මම දහඅට වතාවක් මුහුදට පැන්නා - ඇඳගෙන හිටපු ඇඳුම කිලෝ දොළහක් බරයි - උමාරා සිංහවංශ
උන්මාදනීය හඬ සංධ්වනියක අයිතිකාරිය උමාරා ඒ ඔබමය. ඔබ ඔබමය. ඔව් උමාරා ඔබ ඔබමය. සති දෙකකට එහා ඈත සිකුරාදා හැන්දෑවේදී උමාරා ස්ටූඩියෝහිදී මම උමාරා හමුවුණා ජූනි මාසේ 21 බදාදා ගැන කතා කරන්න. ඒ දවසේ හැන්දෑව, ඇයගේම හැන්දෑව, ලස්සන මතක ඇගේ මතක සමුදායට නොවැරදීම එකතු කරන දවසක්. ඉතින් උමාරා කතාබහේ සමාරම්භයට ඉස්සර ඔබත් එක්ක මට යන්න හිතෙන ගමනක් තියෙනවා. අපි යමු ත්‍රිකුණාමලයේ අර ලස්සන මුහුද යටට.
දවස් කීයක්, පැය කීයක්, තත්ත්පර කොච්චර කන්දරාවක් මුහුද යට, මුහුදු වෙරළෙ, ත්‍රිකුණාමලේ හිටියද මියුසික් වීඩියෝ එකක් වෙනුවෙන්?
දවස් තුනක් විතර. ඒක පුදුමාකාර කැපවීමකින් කරපු මියුසික් වීඩියෝ එකක් කිව්වොත් හරි.
මම හිතන්නෙ මෙතෙක් ලංකාවෙ මහ මුහුද යට කරපු පළවෙනි මියුසික් වීඩියෝ එක තමයි ඒ. මම හරිද උමාරා?
මම හිතන්නෙ හරි. මමත් හිතනවා මුහුද යට වීඩියෝ කරපු ඒ විදිහෙ පළවෙනි මියුසික් වීඩියෝ එක තමයි මම කළේ කියලා.
එහෙම වෙනස්ම දේවල් කරන්න, තව විදිහකින් කිව්වොත් අමුතු ජවයකින්, අමුතු ගැම්මකින් වැඩ කරන්න උමාරා කැමතියි කියලත් මට හිතෙනවා?
ඔව් මම හරිම ආසයි ඒ විදිහට වැඩ කරන්න.
ඇයි ඒ?
කවදා හරි වයසට ගිය කාලෙක මේ තමයි උමාරා කියලා මගේ දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන් නේද එතකොට. කොහොමත් මම අභියෝගාත්මක දේවල් කරන්න හරිම කැමති කෙනෙක්. එහෙම නැතුව ඒක ට්‍රෙන්ඩින් වෙයි කියලා, නැත්නම් Views වැඩි වෙයි කියලා හිතලා කරපු දෙයක් නෙමෙයි. මට එහෙම දේවල් නෙමෙයි හිතෙන්නෙ. වෙනස්, අමුතු, නිර්මාණශීලී දේවල් කරලා ඒකෙන් ජීවිතේ හැමදාම පවතින ආත්ම තෘප්තියක් ලබන්නයි හිතෙන්නෙ.
මුහුද යට ඒ විදිහට පීනන්න කොච්චර කල් විතර පුහුණු වුණාද?
මට සාමාන්‍යයෙන් පිහිනන්න පුළුවන්. ඒත් වතුර යට ඒ විදිහට පීනන්න සති දෙකක් තුනක් විතර පුහුණු වුණා. ගායිකාවක් විදිහට කොහොමත් මම හුස්ම ගැනීමේ අභ්‍යාස කරනවා. ඒත් වතුර යට විනාඩි තුන හතරක් හුස්ම අල්ලගෙන ඉන්න ඒ පුහුණුවේදි අභ්‍යාස කළා.
