මම නිතරම මිනිස්සු කියන දේ කරන්න යන කෙනෙක් නෙවෙයි
ජනිත් වික්‍රමගේ ගැන ආයෙ අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැනේ. පවුලෙන්ම දායාද වූ හැකියාව සමග රංගනයට, නිවේදනයට, නර්තනයට යන අංශ කීපයකටම දක්ෂ වූ මේ දක්ෂයා අපට මේ දිනවල හමුවන්නෙ, තිරගතවන ‘‘ද ගේම්’’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සමගය. එහි පොලිස් නිලධාරියකු ලෙස රංගනයේ යෙදෙන ජනිත් සමග අපි කතාබහකට එක් වෙමු.
ජනිත් මේ දිනවල කොහොමද වැඩ කටයුතු?
මේ දවස්වල විශේෂයෙන්ම වෙන්නෙ ‘‘ගේම්’’ තමයි.
ඒ කිව්වෙ?
‘‘ගේම්’’ චිත්‍රපටය තිරගත වෙනවනෙ. ඒකෙ ප්‍රචාරණ වැඩ ආදී සියලු දේට සම්බන්ධ වෙනවා. චිත්‍රපටයක රඟපෑම තරම් දෙයක් මට තවත් නැහැ. මට වැදගත්ම දේ සිනමා රංගනයයි. ඉතින් රඟපෑ නිර්මාණයක ප්‍රචාරණ කටයුතුවලටත් දායක වෙන්නෙ ඊට තියෙන ආසාව උනන්දුව නිසාමයි. ඊටත් අමතරව අලුත් චිත්‍රපටයේ වැඩවලට සූදානම් වෙනවා. ඒ හැර ‘‘ගේම්’’ චිත්‍රපටයේ අධ්යක්ෂ සුරංග ද අල්විස් අයියා එක්ක මේ අවුරුද්දෙ තවත් චිත්‍රපටයක් කරන්න යනවා. ඒකටත් සූදානම් වෙනවා. ඒ ඔක්කෝටම අමතරව නිවේදනයෙන් දායක වන වැඩසටහන සුපුරුදු විදියට කරගෙන යනවා.
ජනිත් ඇයි වෙනත් අංශවල දකින්නට නැත්තෙ? ටෙලිනාට්‍ය අංශයේ?
මම පුද්ගලිකව හිතන විදියට, වෘත්තීයමය විදියට චිත්‍රපට රංගනය කරනවා නම්, වෙනත් වෘත්තියක නියැලෙන්නට තරම් කාලය අඩුයි. අපි ඒක අවංකවම කරනවා නම්, ස්වභාවය ඒ විදියයි. සමහර පිටරටවල සිටින නළුවන් වසරකට චිත්‍රපට එකක් හෝ දෙකක රඟපාන්නෙ ඇයි කියන දේ අද මට තේරෙනවා. හරිම විදියට කරනවා නම්, වසරකට එක් චිත්‍රපටයක් රඟපෑවාම ප්‍රමාණවත්. කාලයක් මම ටෙලි නාට්‍ය එක දිගට රඟපෑවා. ඉතින් වයසයි, කාලයයි එක්ක දැනට මට හිතෙන්නෙ මම අද ගත්ත තීරණය හරි කියලයි. වෘත්තීය සිනමා නළුවකු ලෙස ඒ අංශයට කැපවීමට මම කැමතියි. ලංකාව ඇතුළෙ නළුවකුට ලැබෙන බොහෝ අවස්ථා මට ලැබුණා. අදටත් ලැබෙනවා. ඒකට හේතුව මම ඒ විෂයයට කරන කැපවීම සහ උනන්දුව නිසයි.
