මම රජයේ පත්වීම් හරහා තමයි නාට්‍ය හා රංගකලාව ගුරුවරයෙක් විදියට සම්බන්ධ වෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘දෙකොන්මාරු’’ නිර්මාණයේ ‘‘ගංකුකුළා මාමා’’ චරිතය තුළින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළ ලෙස ලබාගෙන සිටින රුක්මන් තිලකරත්න කලාකරුවා සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.

‘‘ගංකුකුළා’’ මාමා අද පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් නේද?

ඔව්. ඇත්තටම ඒ චරිතය මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙලා තියෙන චරිතයක් වෙලා තියෙනවා. දරුවො අතර සහ වැඩිහිටියො අතර තමයි ගොඩක්ම ජනප්‍රිය.

ඉතින් ‘‘ගංකුකුළා’’ මාමා ඉන්න මේ නිර්මාණය ගැන කතා කරමු?

‘‘ගංකුකුළා මාමා’’ ඉන්නෙ දෙරණ නාළිකාවෙ විකාශය වන ‘‘දෙකොන්මාරු’’ ටෙලි නිර්මානයේ. ඔහු හරි සුන්දර මනුස්සයෙක්. ඉතින් මේ චරිතය හරහා සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු සම්බන්ධව කතා කරනවා. එක චරිතයක් තුළින් තමයි සමාජයේ බොහෝ දේවල් කතා බහ කෙරෙන්නෙ. සමාජයේ සිදුවන සමහර ගැටලු නොගැළපෙන තැන් උපහාසයට ලක් කරනවා. හාස්‍යමය විදියට තමයි මේ චරිත රංගනය විවිධාකාර සමාජ චරිත නිරූපණයන් ඔස්සේ ගලාගෙන යන්නෙ. මෙය හාස්‍යෝත්පාදක නිර්මාණයක් වුවත් ඒ තුළ විහිළුවෙන් හෝ සත්‍ය තමයි කතා කරන්නෙ. මෙහි අධ්‍යක්ෂවරයා තමයි ජී. නන්දසේන මහත්මයා. පිටපත් රචනය කරන්නෙ සුරංග සතරසිංහ මහත්මයා. දෙරණ නාළිකාවෙ සෙනසුරාදා, ඉරිදා දිනවල සවස 5.55 සිට 6.55 දක්වා පැයක කාලයක් මෙය විකාශය වෙනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.

මීට අමතරව ඔබ නියැළෙන නිර්මාණ ගැන කිව්වොත්?

ටෙලි නිර්මාණ කිහිපයකම වැඩ කරගෙන යනවා. රංග වීරසිංහ අධ්‍යක්ෂවරයාගේ ෆැමිලි ව්‍යවසාය, තාරුක දිල්හාර අධ්‍යක්ෂවරයාගේ වෛතාලී, චමිල් පතිරණ අධ්‍යක්ෂවරයාගේ සිටුමැදුර සහ චාමික පෙරේරා අධ්‍යක්ෂවරයාගේ ‘‘යක්ඛ නාද’’ යන නිර්මාණවල වැඩ කරගෙන යනවා. ඒ වගේම මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණයක් තිරගත වෙන්නත් නියමිතයි. ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂවරයාගේ ‘‘රුවන් තාරකා’’ එහි වැඩ කටයුතු මේ වෙද්දි අවසන් වෙලා තියෙන්නෙ. මේ හැමදේම එක්කම වේදිකා නාට්‍ය එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා ‘‘සින්දුකාර කවිනළුව’’ කියලා. එය මහාචාර්ය මංගල සේනානායකයන්ගේ නිර්මාණයක්. ඒ නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා. රංගනය, වේදිකාව, සිනමාව තුළ මේ කටයුතු තමයි සිද්ධ වෙන්නෙ. ඊට අමතරව ප්‍රසංග වේදිකාවටත් ගීත ගායනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. 

ඒ කියන්නෙ ඔබ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්.

ගීත ගායනා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම කලාව තුළ රංගනය, වාදනය, චිත්‍ර ඇඳීමේ හැකියාව පුංචි කාලේ පටන්ම වගේ මා තුළ තිබුණා. රංගනයට හැකියාව තියෙන බව හඳුනා ගන්නේ පාසලේ 7 වසරෙදි වගේ. පාසල් වේදිකාව තුළ මම රංගනයෙන් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීමත් එක්ක තමයි නාට්‍ය සංචිතවලට සම්බන්ධ වෙන්නෙ. ඒ හැදෑරීම් එක්ක මට රංගනයට දැඩි ආසාවක් ඇතිවෙනවා. ඉන්පසුව තමයි රංගනය හොයාගෙන යන්නෙ. පසු කළෙක මම සම්බන්ධ වෙනවා ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලට. මගේ පාසල තමයි තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය. පාසල් වේදිකාව තුළ මාව රංගනයට දැඩිව උනන්දු කළේ සෝමරත්න ගුරු පියාණන්. සමස්ත ලංකා නාට්‍ය සඳහා එතුමාගේ මඟපෙන්වීම තුලින් තමයි ඉදිරියට යන්නෙ. ඒ මග පෙන්වීම එක්ක තමයි නාට්‍ය හා රංග කලාවට ලොකු කැමැත්තක් ඇතිවෙන්නෙත්. ඉන්පසුව දිගටම නාට්‍ය හා රංග කලාව තමයි හදාරන්නෙ. ටවර්හෝල්හි අවුරුදු 2ක් ඩිප්ලෝමාව හදාරනවා. එතැනින් තමයි මට මංගල සේනානායක ගුරුතුමා මුණගැහිලා ජනරංග සභාවට සම්බන්ධ කරගත්තෙ. ඒ හරහා වේදිකාව තුළ ගායන හැකියාව වැඩිදියුණු කරගන්නවා. වීදි නාට්‍ය, ප්‍රජා නාට්‍ය බොහෝ සංඛ්‍යාවක් කරනවා. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් අංගරචනා ශිල්පියෙක් විදියට ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වෙනවා. එහිදී මගේ අංග රචනා ගුරුවරයා වෙන්නෙ ජයන්ත රණවක. ඒ හැදෑරීමත් අධ්‍යයනයත් එක්ක අවුරුදු 15ක් වගේ අංග රචනා ශිල්පියෙකු ලෙස සේවය කරනවා. ඒ අතරතුර තමයි ටෙලිනාට්‍ය රංගනයට සම්බන්ධ වෙන්නෙ. මේ වෙද්දි කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 25 ක් වගේ වෙනවා. මේ හැමදේම එක්ක මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධියත් හදාරා අවසන් කරනවා.

කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු එක්ක ඔබ මේ වෙද්දි ගුරු වෘත්තියේ නියැළිලා ඉන්නවා නේද?

ඔව්. මම රජයේ පත්වීම් හරහා තමයි නාට්‍ය හා රංගකලාව ගුරුවරයෙක් විදියට සම්බන්ධ වෙන්නෙ. මම ගුරුවරයෙක් විදියට සේවය කරන්නෙත් මම ඉගෙන ගත්ත පාසලේම තමයි. ඒ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විදුහලේ. ඒ පාසලටම මාව සම්බන්ධ කරගන්න මට ගොඩක් උදව් කළේ පාසලේ වර්තමාන විදුහල්පතිතුමා ඉන්ද්‍රජිත් ජයකොඩි මහත්මයා. ඔහු මාව මේ පාසලට අනුයුක්ත කරගන්න වෙහෙස මහන්සි වුණා. ඒ මම පාසලේ ආදි ශිෂ්‍යයකු වීමත් ජාතික මට්ටමේ කලාකරුවකුවීමත් නිසා.

එදා ශිෂ්‍යයකු වී එම පාසලේ අධ්‍යාපනය හදාරපු ඔබ අද ගුරුවරයෙකු වී දරුවන්ට ඉගැන්වීම් කරද්දි ඔබේ අතීතයට යනවද?

ඔව්. ඇත්තටම එදා ශිෂ්‍යයෙක් විදියට යාළුවො එක්ක දුවලා පැනලා සෙල්ලම් කරපු ඒ අතීතය සිහිපත් වෙනවා. ඒ වගේම මම ඉගෙන ගත්තු පන්ති කාමර දකිද්දි එහෙම හරි ආසයි. මම ඉගෙනගත්තු පන්තිය, ඒ මේස පුටු දකිද්දි හරිම සතුටුයි. හරි සුන්දර කාලයක්නෙ ඒ පසුකරගෙන ආවෙ. ඉතින් අද දරුවො එක්ක ඉතා ආදරණීයව සුහදව වැඩ කරගෙන යනවා. දරුවොත් මට හරිම ආදරෙයි. සමහර දරුවො මාව බලන්න, කතා කරන්න මාව හොයාගෙන එනවා. ඉතින් හරිම සුන්දරයි ඒ දේවල්.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඔබ අද වනතුරු ආ ගමන ගැන මොකද හිතෙන්නෙ?

1997 තමයි මගේ කලා ගමන ආරම්භ වෙන්නෙ. එදා පටන් 2023 වසර දක්වා පියවරෙන් පියවර ගමනක් ආවා. එදා සිට අද දක්වා මට ලැබුණු චරිත රංගනවලට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ප්‍රේක්ෂකයො මට ඒ සහතිකය ලබාදීලා තියෙනවා. නමුත් මම මේ ආපු ගමන ගැන මට 100% තෘප්තිමත් බවක් නැහැ. මොකද මගෙ දක්ෂතාවයට ලැබෙන්න තියෙන කිසිවක් මේ තුළ මට ලැබුණෙ නැහැ. මාව ප්‍රේක්ෂකයො, අධ්‍යක්ෂවරු මීට පෙර හඳුනාගත්තනම් මීට වඩා වේගවත් ගමනක් එන්න තිබුණා. 
බොහෝ දෙනෙක් අද මාව හඳුනගෙන තියෙන්නෙ හාස්‍ය රංගන ශිල්පියෙක් විදියට. නමුත් මම හාස්‍ය වගේම සංකීර්ණ චරිත රංගනයන් සම්බන්ධයෙන් පවා ප්‍රගුණ කරලා තියෙනවා. කලාව තුළ රංගනය සම්බන්ධයෙන් වැඩි අධ්‍යයනයක යෙදිලා තියෙනවා. නමුත් මම මේ ක්ෂේත්‍රය තුළ සුදුසු චරිත රංගනයන්වලට යන්න හැකිවුණේ නැහැ. ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා මගේ දක්ෂතා තුළින් විවිධාකාර චරිත රංගනවලට යන්න. රංගනයෙන් වගේම ගීත ගායනයෙනුත් ඉදිරි ගමනක් යන්න තමයි ලොකුම කැමැත්ත. මේ වෙද්දි මගේම ගීත නිර්මාණ 10ක් පමණ එළිදක්වලත් තියෙනවා. ඒ හැමදේමත් එක්ක කලාව තුළ ලස්සන ගමනක් යන්න තමයි අරමුණු කරගෙන ඉන්නෙ.

ධනු විජේරත්න