වතුර යට ගීතය ගායනා කරන්න තිබුණද?
ඔව්.. කටින් වතුර බුබුළු එන්නෙ නැතිවෙන විදිහට ගීතය ගායනා කරන්න තිබුණා. ඒක අමාරුයි. ඒත් මම ඒ වැඩේ ලස්සනට කළා.
මුහුද යටදි උමාරා ඇඳගෙන හිටපු ඇඳුමෙ බර කොච්චරද?
කිලෝ දොළහක් විතර.
කොහොමද වතුරෙ යට එච්චර බරක් දරාගෙන හිටියෙ?
වතුරෙදි ඒ ඇඳුම ලස්සනට යන විදිහට ඒ රූපගත කිරීම් කරද්දි ඒ ඇඳුමෙ බර මට දැනුණා. වතුර උඩට එද්දි තවත් බරයි. ඒත් අන්තිමට හරිම ලස්සන ප්‍රතිඵලයක් දකින්න පුළුවන් නේද කියලා හිතෙද්දි කිසිම දෙයක් මහන්සියක් විදිහට දැනුණෙ නෑ.
කවුද ඒ ඇඳුම නිමවූයේ?
මම තමයි සම්පූර්ණයෙන්ම ඒ ඇඳුම සැලසුම් කළේ. මගේ වෙනම කණ්ඩායමක් ඉන්නවා ඒවා මහන්න. ඒ අය තමා ඒ ඇඳුම් මැහුවෙ.
මතක් කරමුද ත්‍රිකුණාමලයෙ හිටිය දවස් තුනේදි ඒ මියුසික් වීඩියෝ එක වෙනුවෙන් වෙච්ච මහන්සිය?
වතුරට වැටෙන දර්ශනය දහඅට පාරක් විතර ගත්තා. මහන්සිය ගැන හිතන්නෙ නැතුව හිතට හරියන දර්ශනය එනකම්ම ගත්තා. වතුරට වැටෙන වැටෙන ගාණෙ ආයෙත් ඒ දර්ශනය ගන්න බෝට්ටුවට නගින්න ඕනෙ. හිතන්නකො දහඅට පාරක් විතර බෝට්ටුවට නගිනවා, වතුරට වැටෙනවා, ආයෙ නගිනවා.
කවුද උමාරා ඒ මියුසික් වීඩියෝ එකේ සංකල්පයේ අයිතිකාරයා?
උමාරා සිංහවංශ කියන මමම තමා.
කවුද එතකොට මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ?
මගේ දෙවෙනි අයියා. එයා ජාත්‍යන්තර මට්ටමේ DJ කෙනෙක්. සුබන්ද්රියෝ සිංහවංශ කියන්නෙ ඒ මගේ දෙවෙනි අයියා. මුහුද යට දර්ශනය ඇරුණම ත්‍රිකුණාමලයෙ තියෙන ලස්සන, මුහුද මැද තියෙන දූපත්වලට ගිහින් ඒවායේ තියෙන ලස්සන දර්ශන ඒ ගීතයට ඇතුළත් කළා.
එතකොට ගීතය ලිව්වෙ, සංගීතවත් කළේ?
ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව. සංගීතය හරීන්.
මුහුද යට මියුසික් වීඩියෝ එක කරද්දි කවුද උමාරාගේ පිටිපස්සෙන් ඉඳන් හයියක් වෙච්ච කට්ටිය?
මතක් කරන්නම ඕනෙ ඒක නම්. බ්‍රිටිෂ් කොස්මැටික්ස් තමයි මගේ රූපලාවණ්‍යමය අනුග්‍රාහකයා වුණේ. ත්‍රිකුණාමලයෙ සිනමන් ඡායා බ්ලූ හෝටලය අපට අනුග්‍රහය දුන්නා. මුහුද යට රූගත කිරීම් කරද්දි අපට යම් කරදරයක් වුණොත් අපි වෙනුවෙන් හිටියෙ දයා, ගාමිණී කියන දෙන්නා. නම් විදිහට කියද්දි අමතක වෙයිද දන්නෙ නෑ. ඒ හින්දා මෙහෙම කියන්නම්. ඒ වෙනුවෙන් උදව් කරපු හැම කෙනෙක්ම හරි ආදරෙන් මතක් කරනවා.
