මම නම් හිතන්නේ ඇඳුමකින් කෙනෙක්ව මනින්න පුළුවන් කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රාර්ථනා සෙවිවන්දි  වර්තමානයේ රංගන ක්ෂේත්‍රයෙන් සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක්, වගේම නිරූපිකාවක්. 2018 වසරේ මිස් ශ්‍රී  ලංකා? තරඟාවලියේ ජයග්‍රහණයත් සමග ක්ෂේත්‍රයට  පැමිණි  ඇය මේ දක්වාම ඔබේ ආදරේට නොඅඩුව පාත්‍ර වන්නියක්.  මෙවර ෆැෂන් පිටුව සරසන්න ඇයට  ආරාධනා කළෙමු.

විලාසිතා කියන විෂය ඔබ දකින්නේ කෙසේ ද?

මම හිතන්නේ විලාසිතා කියන්නේ අපගේ සුන්දරත්වය වැඩි කරල පෙන්නන්න උදව් කරන දෙයක්. ඒ නිසාම විලාසිතා කියන දේ නිවැරදිව තෝරා  බේරාගෙන අපගේ පෞරුෂයට ගැළපෙන විදිහට කළ යුතුයි..... එසේ නොවුන හොත් ඇතැම් විට අප කරන විලාසිතා අන් අයගේ  සිනාවට පවා ලක්වීමට පුළුවන්.

විලාසිතා කියන්නේ ඇඳුම් පැළඳුම් විතරමද?

නැහැ. විලාසිතා කියන්නේ අපගේ සිතිවිලි අදහස් පෙන්නන තවත් කැඩ පතක්. අඳින පළඳින විදිහ වගේම අපි කතාබහ කරන විදිහ, කන බොන විදිහ, ඇවිදින විදිය, හැසිරෙන විදිය, මේ හැම දෙයක්ම අප පුරුදු පුහුණු වුණ විලාසිතාවක් විදිහටයි මම දකින්නේ.

ඔබට වඩාත්ම ගැළපෙන විලාසිතාව කුමක්ද?

මම ගොඩක්ම ආසයි   දිග ගවුම්වලට. මගේ උසත් එක්ක ඔසරියත්  මට ගොඩක්ම ලස්සනයි.... ඒ නිසාම මනාලියන් හැඩ ගැන්වීමේ  ෆොටෝශුට්  කිරීමේදී වැඩිපුරම මට ආරාධනා ලැබෙන්නේ  ඔසරි විලාසිතාවන්වලට.

විලාසිතා කිරීමේ දී වැඩිපුරම කැමති පාට?

රෝස පාටට කහ පාටට මම ගොඩක් ආසයි. විශේෂයෙන්ම මගේ සමේ පැහැය පැහැපත් කරවන පාට තමයි මම වැඩිපුරම තෝරා ගන්නේ.

අන් අය ඔබ කරන විලාසිතා අගය කරන්නේ කොහොමද?

මාව දකින හැමෝම කියන්නේ හරිම චාම්.... ඔයා කරන විලාසිතා දැක්කහමත් ආසයි කියලා.

විලාසිතා කිරීමේ දී යම් කෙනෙකු අනුගමනය කරනවද?

විලාසිතා කියන විෂයයට මම බොහොම කැමති කෙනෙක්. ලංකාවේ වගේම ලෝකයේ බොහොම ප්‍රසිද්ධ චරිත විලාසිතා කරන විදිහ මම බොහොම ආසාවෙන් අධ්‍යයනය කරනවා.....කාලේ තාලෙට වෙනස්වන විලාසිතා ගැන  අවදියෙන්   ඉන්න කෙනෙක් .......ලංකාවේ විලාසිතා කරන රංගන ශිල්පිනියන්ගෙන්  තරුකා වන්නිආරච්චි  කරන  විලාසිතා වලට ගොඩක්ම කැමැතියි.....

ඔබ බොහොම ප්‍රසිද්ධයි මනාලියන් නිරූපණය කිරීමට?

ඔව් දැනට මම නිරූපණ වෘත්තියේදී මනාලියක් ලෙස ට දෙසිය වතාවකටත් වඩා වැඩි ප්‍රමාණයක් හැඩ ගැන්වී තිබෙනවා. එලෙස නිරූපණය වෙනුවෙන් ඇඳපු සෑම මංගල ඇඳුමකටම   ඉහළම ඉල්ලු‍මකුත් ලැබී තියෙන බව දැනගන්න ලැබිලා තියෙනවා....

ඔබ කරන විලාසිතා  අන් අය  අනුකරණය කරන බව දැන ගන්න ලැබිලා තියෙනවද?

