මම බොහොම විවෘතව කෙළින් කතා කරනවනෙ - අවංක අය තමයි කෙළින් කතා කරන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරෙයි කිව්වෙ කොළඹදි, මැරි මී කියලා කිව්වෙ සිංගප්පූරුවෙදි, විවාහය රෙජිස්ටර් කළේ සුපිරි යාත්‍රාවක, වෙඩින් එක කොහෝ ගනීවිද? සංජානා ගමආරච්චි

විහඟ නීලමුනි මේ ගීතය ගයද්දී මෙහි රූප රචනයට රංගනයෙන් පෙනී සිටියේ සංජනා ගමාරච්චි ය. ඉතින් මේ සංජානා කවුද කියලා දන්නවනෙ. එදා ඇය අවුරුද්දකට විතර කලින් මෙම මියුසික් වීඩියෝවේ පෙනී සිටියදී ගීතය ගයමින් රංගනයට ඇය හා එක්වූ විහඟ අනාගතයේ දී ඇයගේ සැබෑ ජීවිතයේ ජීවන සහකරුවා වේ යැයි හීනෙකින් හෝ නොසිතූ බව කියන්නීය. එහෙත් පසුගියදා සංජානා විවාහ ගිවිස ගත්තේ මේ විහංඟ සමගය. ‘මැරි මී’ (Marry me) යන ඉල්ලීම විහංඟ කළේ සිංගප්පූරුවේදීය. පසුව විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගියදා කොළඹ පෝර්ට් සිටි හෙවත් වරාය නගරයේදීය. ඒ සුපිරි යාත්‍රාවකදීය. සංජානා මේ ගැන සඳැල්ලට කීවේ මෙලෙසිනි.

සංජානා, හිටි හැටියේම විවාහය සිදුවීමට විශේෂ හේතුවක් තියෙනවද?

ඇත්තටම වුණේ විවාහ ගිවිස ගැනීමයි. විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දෙ.

මේ දිනවල සංජානා රඟපාන නාට්‍ය මොනවද?

මේ දිනවල දිවිතුරා සහ ‘ළංවී’ ටෙලි නාට්‍ය දෙකේ රඟපානවා. දිවිතුරා නාට්‍යයේ මගේ චරිතයේ නම ටීනා. ‘ළංවි’ නාට්‍යයේ චේති. ටීනා, කියන්නෙ දඟකාර, කටකාර, කපටි කෙනෙක්. චේතිගෙ චරිතයේදී චේති කියන්නෙත් ටිකක් දඟකාර, එයාගෙ හොඳම යාළුවාගෙ අවංක යෙහෙළියක්.

ඒ විදියට රඟපාන ‘සංජානාට’ කොහොමද සැබෑ ජීවිතයේ මේ පෙම්වතා හමුවුණේ?

මීට අවුරුද්දකට විතර කලින් එයාගෙ පළවැනි මියුසික් වීඩියෝ එක කරද්දි ඉතින් එදා එහි රූප රචනයට රංගනයෙන් දායක වුණේ මම. ඊට පස්සෙ ඒ හඳුනාගැනීම එක්ක අපි හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකම නිසා නිතර කතාබහ එහෙම කළා. ඒ විදියට කාලය ගත වෙද්දි තමයි, අපි පෙම්වතුන් බවට පත්වුණේ. එයාට මම කැමැති වුණේම එයාගෙ හොඳ ගතිගුණ නිසයි.

විහඟ වෘත්තියෙන් මොනවද කරන්නෙ?

විහඟ වැඩිදුර අධ්‍යයනය සඳහා ඔස්ට්‍රේලියාවෙ සිටින්නෙ. ඊට අමතරව ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා.

අද කොළඹ ඉන්න සංජානා හෙට සිංගප්පූරු​ෙව, ආයෙත් බලද්දි තවත් රටක, මොකද හිතෙන්නෙ?

කොහොමටත් මම සංචාරයට හරිම ආස කෙනෙක්. පුළුවන් කාලයේදි ජීවිතය විඳින්න ඕනෑ. සංචාරය කළාට වෙන රටක පදිංචියට නම් කැමැති නැහැ.

සංජානාට විහඟ කැමැතියි කියන දේ ප්‍රකාශ කළේ සිංගප්පූරුවෙදි නේද?

නැහැ, කැමැත්ත ප්‍රකාශ කළේ මෙහේදි. විවාහ වෙමු කියන යෝජනාව කළේ සිංගප්පුරුවෙදි. ඒක එයා මාව පුදුම කරවන්න හිතාගෙන කළ දෙයක්.

ඉන්පස්සෙ රටේ අර්බුදකාරී වාතාවරණයක් තිබියදි, විවාහ ගිවිස ගැනීමේ උත්සවය සිදු කළේ, කොළඹ වරාය නගරයේ සුපිරි යාත්‍රාවක ඒ ගැන කියමු?