ඇයි ඉතින් අවුරුද්දක් ගිහිල්ලත් මේ මියුසික් වීඩියෝ එක අපිට බලන්න දෙන්නෙ නැත්තෙ?
ඒක මුහුද යට රූගත කිරීම් කරපු එකක් නිසා තාක්ෂණික ප්‍රශ්න, වීඩියෝ කොලිටි එක වගේ ප්‍රශ්න ටිකකුත් ආවා. ඒ වගේම කොරෝනා කාලෙ එහෙම එළියට දාලා වැඩක් නෑ කියලත් හිතුණා. හරි බලන් ඉන්නකො.. මේ පාර දෙනවා ඒ මියුසික් වීඩියෝ එක හැමෝටම බලන්න. ඒක විතරක් නෙමෙයි, හරි වෙලාවට ඒ මියුසික් වීඩියෝ එක එළිදක්වන විදිහට වැඩ කටයුතු යෙදුණා කියලයි මට හිතෙන්නෙ. ඉතින් ප්‍රමාදය මෙහෙම වෙලාවක නරකම නෑ නේද?
දැන් කතා කරමු අවුරුද්දකට පස්සෙ උමාරා කරන්න හදන ප්‍රසංගය ගැන. මට මතකයි ගිය අවුරුද්දෙ පාන්දර එකත් පහු වෙනකම් ප්‍රසංගය පැවැත්වුණා. ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි?
ඇත්තටම හැම අවුරුද්දකම ප්‍රසංගය කරන්න සැලසුම් කළෙත් ඒ ප්‍රතිචාර හින්දමයි. උමාරා මියුසික් ස්ටූඩියෝ ඇකඩමි සංවිධානය කරන One Mic Phase 3 ප්‍රසංගයට මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලේ ඉගෙන ගන්න තුන් දහසකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් දරුවන් විසි හතරක් තෝරාගෙන තියෙනවා. ඒ වගේම මෙතුන්, රිද්ම, ෆැලන් ඇන්ඩ්‍රියා, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් අපි එක්ක ඉන්නවා. FREEZE සංගීත කණ්ඩායම තමා සංගීතය මෙහෙයවන්නෙ. ඒ සංගීත කණ්ඩායමේ නායකයා මගේ සමීප ගෝලයෙක්. ඒ වගේම ඩැඩී සංගීත කණ්ඩායමයි මමයි එකතුවෙලා කරපු අලුත් ගීතයකුත් එදාට එළි දක්වනවා. BMICH හි ලෝටස් ශාලාවෙදි සවස 7ට තමයි ප්‍රසංගය ඇරඹෙන්නෙ. මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලේ 'Graduation Ceremony' එක එදා දවල්ට පවත්වනවා. ඊටපස්සෙ තමයි රෑ අපේ ප්‍රසංගය පවත්වන්නෙ. ඉතින් හැමදේම හරි ලස්සනයි.
උමාරා යමු ආයෙත් පුංචි කාලෙට. අභියෝග රසවිඳින හදවතක් ඔබට තියෙන්නෙ පුංචි කාලෙ ඉඳන්ම නේද?
