මම පොළොවෙ පයගහලා කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙන කෙල්ලෙක්
වයස අවුරුදු 17 දී තනියම කොළඹට ඇවිත් කලා ක්ෂේත්රයට එක්වූ ඇය, පසුව එයින් ද මිදී ව්‍යවසායිකාවක් බවට අද දවසේදී සාර්ථක ගමනක යෙදෙන්නේ මෙරට කාන්තාවන්ට හා කලාකාරිනියන්ට පාඩමක් කියා දෙමිනි. දකුණුලක මාතරෙන් කොළොම්තොටට ආ මේ රුවැත්තිය නමින් රුවන්ගි වීරසිංහ වන්නීය. ඇය තමන්ගේ ගමන් මග ‘සඳැල්ල’ට කියාපෑවේ මෙලෙසිනි.
“මම පවුලේ එකම දරුවා. මම ලොකු කට්ටක් කාලා නැගිට්ට කෙනෙක්. ගොඩාක් දුක් විඳලා තියෙනවා. කොළඹට එද්දි මට වයස අවුරුදු 17යි. දැන් මට වයස 28ක් වෙනවා. මේ කොළඹ මාව වෙනස් කළා. මගේ ජීවිතේට පාඩම් කියලා දුන්නා. මිනිස්සු ගැන කියලා දුන්නා. මගේ ලෝකෙම වුණු තාත්තා ගිය අවුරුද්දේ නැති වුණා. අද අම්මයි මමයි හොඳින් ජීවත් වෙනවා.
අම්මයි තාත්තයි ඉන්නකම් එයාලට උපරිම සලකලා, උපරිම සැපෙන් තියන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉස්සර මම ටෙලිනාට්‍ය, චිත්‍රපට කිහිපයකම රඟපෑවා. නිරූපිකාවක් ලෙසත් වැඩ කළා. ඒත් කාලයත් එක්ක ඒවා බොරු වැඩක් කියා වැටහුණා. දක්ෂ කෙනෙක්ට එතැන තැනක් නෑ. වෙන දේවල් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
අද මම ව්‍යාපාරිකාවක්. මගේ ළඟ සේවකයෝ 20ක් වැඩ කරනවා. මම මේ තැනට එන්න මේ කොළඹ බඩගින්නෙත් ඉන්න ඇති ඕනෑ තරම් දවස්. මගේ ජීවිත කතාව කිව්වොත් මේ අවුරුදු 28ක නවකතාවක් ගහන්න පුළුවන්. ඒ තරමට අත්දැකීම්, ජීවිතේ පාඩම්, පසුතැවීම් තියෙනවා. ඒත් ඒ කාලය දෙස ආපසු හැරී බලද්දී මට මා ගැන සතුටුයි. මොකද මම තනි කෙනෙක් හැටියට ගහපු ගේම් එකට. මම අද වන විට රටවල් 6ක ගිහින් තිබෙනවා. මගේම තට්ටු දෙකක නිවෙසක් හදාගෙන යනවා. මගේ ව්‍යාපාරයක්, වාහනයක් තියෙනවා.
ඉදිරියේදී මාතර ජීවත් වෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ. කොළඹ මම මටම කියලා ඉඩමක් අරන් තියෙන්නේ. එහි අම්මත් එක්ක ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ. ඉදිරියේදී මම හොඳ ව්‍යාපාරිකාවක් වේවි. කලාවට නම් අඩියක්වත් තියන්නේ නෑ. මට අවශ්‍ය ලංකාවේ හොඳ ව්‍යාපාරිකාවක් වෙන්නයි.
ආදරය, විවාහය ජීවිතයට අවශ්‍යයි. ඒත් දැන්ම විවාහ වෙන්න අදහසක් නෑ. මොකද ඊට වඩා මට මගේ ව්‍යාපාර වටිනවා සහ දියුණු වෙන්න ගටක්, මොරාල් එකක් තියෙනවා. නිතරම මගේ ඇඟේ දුවන්නේ තැනකට එන්න ඕනෑ කියන දේ. අපිව පහළට ඇදලා දාපු, අපිව කොන් කරපු, අපිව ප්‍රතික්ෂේප කළ ගමේ මිනිස්සු මට තවම මතකයි. අපිට හිනා වුණු විදිහ තවම මතකයි. අද ඒ හැමෝටම වඩා මම තැනක ඉන්නවා. හැමෝටම කියන්න තියෙන්නේ ‘ගහපන් මැච් එක රිදෙන්න’ කියලා තමයි. මගේ ටාගට් එකක් තියෙනවා, අවුරුදු 30–35 වෙද්දී මගේ ව්‍යාපාරය හොඳටම දියුණු කරන්න. ඒකට මම මේ දවස්වල මහන්සි වෙනවා.
හැමෝටම හිතෙන්නේ මාව දැක්කම හොඳට වාහන පැදලා පොෂ් විදිහට ඉන්න, සල්ලි තියෙන කෙල්ලෙක් කියලයි. ඇත්තටම තියෙනවා. ඒත් ඒවා ගොඩාක් දුක් විඳලා හම්බ කරපු සල්ලි. මගෙ බොරු සෝබන නෑ. මම පොළොවේ පය ගහලා කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන කෙල්ලෙක්. අවුරුදු 17 ඉඳලා අපේ පවුල නඩත්තු කළේ මමයි. මම හැමදේම කළේ කොල්ලෙක් වගේ. කෙල්ලෙක් වුණාට මගේ හිත මාර හයියයි. කවදාවත් වැටෙන්නේ නෑ. ඉස්සරහට හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.”
සමන්ත යහම්පත්