ඒත් මොන විදියට ගත්තත්, මේ අංශය ස්ථාවර නැහැ වගෙයි නේද? වෙනත් රස්සාවක් කරන අතරේ, රඟපෑවා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
මොන දේ කළත්, අවසනයේදී ජීවිතය අපි විඳින්නෙ හෝ විඳවන්නෙ අපි කරන කියන දේ එක්කනෙ. යම්කිසි වෘත්තියක නියැලීමෙන් කරන්නෙ ‘‘සල්ලි’’ හම්බ කිරීම විතරක් නෙවෙයිනෙ. කරන දෙයින් තෘප්තිමත් වීමනෙ. ඉතින් මේ සිනමා නළු වෘත්තිය වෙතින් මාත් හරියට සතුටු වෙනවා. ඒක මුදලට ගන්න බැරි සතුටක්. පොඩි කාලයේ ඉඳලාම තව කෙනෙක් මාව හිර කරනවාට මම කැමති නැහැ. ඒ නිසාම තමයි විවාහය පවා ප්‍රමාද. නිදහස් ජීවිතයට බැරියර් දාගන්න කැමති නැතුවා වගේම තවත් කෙනෙක් යටතේ ජොබ් එකක් කරන්න බැරි ප්‍රශ්නයකුත් මට තියෙනවා. අනෙක රංගන වෘත්තිය තරම් ඉගෙන ගෙන කරන්න ඕනැ ජොබ් එකක් නැහැ. මේක ඉගෙන ගත්තත් කරන්න අසීරු ජොබ් එකක්. මොකද අපි නිතර ගනුදෙනු කරන්නෙ මිනිස්සු එක්ක, එයාලගෙ අදහස් හැඟීම් එක්ක. ‘‘නළුවකුට’’ අවශ්‍ය වෙන්නෙ උස, සුදු, මහත කියන එකට වඩා ඔහුගේ ප්‍රමාණයේ හැටියට ඔහු රඟපාන චරිතය ඔස්සේ ප්‍රේක්ෂකාගාරයක් ඇමතිය හැකිද යන්නයි. ඒ ‘‘පවර්’’ එක තියෙන කෙනා තමයි, නළුවා වෙන්නෙ. ඒක එහෙම ලෙහෙසියෙන් ලබා ගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. යම්කිසි අධ්‍යයනයක් ඔස්සේ ලබාගත යුතු දෙයක්. අද කාලයේ ප්‍රධාන නළු චරිතය සමග රඟපෑ සියලු දෙනා එක්ක ඔවුනගේ සහාය චරිතය ලෙස මම කටයුතු කරලා තියෙනවා. ඒ චරිතවලට මගේ සහාය චරිතයෙන් තවත් ගැම්මක් මිසක අයහපතක් වෙලා නැහැ. එදා මම කුඩා කාලයේදී අපේ අම්මා අතේ මගේ සමරු පොත යැව්වෙ, රන්ජන් රාමනායක මහතාගේ අත්සන අරන් එන්න කියලයි. ඒ දවසෙ ඉඳලා මට ජීවිතය මතකයි. එදා රන්ජන් මහතා කතා කළ විදියෙ ඉඳල අද දක්වා ආ ගමන මට හොඳට මතකයි.
උඹ ඒක මරුවට කරලා තියෙනවනෙ කියලා, මම රඟපෑ චරිතයක් දිහා බලලා රන්ජන් අයියාම මට කියද්දී පුදුම සතුටක් දැනෙන්නෙ. මම ලංකාවේ වැඩ කරන්නම ආසාවෙන් හිටපු චරිතයක් වගේම, අද වන විට සුරංග අයියා සහ මාව තදින්ම විශ්වාස කරන සමීපතමයින් බවට රන්ජන් අයියා විශ්වාස කිරීමම ලොකු දෙයක්.
මෑතකදී ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ, උපන් දිනය දවසෙ පෝස්ටුවක් පළ කරලා තිබුණා. අම්මයි - තාත්තයි - මල්ලියි එක්ක. ‘‘මේ තමයි මගේ ජීවිතය කියලා’’ ඇයි එක පාරටම ඒ විදියට කියන්න හිතුවෙ?
මම හිතන විදියට කෙනෙක්ට මුලින්ම ලොකු වෙන්න ඕනැ, දැනෙන්න ඕනැ තමුන්ගෙ පවුල. අපෙ අම්මා සහ තාත්තා මාව මෙච්චර උස්මහත් කරන්න කොච්චර නම් කැපවුණාද කියන එක මම හොඳින්ම දන්නවා. තාත්තගෙයි, මල්ලිගෙයි, මගෙයි ජීවිතයේ මුල් තැන තියෙන්නෙ ‘අම්මට’. අපි තුන්දෙනාගෙ ඉහළම ගෞරවය තියෙන්නෙ අම්මට. රංගනයේදී, ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යුවළගේ පුතා කියනවාට වඩා, ජනිත් වික්‍රමගේ කියලා මගේම සළකුණ තැබීම මගේ අරමුණයි. අද ඒක සඵල වෙලා තියෙනවා.
විවාහය’’ කියන මාතෘකාවෙන් ඔබට පැනලා යන්න බැහැනෙ. අද වනවිට ඔබගෙ මල්ලිත් විවාහකයි. ඇයි ජනිත් විවාහයට බයද?
බයක් නෙවෙයි, මම නිතරම මිනිස්සු කියන දේ කරන්න යන කෙනෙක් නෙවෙයි. ඇයි උඹ බඳින්නෙ නැත්තෙ? ඇයි ළමයි හදන්නෙ නැත්තෙ? ඒ වගේ ප්‍රශ්න තව කෙනෙක්ට මොකටද? එහෙම වෙන මිනිස්සු කියන විදියට අපි ජීවත් විය යුතු නැහැ. සමහර දවස්වලට ෂූටිං ගියාම අපට අම්මට – තාත්තටවත් කතා කරන්න වෙලාවක් නැහැ. සහකාරියක් කවදාවත් ඒක ඇත්තක් විදියට පිළිගන්න එකක් නැහැ. ඒ නිසා ඒ අසාධාරණය තව කෙනෙක්ට කරන්න මම කැමති නැහැ. ජීවිතයේ සෑම දෙයක්ම සාපේක්ෂයි. තනිකඩව ඉන්න කෙනාට ජීවිතය හොඳයි කියලා කියන්න පුළුවන් වගේම විවාහ වූ කෙනාට ජීවිතය සුන්දරයි කියලා කියන්නත් පුළුවන්. සියලු දේ සාපේක්ෂයි. ඒ වගේම අපි අහලා තියෙන දේ තමයි. ‘‘අනෙ අම්මෙ මම විවාහ නොවී හිටිය නම් හොඳයි’’ කියලා බැඳපු අය කියන එක. ඒ නිසා සෑම දෙයක්ම අත්හැරලා දාලා යන මිනිස්සු හැටියට හොඳම දේ කිරීම තමයි පරමාර්ථය කරගත යුත්තෙ. අපි හරි විදියට ජීවත් වුණොත් ස්වභාවධර්මය හරිම දේ අපට ලබා දේවි.
