මම සින්දු කියනවාට තාත්තා කැමති වුණත් අම්මා කැමති වුණේ නෑ - යමුනා විනෝදනී
ප්‍රේමයයි වෛරයයි අතරේ - වෙනස කෙස් ගසකට සමයි
බිඳුණු දා පූජාව ප්‍රේමයේ - ඔහුගෙ ආගම වෛරයයි
80 දශකයේ මුල් භාගයේදී ගුවන්විදුලිය තුළින් ඇසුණු ඒ කටහඬ ශ්‍රාවක සවන් සැනහූ සුමියුරු ගීතාවලියක් සමඟ අදටත් එක සේම හද බැඳගත් හඬකි. ගීත අති විශාල සංඛ්‍යාවක් නොගැයුවද ගැයූ ගී වැඩි ගණනක් රසිකයන් ආදරයෙන් වැළඳගත් නිසාම අද වුවද එතරම් නෑසුණද ඇගේ හඬ මතකයේ රැඳුණු හඬකි. ඉහත සඳහන් කළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ලෙස්ලි අශෝකා සංගීතවත් කළ ගීතය ඇතුළත් වූයේ 1982 වසරේ ඇය ඉදිරිපත් කළ ගුවන්විදුලි සරල ගී එකතුවකටය. අද හදසර My Story සමඟ එක්වන ඇය ගායන ශිල්පිනී යමුනා විනෝදනීය.
"මම ඉපදුණේ කළුබෝවිල. මගේ අම්මා තාත්තා සහ පවුලේ මා සමඟ දරුවන් හතරදෙනයි. මම පවුලේ දෙවැනියා. මට අක්කා කෙනෙක්, නංගි කෙනෙක් සහ එක මල්ලි කෙනෙක් සිටිනවා. මගේ ආදරණීය තාත්තා තමයි ලෙස්ලි අශෝකා. මගේ ගීත බොහොමයක තනු හා සංගීත නිර්මාණවේදියා ඔහු. මෙලොව මා දුටු අවිහිංසකම, සත්‍යවාදී සහ නිහතමානී මිනිසා කවුද කියා ඇසුවොත් මා කියන්නෙ ඒ ලෙස්ලි අශෝකා නම් මාගේ පියාණන් කියලා. මගේ ආදරණීය අම්මා මාලනී පෙරේරා. මට අම්මා ගැන තිබෙන්නේ පුංචි මතකයක්. මොකද මට අවුරුදු 10 දි මගේ අම්මා මෙලොවින් සදහටම සමුගත්තා. එදා සිට අපව උස් මහත් කරන්න, ආරක්ෂා කරන්න මගේ තාත්තා අනේක විධ කැපකිරීම් කළා. තාත්තා රුකියාව කළේ ජාතික ගුවන්විදුලියේ. ඔහු සංගීතය විධිමත්ව ඉගෙනගෙන තිබුණේ නැතත් ජන්මයෙන් ලැබූ සංගීත ඥානයක් ඔහු සතු වුණා. ඉතාම කුඩා කාලෙදි ඔහු ගුවන්විදුලියට ගොස් එහි ශිල්පීන් වැඩ කරන ආකාරය බලා ඉඳලා තිබුණා. පසුව වයස අවුරුදු 16 දි පමණ තමයි ඔහු ගුවන්විදුලියේ රැකියාවට ගොස් තිබුණේ. තාත්තා හාමෝනියම්, බැන්ජො මැන්ඩලීන් වාදකයෙක් වගේම ගුවන්විදුලියේ 'A' ශ්‍රේණියේ සරල ගී, නූර්ති ගී හා විරිඳු ගායකයෙක්. මගේ හැකියාව හොඳින්ම හඳුනාගෙන තිබුණේ තාත්තා. ඔහු මගේ මුල් ගුරුවරවයා. තාත්තා කියන දේවල් අහගෙන ඉඳලා, පුහුණුවීම් බලාගෙන ඉඳලා තමයි මම බොහෝ දේ ඉගෙන ගත්තෙ. තාත්තා සංගීතය ගැන ඉගෙන නොගත්ත කෙනෙක් වූ නිසාම ඔහුට අවශ්‍ය වුණේ මට විධිමත්ව සංගීතය උගන්වන්න. ඒ සඳහා සුදුසු ගුරුවරුන් වෙත මාව යොමු කළේ තාත්තා. අද මගේ තාත්තා නිසයි මම සංගීත ලෝකයේ ඉන්නෙ. මම තාත්තාට ගොඩක් ආදරෙයි. වයස 16 දී ගුවන්විදුලියට ගිය ඔහු මිය යන්න වසර පහකට පමණ පෙරයි අනියම් ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිට ස්ථිර සේවයට බඳවා ගත්තෙ. ඒත් වයස 48 දි ඔහු අප අතරින් සදහටම සමුගෙන ගියා."