ඔව්. මම රංගන ක්ෂේත්‍රය කරන ඇතැම් විලාසිතා වගේම නිරූපණ ක්ෂේත්‍රයේ  කරන විලාසිතා බොහෝ තරුණියන්  අතර ප්‍රසිද්ධයි.

විලාසිතාවකින් ඔබට යම් වටිනාකමක් එක්කර ගත හැකියි කියලා විශ්වාස කරනවාද?

මම හිතන්නේ අප යම් විදිහකට වටිනාකමක් ගොඩනඟා ගෙන තියෙනවා නම්, ගෝනියක් ඇන්දත් ඒක හරිම ලස්සන වටින දෙයක් විදිහට පිළිබිඹු වෙනවා කියලා. ඒ හැරෙන්න විලාසිතාවක් කළ පමණින් අපට වටිනාකමක් එක් වෙන්නේ නැහැ.

ඇඳුමකින් කෙනකු මනින්න පුලු‍වන්ද?

මම නම් හිතන්නේ ඇඳුමකින් කෙනෙක්ව  මනින්න පුළුවන් කියලා. මොකද කෙනෙක් විලාසිතා කරන්නේ තමන්ට පුළුවන් විදියට. තවත් කෙනෙක් විලාසිතා කරන්නේ කැපී පෙනෙන්න. තවත් කෙනෙක් විලාසිතා කරන්නේ සමාජ තත්ත්වය පෙන්වන්න. ඒ නිසා ඇත්තටම විලාසිතා කරන විදිහට අපිට කෙනෙකු මනින්න අමාරුයි.... ඇඟ පසඟ වැසෙන විදිහට විලාසිතා කරපු කෙනෙක් සංවර කෙනෙක් විදියට වත්, ශරීරය යම් විදිහකට  ඇරලා විලාසිතා කරන කෙනෙක් නරක විදියටවත්  හංවඩු ගහන්න බැහැ. වෙන් කරන්න බැහැ.

ගැලපෙන විදිහට විලාසිතාවක් කළහම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නෙ?

හිතට හරිම සතුටක්. ඇත්තටම විලාසිතාවක් කියන්නේ කය ලස්සන කරනවා වගේම මනසත්  සතුටින් තියන්න පුළුවන් වන  දෙයක් .... ඒ නිසාම මම හිතනවා අපි මැරෙනකම්ම පුළුවන් විදිහට  ලස්සනට විලාසිතා කළ යුතුයි කියලා. මොකද අපේ මනස සතුටින් තියන්න එය උපකාරී වෙන නිසා.

ජීවිතේ ලස්සනටම සැරසුණු දවස?

හැමදාමත්  වගේ  මම ලස්සනට අඳිනවා. එ නිසා විශේෂ දවසක් සඳහන් කරන්න අමාරුයි.....ගැලපීම, පිරිසිදුකම, පිළිවෙළ කියන දේ හැමදාමත් මගේ විලාසිතා වල තියෙනවා.....ඒ නිසා මට හිතෙනවා මං හැමදාමත් ලස්සනට අඳිනවා කියලා.

ඔබ අභරණ පලඳින්න කැමති කෙනෙක් ද?

මොන විදිහට විලාසිතා කළත් ආභරණ වැඩිපුර පළඳින්න මම කැමැති නැහැ. නිතර මේකප් කරන එක, ලොකු ලොකු ආභරණ පලඳින එක මට දැනෙන්නේ ශරීරයට බරක් විදිහට.

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිහ කොහොමද මතකයේ තියෙන්නෙ?

එන එන විලාසිතා නොකළාට අම්මා පුළුවන් විදිහට පුංචි කාලෙදි බොහොම ලස්සනට මට  අන්දලා තිබුණා. අම්මත් හරිම චාම් විදියට හැමදාම ලස්සනට අඳින කෙනෙක්....ඇගේ ආභාෂය තමයි අදටත් මට ලැබී තියෙන්නේ....පුංචි කාලේ ඉඳලම අම්මගෙ පුරුද්දක් තමයි මම ඇඳපු හොඳ තත්වෙ තියෙන ඇඳුම් වෙනත්  කෙනෙකුට දීලා බොහොම සතුටු වෙන එක. අදටත් අම්මා මම අදින ඇඳුම් ....ටික දවසකින් හොඳම තත්වයේ තියෙන ඒවා අන් අයට දෙනවා......   අන් අයට දීලා ඇය බොහොම සතුටක් ලබනවා .....

අසුන්තා එදිරිසූරිය