මම ප්‍රේමවන්තයෙක් නෙමෙයි. එක්කෙනකුට කියලා මගේ විශේෂ ආදරයක් නැහැ
තරුණ නිර්මාණකරුවකු වන වාසවබදුගේ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘“ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයට මේ දිනවල සිනමාහල්වල තිරය ඇරී අවසන්. එහි ප්‍රධාන චරිත මවන ශනුද්‍රි නෙත්මි සමග තුන්කොන් ප්‍රේමකතාවේ ප්‍රධාන චරිතය වන රාහුල් අද අපේ කතාබහට එකතු කර ගන්න සිතුවා. සිනමාවට අලුත් වුණත් වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වුණු මේ කඩවසම් රුව තමයි රාහුල් වරාවිටගේ.
හැමෝම අහන කවුද මේ රාහුල්?
ඇත්තටම මම කලාවට අලුත් කෙනෙක්. මගේ උපන් ගම කොළඹ. පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි. මල්ලිත් කලාවට සම්බන්ධයි. එයත් මියුසික් වීඩියෝ කරපු කෙනෙක්. ඔහු රකිත් වරාවිටිගේ. මල්ලිගෙයි මගෙයි පෞද්ගලික ව්‍යාපාරයක් තියෙනවා. ඒ අතරතුර තමයි මම කලාවට සම්බන්ධ වුනේ.
රාහුල්ට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොතනින්ද?
නළුවෙක් වෙන්න කියන එක මගේ හීනෙකවත් තිබුණ දෙයක් නෙමෙයි. මේ පාර කැපුනේ මට අහම්බෙන්. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ඕස්ට්‍රේලියා ගියා. ඕස්ට්‍රේලියාවෙදි මගේ යාළුවෙක් මියුසික් වීඩියෝ එකකට කතා කළා. මම ඒ අවස්ථාව කීප වතාවක්ම ප්‍රතික්ෂේප කළා. ඇත්තටම මට රඟපාන්න තේරෙන්නේ නැති නිසා. ඒ යාළුවාගේ බල කිරීමට අවසානයේ ඒ මියුසික් වීඩියෝ එකට පෙනී හිටියා.
ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ‘උණුසුම 2’ ටෙහාන් පෙරේරාගේ මියුසික් වීඩියෝ එකට රංගනයෙන් දායක වුණා. උණුසුම 2 කියන ගීතයේ මියුසික් වීඩියෝ එකෙන් තමයි මුලින්ම ප්‍රේක්ෂකයෝ මාව අඳුර ගත්තේ.
ඊට පස්සේ මට වෙළඳ දැන්වීම් රැසකට ආරාධනා ආවා. ඇත්තටම මේක මම හිතලා ආපු ගමනක් නෙමෙයි. කලාවට කියලා මම ආස කළේ චිත්‍ර අඳින්න විතරයි. ඒ ඇරෙන්න දැන ගත්තේ මියුසික් වීඩියෝ හරහා.
ආදරණීය ප්‍රාර්ථනා රාහුල්ගේ ප්‍රථම සිනමා අත්දැකීමද?
ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ දෙවන චිත්‍රපටය. ඊට කලින් චිත්‍රපටයක අතුරු චරිතයක් කළා. ඒත් මාව ප්‍රේක්ෂකයෝ අඳුර ගන්නේ මාව ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ආදරණීය ප්‍රාර්ථනා සිනමා නිර්මාණයෙන්.
ඔබේ කුළුඳුල් නිර්මාණය ආදරණීය ප්‍රාර්ථනා කොයිවගේ අත්දැකීමක්ද ගෙන දුන්නේ?
මට මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ වාසවබදුගේ මහත්මාගෙන්. ඔහුගෙත් පළමු චිත්‍රපටය. මට මේ නිර්මාණය වෙනස්ම අත්දැකීමක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ නමත් රාහුල්. මගේ නමත් රාහුල්. පිටපත අතට ලැබුණම මට තවත් රාහුල් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන අභියෝගය දැනුණා. විශේෂයෙන් කියන්න ඕන ශනුද්‍රි සහ නෙත්මිගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම නවකයෙක් විදිහට ඒ අයගෙන් වගේම කණ්ඩායමේ සියලුම දෙනාගෙන් ලැබුණු සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇත්තටම මේක කරේ අභියෝග රැසක් එක්ක. 2019 තමයි ආදරණීය ප්‍රාර්ථනා රූපගත කිරීම් ඇරඹෙන්නේ. මේ චිත්‍රපටය තිරයට ගේන්න අවුරුදු 3ක කාලයක් ලංකාවේ ඇතිවූ විවිධ ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණ දුන්නා. කොරෝනා ප්රශ්නය තදින් බලපෑවා. ඒ සෑම තැනකදීම අපි කණ්ඩායමක් පවුලක් විදිහට එකට හිටියා. වාසවබදුගේ අයියාට ස්තුති කරනවා නවකයෙක් විදියට මාව ඒ චරිතයට තෝරගෙන ලබා දුන් මේ අවස්ථාවට.