තම ආදරණීය පියාණන් ගැන යමුනා විනෝදනී ආදරයෙන් සිහි කරද්දී අපේ සිහියට නැගෙන්නේ ඇගේ හඬින් ගැයුණු ජනප්‍රිය ගීත කිහිපයකි. ඇසුරු සැණින් එක මොහොතකදී. ප්‍රේමයයි වෛරයයි අතරේ, සුදට සුදේ වලාකුළේ, ඔබෙ සෙවණැල්ලේ ආදී යමුනා ගැයූ ගී බොහොමයක සංගීත නිර්මාණවේදියා ලෙස්ලි අශෝකා නම් වූ ඇගේ පියාණන්ය. ගායන හැකියාව තිබූ නමුත් පවුලේ අනෙක් දරුවන් සංගීත ක්ෂේත්‍රයට නොපැමිණි බව ඇය පවසයි.
"මම මුලින්ම පාසල් ගියේ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මට හොඳින් ඉගෙනීමේ හැකියාවක් තිබුණා. පළමු පන්තියේ සිට තුන්වැනි පන්තියට මට කෙළින්ම යන්න පුළුවන් වුණා. පාසලේදි විවිධ ගායනා ආදී තරගවලට එක් වුණා වගේම පළාත් හා සමස්ත ලංකා තරග දක්වාත් මට යන්න පුළුවන් වුණා. ඔය අතරේ තමයි අම්මා මියගියේ. තාත්තාට අපි හතරදෙනාම තනියෙන් රැකබලා ගැනීමට අපහසු නිසාම තාත්තාගේ එකම අයියා ආවා මහරගමට අපිව බලාගන්න රත්නපුරේ ඉඳලා. ඉතින් අපි මහරගම ලොකු තාත්තාගෙ ගෙදර නැවතුණා. එතැන් සිට මම ගියේ මහරගම බුවනෙකබා මහා විද්‍යාලයට උසස් පෙළ වෙනකම්ම. ඉන්පසු තමයි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යොමු වුණේ."
යමුනා විනෝදනී සංගීත ලෝකයට එක්වීමේ වරම ලැබුවේ වයස අවුරුදු 04ක් තරම් ඉතා කුඩා වයසේදීය. ඒ 'හඳ මාමා' ළමා වැඩසටහන වෙනුවෙනි.
"තාත්තා මාව ගුවන්විදුලියට එක්කගෙන යනවනෙ. එහෙම ගිහින් හඳ මාමා වැඩසටහනට 'සමනලයා' ගැන ගීතයක් තමයි මුලින්ම ගායනා කරන්න ලැබුණේ. එතකොට මයික්‍රොෆෝනයට උසත් මදි. මම කුඩා කාලේ ඉඳන්ම එතරම් කතාබහ කරන කෙනෙක් නෙවෙයි. තරමක් නිහඬ චරිතයක් කිව්වොත් හරි. නමුත් ගායනා ආදී තරගවලට ඉදිරිපත් වීම කැමැත්තෙන්ම සිදු කළා. අදටත් එහෙමයි. අවස්ථාවක් ලැබෙන විට එය පැහැර හරින්නෙ නැහැ. කෙසේ හෝ ඊට සහභාගි වෙනවා. අම්මා නම් ඒ කාලෙත් එතරම් කැමති වුණේ නැහැ කලාවට යොමුවෙනවට. මොකද එයින් අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා. නමුත් තාත්තා හැමදෙයක්ම තේරුම් ගෙන ඊට අවස්ථාව දුන්නා. ඒ කාලෙදි තාත්තා කළා 'ගොවි පෙරමුණ' කියලා වැඩසටහනක්. එහිදී මාත් තාත්තා සමඟ ගීත ගායනා කළා. මෙහෙම කාලය ගතවෙලා ගිහින් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. එහි පළමු වසරෙදිම තමයි මා ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණේ. ඉන්දියාවෙන් පැමිණි සංගීතවේදිනියක වූ දීපාල් නාග් යටතේ තමයි මා කටහඬ පරීක්ෂණයට යොමු වුණේ. මම ශාස්ත්‍රීය කටහඬ පරීක්ෂණයටත් සහභාගි වුණා. ඇය මාව අගය කළා. ඒ වගේම සංගීත අධ්‍යාපනය හොඳින් ලබාගෙනම ගී ගයන්න කියා ඇය උපදෙස් ලබා දුන්නා. ඒ උපදෙස් මා හොඳින් ධාරණය කර ගත්තා සේම ඒ අනුව කටයුතු කළා. මේ සරල ගී පරීක්ෂණයෙන් මා ගුවන්විදුලියේ 'A' ශ්‍රේණියේ ගායිකාවක් ලෙස සමත් වුණා."