කොහොම වුණත්, ජනිත් මේ දක්වා විවාහ නොවුණත්, පෙම්වතියක් හිටියෙ නැහැ කියලා කියන්න බැහැනෙ. පෙම්වතියන් කීදෙනක් ඉඳලා තියනෙවද?
සම්බන්ධතා තිබුණෙ නැහැයි කියලා මම කියන්නෙ නැහැ. ඒත් ඒවා ගැන ලෝකයට නොකියන්න හේතුව තමයි, ඒ අනෙක් පාර්ශවයට ඒක හොඳ නැහැනෙ. එයා අරයා එක්කනෙ මීට ඉස්සෙල්ලා යළුවෙලා හිටියෙ කියලා කාන්තාවකට අහගන්න ලැබෙන එක හොඳ දෙයක් නෙවෙයි. පෙම්වතකු - පෙම්වතියක් ගැලපෙන්නෙ නැත්නම්, අයින් වෙනවා. ඒත් චරිතයට හානියක් නොකළ යුතුයි. මම විශ්වාස කරන්නෙ එහෙමයි. ඒ හැරත් නළු නිළියන් ලෙස ඒවා ප්‍රසිද්ධ කළාමත් මඩගහන්නෙ අපටමනෙ. මම යාළුවෙලා හිටිය කාන්තා පාර්ශ්වයට හානියක් වෙනවට මම කැමති නැහැ.
‘‘ජනිත්’’ මේ වනවිට ගහපු හොඳම ‘‘ගේම්’’ එක මොකක්ද?
ජීවිතය මේ දක්වා ගත කළ විදිය තමයි හොඳම ‘‘ගේම්’’ එක. ජීවත් වන සෑම මොහොතක්ම ගේම් එකක් වගේ තමයි. ඊයේ ජීවිතයට ලබා ගත්ත අත්දැකීම් අද ජීවිතයට ඉවහල් වෙනවා. සෑම මනුස්සයකුගෙම ජීවිත ‘‘ගේම්’’ එකක් තමයි. හැමෝම ජීවිතේ ගොඩ යන්න ගේම් එකක් ගහන්න තමයි හදන්නෙ. ඒක කාටවත් කරදරයක් නැතිව, අභියෝගයක් ලෙස බාරගෙන, නිවැරදිව ඒ අභියෝගය ජය ගැනීම තමයි වැදගත්.
‘‘ගේම්’’ ෆිල්ම් එකේ, ජනිත්ගෙ චරිතය ගැන කියමු?
මේ චිත්‍රපටයේ මම රඟපාන්නෙ S-I (ඉන්ස්පෙක්ටර්) අජේ නමැති චරිතය. ඉතාම ආසාවෙන් කළ චරිතයක්. ඒකට විශේෂම හේතුව වුණේ අනෙක් චරිතය රඟපාන රන්ජන් රාමනායක සුපිරි තරුව නිසයි. ඒක ෆ්‍රේම් එකේ එක සෙට් එකේ රඟපාද්දි නළුකම අමතක කරලා රඟපානවා නම්, ඒ ‘‘රන්ජන් රාමනායක’’ චරිතය එක්කයි. ඒ තරමටම එයා ඒ මොහොතේ සෙට් එකේදී ඊළඟට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැහැ. ඒ නිසා අපි බොහොම විමසිල්ලෙන් ඉන්නෙ, එහෙම නැතිවුණොත්, ටේක් එකේදි නාන්න තමයි වෙන්නෙ. සමස්තයක් ලෙස මේ චිත්‍රපටයේ රන්ජන් අයිය මට මාරම විදියට සහයෝගයක් දුන්නෙ. එයා පොඩි ළමයෙක් වගේ අපේ උපදෙස් පවා පිළිගන්න සහ අහගෙන ඉන්න කෙනෙක්. කාගෙන් හෝ ගතයුතු හරිදේ හොඳ දේ ගන්න කෙනෙක්. ‘‘ගේම්’’ මේ මෑත ඉතිහාසයේ ආව හොඳම වාණිජ චිත්‍රපටයක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