කොහොමද රාහුල්ගේ තුන්කොන් ආදරයට ලැබෙන ප්‍රතිචාර?
මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙන්න කලින් විදෙස් තිරගතවීම් කිහිපයක්ම සිදුවුණා. ඒ හරහාත් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ලංකාවේ තිරගත වූ දා ඉඳලා මේ දක්වා හිතා ගන්න බැරි තරම් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. විශේෂයෙන් මම අලුත් මුහුණක් නිසා මාව දිරිමත් කරන අදහස් පණිවිඩ ගොඩක් එනවා.
ඒ රාහුල්ව මේ රාහුල්ට දැණුනේ කොහොමද?
මේක තුන්කොන් ප්‍රේමයක්. මේ චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයා චිත්‍රපටය ආරම්භයේදී නම් රාහුල්ට කැමති වෙන්නේ නැහැ. ඒ රාහුල්ව මට නිරූපණය කරන්න ලැබුණාම මේ සමාජයේ එහෙම රාහුල්ලා ඕන තරම් ඇති කියලා මට හිතුණා. ආදරය කියන කාරණාව ඇරෙන්න ඒ රාහුල් මේ රාහුල්ට ගොඩක් දේවල්වලදී සමානයි. වාසවබදුගේ අයියා පිටපතට සමහර තැන්වලට අරගෙන තිබුණේ මගේ ස්වරූපයේමයි. මම චිත්‍ර අඳින්න ආසයි. සින්දු අහන්න ආසයි. ඒවා ඒ රාහුල්ට ගලපලා තිබුණේ මගෙන් අරගෙන. මාත් එක්ක ගත්තාම වෙනස් වෙන්නේ රාහුල්ගේ ආදර කතාව විතරයි.
ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර අතර ජීවිතවලට සිදුවෙලා තියෙන සත්‍ය කතා සමහර අය පෞද්ගලික කමෙන්ට් හරහා අපිට එවලා තියෙනවා. ඒ සමහර කතා ඇහුව්වාම පුදුමත් හිතෙනවා. ෙම් දවස්වල අපි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට යනවා. ඒ අතරතුරදී දැකපු දෙයක් තමයි චිත්‍රපටය බලලා ගොඩක් අය එළියට එන්නේ අඬ අඬා. මේ චිත්‍රපටය බලපු ගොඩක් දෙනා තම තමන්ගේ පෞද්ගලික තනා අත්විඳපුවා මැසේජ් හරහා කියනවා. ඒ කතා ඇහුව්වාම ඇත්තටම පිස්සු හැදෙනවා.
ඔට්ටුයි ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ අඬන්නැතුව බලන්න බැරි චිත්‍රපටයක්.
අලුත් නිර්මාණවලට රාහුල්ට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවද?
ආරාධනා කීපයක් ඇවිත් තියෙනවා. ඒවා තාම සාකච්ඡා මට්ටමේ යනවා. ඇත්තටම මම මෙගා නාට්‍යවලට නම් කැමති නැහැ. වැඩිපුරම කැමති සිනමාවට.
නැවත රාහුල් අධ්‍යාපන කටයුතුවලට විදේශගත වෙන්නද බලාපොරොත්තුව.
නැහැ. මම ලංකාවට ආවෙම අධ්‍යයන කටයුතු අවසන් කරලා. ලකාවේ ප්‍රශ්න ඇති වෙන්න තිබුණත් මේක මගේ රට. අපි දෙයක් කරනවා නම් කරන්න ඕන මගේ රටට. ඒ නිසා නැවත විදේශගත වෙන්න බලාපොරොත්තුවක් නැහැ.
ඉතින් කියන්නකෝ මේ රාහුල්ගේ ආදර කතා කොහොමද කියලා.
මම ප්‍රේමවන්තයෙක් නෙමෙයි. එක්කෙනකුට කියලා මගේ විශේෂ ආදරයක් නැහැ. දෙමාපියන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය විඳිමින් ඉන්න මම හැමදාම ආදරවන්තයෙක් තමයි.
නදීශා අතුකෝරළ / ඡායාරූප - කසුන් වර්ණසූරිය