකට පෙනී සිටීමේ අවස්ථාව ලබා ගන්න පුළුවන් වුණා. එතකොට මේ ෆීල්ඩ් එක නිසා ක්ෂේත්රය ගැන දැනගෙන හිටියෙත් නැහැ. තෝරා ගැනීමේ පරීක්ෂණයේදී මාව සිලෙක්ට් වුණා. එතැනින් පටන් අරගෙන ඉදිරියට එද්දී මියුසික් වීඩියෝ එකක රඟපාන්න ලැබුණා. ඉන්පස්සේ දිගටම මියුසික් වීඩියෝ කරද්දී හිතුවක්කාරී ඩ්‍රාම එකේ චරිතයක් ලැබුණා.
හිතුවක්කාරී නාට්‍යයේ රඟපෑවේ?
මුතුමිණිගේ යාළුවා වන හංසනාගේ චරිතය. හංසනා ටිකක් කටකාර චරිතයක්.
ඇස් නාට්‍යයේ චරිතය?
මගේ ඇත්ත නම, විනු තමයි ඇස් නාට්‍යයේ චරිතයේ නම. විනුකි කටකාර චරිතයක්. නිතරම මොනවා හරි කියන අනෙක් අයට කලින් උත්තර දෙන මූඛරි චරිතයක්.
සැබෑවටත් කටකාරද?
එහෙමම නැහැ. සමහර වෙලාවට ටිකක් ඒ වගේයි. සැර වෙන අවස්ථා එහෙමත් තියෙනවා.
මොනවගේ වෙලාවටද සැර වෙන්නේ?
මල්ලිලා එක්ක තමයි ඉතින්. නැත්නම් ඉතින් පාඩුවේ ඉන්න කෙනෙක්. පොත් කියවන්න ආසා, පාඩම් වැඩ කරන බලු පැටවා එක්ක හුරතල් කරන කවි ලියන කෙනෙක්. බොහොම සරලව නිදහසේ ඉන්න කෙනෙක්.
විනුට ගුවන් හමුදාවට යන්න හිතුනේ නැද්ද?
ඒක හිතන තරම් ලේසි නැහැ. සුදුසුකම් වගේම විශේෂයෙන්ම කැපවීම ඉතා ඉහළින් තිබෙන්නට ඕනෑ. ඒ නිල ඇඳුමට ආසයි. ඒත් උනන්දු වුණේ නැහැ.
කොහොමද විනුගේ පාසල් ජීවිතය?
මගේ පාසල කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය. පාසල් ජීවිතය සුන්දරයි. යාළුවෝ ඉන්නවා. ඒ වගේම ටිකක් විතර දඟ වැඩ කළ කෙනෙක්. ඒ නිසාම ටීචර්ලාගෙන් බැනුම් අහලත් තියෙනවා.
විනුට හිතෙන විදියට විනු වඩා දක්ෂ
මට හිතෙන විදියට මම සිංදු කියන්න දක්ෂයි. ඉදිරියේදී ඒ අංශයෙත් නිරත වෙන්නත් ආසයි.
විනුට ජීවිතේ දැනෙන විදිය?
මේ කාලයේ හැටියට නම් අපි කාගෙවත් ජීවිත ප්‍රීතිමත් නැහැ. රටේ පවතින තත්ත්වය එක්ක. ඒ වුණත් දුක-සැප දුෂ්කරතා, ජයග්‍රහණ සියල්ල අතරේ ගෙවන ජීවිතය සුන්දරයි. මොන දේ හෝ වේවා සතුටින් තමයි ඉන්න කැමති. ජීවිතේ මට නම් ලස්සනයි. අම්මා තාත්තා මල්ලිලා යාළුවෝ ඒ ඔක්කෝම නිසා ජීවිතය සුන්දරයි.
දැන් වයස කීයද?
19යි.
සමහරු මේ වගේ වයසේදී අධ්‍යාපනය ලබනවා වෙනුවට ආදර බැඳීම් නිසා ඒ කටයුතු අඩපණ කර ගන්නවා. විනු කොහොමද ඒ ගැන හිතන්නේ?
මම හිතන්නේ 19 කියන්නේ ආදරය ගැන හිත යොමු කරවන්න කාලයක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා අපේ අරමුණට යන ගමන වෙනුවෙන් ඉගෙනීම් සහ අත්දැකීම් ලබන්න ඕනෑ.
ඕස්ට්‍රේලියාවට ඇයි එච්චරටම කැමති
මගේ පුංචි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මගේත් ආසාව තියෙන්නේ පුංචිත් ඉන්න නිසා එහේ ගිහින් ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් සුදුසුකම් ඉස්සෙල්ලා හදා ගන්න වෙනවා. දැනට මේ වැඩවලට උපරිමම දායක වෙලා තව ටික කාලයකින් විදෙස්ගත වේවි.
විනු ජීවිතයේ අඩුපාඩු විදියට දකින්නේ?
මට හිතෙන විදියට මම ටිකක් කලබලයි. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ දුර්වලකම හදාගන්නම ඕනේ.
උසස් පෙළ කරන්නේ?
භාෂා අංශයෙන්. ප්‍රංශ භාෂාව, මීඩියා සහ භූගෝල විද්‍යාව.
ප්‍රංශ භාෂාව ඉගෙන ගෙන ප්‍රංශයට නොගොස් ඕස්ට්‍රේලියාවට යන්නේ?
ඕස්ට්‍රේලියාවට යන්නේ ඉගෙන ගන්නනේ. අවස්ථාවක් ලැබුණොත් අනාගතයේදී ප්‍රංශයටත් යනවා.
පාඩම් කරද්දී පාඩම් මතක තියාගන්න විනු මොනවගේ ක්රමයක්ද අනුගමනය කරන්නේ?
ඒක ටිකක් අමාරු වැඩක්. මම කරන්නේ අමතක වන පාඩම් කීප සැරයක්ම පාඩම් කරන එක.
ජීවිතේ වැඩිපුර මතක හිටින්නේ?
පුදුමේ කියන්නේ මට තිර පිටපත නම් හොඳට මතක හිටිනවා. ඒ වගේ දේ ලේසියි. විද්‍යාව වගේ විෂයන් ඕ ලෙවල් වලදී වැඩිපුර පාඩම් කරන්න සිද්ධ වුණා.
විනු වෙන මොනවද ජීවිතේ අරමුණු?
රංගනයෙන් ජනප්‍රිය සහ දක්ෂ නිළියක වෙන්න ආසයි. ඒ වෙනුවෙන් කැප වෙනවා. ප්‍රංශ භාෂාව උගන්වන ගුරුවරියක වෙන්නත් ආසාවක් තියෙන්නේ. ඒත් තවම නිශ්චිත තීරණයකට ඇවිත් නැහැ.
කොහොමද ඇස් නිසා ලැබෙන ප්‍රතිචාර?
මිනිස්සු අපිව හඳුනාගෙන කතා කරන්න පටන් ගත්තාම හරි සතුටුයි. හොඳට රඟපෑවා. එහෙම කියලා කියද්දී ඒ සතුට තවත් වැඩි වෙනවා.
කොහොමද රංගනයෙන් දිගටම රැඳිලා ඉන්න පුළුවන් වේවිද?
තමන් හරියට වැඩේ කළොත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අවස්ථාව ලැබේවි. මේ ෆීල්ඩ් එක ඇත්තටම හොඳයි. හොඳට ඉන්න අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට පැවරුණු රාජකාරිය කරලා තමන්ගේ පාඩුවේ සිටීම මගේ විදියයි.
සඳුන් ගමගේ