ඉන්ධන නැති ප්‍රශ්නය නිසා බොහෝ බාධක අපට තිබුණා. ඒත් නැකැත් සහ තෝරාගෙන තිබුණු දවස අනුව විවාහය වෙනුවෙන් ගිවිස ගැනීමේ කටයුතු එදාටම කරන්න සිදුවුණා. නැකතක් යොදා ගත්තට පස්සෙ කල් දාන්නත් බැහැනෙ. පෝර්ට් සිටි එකේ යාත්‍රාවක් තමයි මේ වෙනුවෙන් අපි යොදා ගත්තෙ. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. විහඟටයි, මටයි, ඕනෑ වුණේ ඒ වගේ වෙනස් අත්දැකීමක් සහ අමතක නොවන අත්දැකීමක් අපේ යාළුවන්ට ලබාදෙන්න. Yacht (සුපිරි යාත්‍රාවක්) ඒ වෙනුවෙන් යොදා ගත්තෙ ඒ නිසයි. අවසානයේදි අපි ඒ ගත්ත තීරණය හොඳයි කියලා හිතුණෙ ඒක ඇත්තටම වෙනස් අත්දැකීමක් වූ නිසයි.

මේ විදියට විවාහ ගිවිස ගැනීම වෙනස් තැනක සුපිරි යාත්‍රාවක සිදුකළ සංජානා, විවාහ උත්සවය කොහේද ගන්න හිතාගෙන ඉන්නෙ?

තවම අපි ඒක ප්ලෑන් කරන ගමන් ඉන්නෙ. ඒකත් හොඳ විදියට වෙනස් තැනක ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. මගේ යාළුවෝ හැමෝටම එන්න පුළුවන් තැනක කාටත් පහසු විදියට ස්ථානයක් තෝරාගන්න තමයි අපි දෙන්නා කතා කරගෙන ඉන්නෙ.

කොහොමද ඉතින් අද ජීවිතේ? මොන වගේ හැඟීමක්ද දැනෙන්නෙ?

විහඟ සුපුරුදු පරිදි එයාගෙ වැඩවලට ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. මම මගේ රංගන කටයුතුවලට දායක වෙමින් මෙහේ කාලය ගෙවනවා. ජීවිතේ හොඳයි. මගේ රඟපෑමේ කටයුතුවලට විහඟ පුදුම සහයෝගයක් දෙන්නෙ. විවේකය සහ නිවාඩුව ලැබුණාම එයා මාව බලන්න ඒවි. මම එයාව බලන්න එහේ යාවි. හැබැයි ලංකාව දාලා නම් යන්නෙ නැහැ.

රටේ පවතින තත්ත්වය නිසා බොහෝ දෙනෙක් රට හැර යන්න හදන මොහොතක සංජානා ඒ ගැන හිතන්නෙ කොහොමද?

දැනට නම් මට එහෙම අදහසක් නැහැ. ඒත් විහඟ නම් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඉතින් තවම ඒ වගේ තීරණයක් අරගෙන නැහැ. මගේ රටේ ඉන්න තමයි මම ආස.

විවාහවීම’ කොහොමද දැනෙන්නෙ?

විවාහ වූ පසු බිරිඳක්වීම වගේම කොළයකට අත්සන් කිරීම කියන්නේ නීතියෙන් බැඳීමක්. ඒත් ජීවිතේ එතෙක් කරගෙන ආ කිසිවක් නැති වෙන්නෙ නැහැනෙ. දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ගියොත් ‘විවාහය’ කියන දේ සුන්දර ගමනක් වේවි.

අද කාලයේ බොහෝ දෙනා විවාහ උත්සවය ලස්සනට ගන්න, ලස්සන තැන්වලට, සුපිරි හෝටල් වගේම පිටරටවලටත් යනවනෙ. ජීවිතේ ලස්සන කරගන්න මොන විදියට කටයුතු කළොත්ද හොඳ?

වෙඩින් එක ලස්සනට වෙනස් තැනෙක, වෙනස් විදියට කරන එක හොඳයි. ඉන්පසුව අපි දෙන්නගෙ ජීවිත ලස්සන කර ගන්න නම් දෙන්නට දෙන්නා කරන කියන දේ නිවැරැදි අවබෝධයෙන් සහ වගකීමෙන් කළොත් හොඳයි. අපි දෙන්නගෙ අරමුණු කරා යන්න නම් දෙන්නාට දෙන්නා අතර හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ සියලු දේ හරි විදියට කරගෙන විවාහය සාර්ථක කර ගැනීම තමයි අපි දෙන්නගෙම අරමුණ.

විහඟ සංජානාට කැමැතිවීමට විශේෂ හේතුව?

මම බොහොම විවෘතව කෙළින් කතා කරනවනෙ. ඒ විවෘතකමට එයා කැමැතියි. අවංක අය තමයි කෙළින් කතා කරන්නෙ. මම හිතන්නෙ විහඟ මට කැමැති ඒ අවංකකම නිසා වෙන්නත් ඇති.

සංජානා කොහොමද ජීවිතය සැලසුම් කරන්නෙ?

ඉලක්ක තියෙනවා. ඒත් ලොකු බලාපොරොත්තු නැහැ. ජීවිතේ ඒ මොහොතට අවංක වී අරුතක් දීම හොඳයි. ජීවිතේ කියන්නෙ හරි සුන්දර දෙයක්. විඳවන්නෙ නැතුව විඳින්න ඕනෑ දෙයක්. කාටවත් පේන්න ජීවත් වෙනවාට වඩා තමුන්ට දැනෙන්න අවංකව ජීවත්වීම තමයි වැදගත් වෙන්නෙ. පොළොවෙ පය ගහලා කටයුතු කිරීම කළොත් ජීවිතය සංකීර්ණ වෙන්නෙ නැහැ. අනුන් කියන දේ කරනවාට වඩා තමුන් හිතලා ජීවිතයේ හරිම දේ කිරීම තමයි මගේ සැළසුම.

සඳුන් ගමගේ