යමුනා විනෝදනී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේ 1981 වසරේදීය.
"මේ කාලෙදි ගුවන්විදුලියෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඉල්ලීමක් යොමුකොට තිබුණා. ඒ ඉල්ලීම තමයි එහි (ගුවන්විදුලියේ) ගීත සම්පාදනය සඳහා සංගීත දැනුම සහිත පිරිසක් යොමු කිරීම. ඒ අනුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ගුවන්විදුලියට යොමු කළ අය අතරට මාත් එක් වුණා. උපාධි ප්‍රදානය සිදුවෙලා තිබුණෙත් නැහැ. නමුත් ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කර තිබුණු නිසා ඒ යොමු කළ හයදෙනා අතරට මටත් එක්වෙන්න හැකියාව ලැබුණා. ඒ අනුව ගුවන්විදුලියේ සම්පාදන නිලධාරිනියක ලෙස මා ඉතා සතුටින් රැකියාවට එක් වුණා. ගීතත් එක්කම ඉන්න හැකිවීමත් ඉතා සුන්දර අත්දැකීමක් වුණා. ඒත් එක්කම වසරක් පාසා සරල ගී වැඩසටහන් ඉදිරිපත් කරන්නත් හැකියාව ලැබුණා. ඒ අනුව 1981 සිට මා ගුවන්විදුලියේ රැකියාව කළා. පළමු සරල ගී වැඩසටහන සඳහා අම්මා ගැන ගීතයක් ගැයුවා. 'මධු මිහිරි රස කලතා' කියන ගීතය තමයි ඒ. ඒ සමඟම සුදට සුදේ වලාකුලේ තරිඳු පායලා, පායා හිනැහෙන ඈත අඹර කොණ ආදී ගී රැසක්ම ගායනා කළා. තාත්තා එක්ක යුග ගීත කිහිපයකුත් ගැයුවා. ඒ වගේම මම තාත්තාගේ සරල ගී වැඩසටහන්වලටත් ගීත ගායනයෙන් එක් වුණා. ඉන්පසු 1982 වසරේදි මගේ දෙවැනි සරල ගී වැඩසටහන පැවැත්වුණා. එහිදී තමයි අසුරු සැණින් එක මොහොතකදී, ප්‍රේමයයි වෛරයයි අතරේ ගීත ගායනා කළේ. ඒ වගේම එඩ්වඩ් ජයකොඩි සමඟ ගැයූ ඔබ ළං වී මා අමතන මොහොතේ වැනි ගීතත් රසික ජනතාව අතරට ගියා. ඇත්තෙන්ම කිව්වොත් ගීත ගොඩක් මා ගායනා කළා. නමුත් දැන් ඒවා ඇහෙන්නෙම නැති තරම්. සමහර වෙලාවට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. මා ගැනම විතරක් හිතලා නොවෙයි. ඉතා කැපවීමෙන් දුක් මහන්සියෙන් නිර්මාණ කළ ශිල්පීන් හැමෝම ගැන හිතද්දි දුක හිතෙනවා. අද වගේ දියුණු තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද නොමැතිව එදා අතීතයේ මිනිසුන් දැඩි පරිශ්‍රමයකින් තමයි ගී නිර්මාණය කළේ. අද වගේ සංගීතය වෙනම ගී ගායනය වෙනම පටිගත කළේ නැහැ. සමස්ත වාදක මණ්ඩලය සමඟ එකටයි ගීත පටිගත කළේ. ඈත අතීතයට ගියොත් රුක්මණී දේවි වැනි ශිල්පිනියන් සජීවීව ගීතය ගයද්දි තමයි තැටිගත කිරීම් සිදු කර තිබුණේ. වන් ටේක්.. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නෙ. එක් වතාවකින්ම නිවැරදි ස්වර ස්ථානවලට ගයන්න කොතරම් හැකියාවක් තිබෙන්න ඕනද? එහෙම හිතද්දි ඔවුන් ගැන විශාල ගෞරවයක් ඇතිවෙනවා."
තම මව ඉතා කුඩා වියේදීම වියෝවීම ජීවිතයේ බොහෝ දෙයට බලපෑම් කළ වග ඇය පවසයි.
"ඇත්තටම ඉතා විශාල අඩුවක් දරුවෙකුට තම මව කුඩා වියේදීම අහිමි වීම. මටත් එය ඉතා තදින් දැනුණා. ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණත් සමහරවිට තනියම යන්න බැරි නිසා නොයා ඉන්න සිදු වුණා. තාත්තා රැකියාව කරන ගමන් මේවාට මාව රැගෙන යන්නත් හරිම අපහසුයි. ඒ නිසා මට ප්‍රසංග වේදිකාවට නම් එක්වෙන්න ඉඩක් ලැබුණෙම නැති තරම්. ඒ වගේම මම ගුවන්විදුලියට ගිහින් වසර හතරකින් විතර, ඒ කියන්නෙ 1985 වසරේදි තාත්තාත් අප මෙලොව තනිකර සදහටම සමුගෙන ගියා. ඔහු තමයි මගේ සංගීත ලෝකයේ තරුව. තාත්තා නැතිවුණාම ජීවිතය තවත් දුක්බර බව දැනෙන්න වුණා. කෙසේ නමුත් තාත්තා ජීවත්ව සිටි කාලයේම මට විවාහ යෝජනාවක් ඇවිත් තිබුණා. තාත්තත් ඒකට කැමතිවෙලයි හිටියේ. ඒත් මගේ විවාහය සිදු වුණේ තාත්තගේ අභාවයෙන් පස්සෙ. 1986 දී මම නෙවිල් පෙරේරා සමඟ විවාහ වුණා. ඔහු කලාවට සම්බන්ධ නැහැ. පෞද්ගලික රැකියාවක් කළේ. ඔහු මාව දිරිමත් කරනවා. අදටත් ඔහු කියන්නෙ ඔයාට තව ගායනයෙන් ඉදිරියට යා හැකියි කියලා. ඒත් මගේ කලාවෙන් මාත් තෘප්තිමත් විය යුතුයිනෙ. ඉතින් අවස්ථාවක් ලැබුණොත් යනවා මිස ඒවා සොයාගෙන මා ගියේ නැහැ. අහංකාරයකට නෙවෙයි. ඒ මගේ ස්වභාවය. ඒ වගේම ගුවන්විදුලියේ ගීත සම්පාදන නිලධාරිනියක් ලෙස මට කොතරම් මගේ ගීත ප්‍රචාරයට යොදවන්න තිබුණද? ඒත් අදටත් මට මා ගැන සතුටුයි කිසිම දවසක මා එසේ නොකළ එක ගැන. එහෙම කළා නම් මෙහෙම තෘප්තියෙන් මගේ ගමන ගැන මට සිහි කරන්න බැහැනෙ."
යමුනා විනෝදනී - නෙවිල් පෙරේරා කැදැල්ලේ පුතුන් දෙදෙනෙකි. පුලිත හා තර්ෂණ ඒ පුතුන් දෙදෙනාය. ගැයූ ගී සමඟ ශ්‍රාවක සිත් අතරේ රැඳුණු යමුනා විනෝදනී නම් සොඳුරු ගායන ශිල්පිනියට සුවබර අනාගතයක් හිමිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරමු.
මොනිකා සේරසිංහ / සේයාරූ- අන්තර්ජාලෙන්