ඔව්. පුංචි කාලෙ හැමදාම වැඩිම ඉස්පිරිතාල බිල අරන් එන්නෙ මම. එක්කො සඳලු තලයෙ ඉඳන් පනිනවා. නැත්නම් අම්මා වේලෙන්න දාලා තියෙන බෙඩ් ෂීට් එකක් ගැටගහලා ඒකෙ එල්ලිලා පනිනවා. ෆුට්බෝල්, රගර්, ඕවටත් හරි ආසයි. මම හැමදාම කීවෙ මම වැරදීමකින් තමයි ගෑනු ළමයෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ කියලා. තාත්තා කියනවා ඔයා ගෑනු ළමයෙක් වුණු හින්දා තමා මෙහෙමවත් අපිට පාලනය කර ගන්න පුළුවන් වුණේ කියලා. හැබැයි මගේ දඟ වැඩ ඔක්කොම තිබුණෙ හොඳ පැත්තකට මිසක් නරක පැත්තකට නෙමෙයි.
එතකොට ඔය දඟ වැඩ අස්සෙ අමුතු වැඩ තිබුණෙම නැද්ද?
එක දවසක් මම අමුතු පොල් සම්බෝලයක් නම් හැදුවා. අම්මා පොල් මිරිකලා අහක දාන පොල් රොඩු ටික අරගෙන ගඩොල් කුඩු දාලා, මල් දාලා, මිරිසුත් දාලා හදලා අපේ වටේපිටේ ගෙවල්වල අයට ගිහින් කන්න දුන්නා.
කොහොමද ඒ කාලෙ ගෙදර පිරිලා තිබුණු ආදරය ගැන මතක සටහන්?
ඇත්තටම අම්මා, තාත්තා, අයියලා දෙන්නා, මම සහ නංගි පුදුම සතුටකින්, ආදරයකින් ජීවත් වෙච්ච පවුලක් අපි. අම්මයි තාත්තයි දෙන්නම සංගීතයට සම්බන්ධයි. අම්මත් ගිටාර් එක ගගහා සින්දු කියනවා. අපේ අම්මා හරිම ශක්තිමත්, හරිම ලස්සන පෞරුෂත්වයක් අැති කෙනෙක්. අපි හැමදේම හරියට පිළිවෙළට කරන්න ඉගෙන ගත්තෙ අම්මගෙන්. අම්මගෙ හීනය වෙලා තිබුණෙ නංගියි මායි දෙන්නම මේ ක්ෂේත්රයට එකතු කරන්න. නංගිටයි මටයි උමාරා, උමාරියා කියලා නම් තියලා තියෙන්නෙ එහෙම හීනයක් හිතේ තියාගෙන. විදුලිය නැති කාලෙ අපි ඉටිපන්දම් පත්තු කරගෙන එළියට වෙලා මාර විනෝදයෙන් සින්දු කිව්වා. මගේ තාත්තට ඕනෙම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. තාත්තට එයාගෙ සංගීත කණ්ඩායමක් තිබුණා. අම්මා තමයි ඒකෙ ප්‍රධාන ගායිකාව. පුංචි කාලෙ ප්‍රසංග පුහුණුවීම්වලට එහෙම අම්මා යද්දි අපිවත් එක්කගෙන ගිහින් කිරි බෝතල් ටික අපේ කටේ ගහලා ඒගොල්ලො පුහුණුවීම් කළා. සංගීතය කියන්නෙ අපේ ආච්චිගේ ආච්චිගෙ පටන් පරම්පරාවල ඉඳන් අපේ ලේවල තියෙන දෙයක්. අදටත් මගේ ජීවිතේ හැම තැනකදිම ඒ අම්මා තාත්තා ඉන්නවා. ජීවිතේ පදම් කර ගන්න, අපිට අපි කවුද කියලා හඳුනගන්න පාර පෙන්නුවෙ ඒ දෙන්නා.
ඔබගෙ පළවෙනි ගීත පටිගත කිරීම් කළේ අවුරුදු කීයෙදිද?
මට අවුරුදු දහයයි. නංගිට අවුරුදු හයයි. ඉගෙනුම ලබන්න ලංකාවට ආවට පස්සෙ පාසලේදි ගීත ගායනා කළා. ඇත්තටම ඒ වෙනකම් මම දැනගෙන හිටියෙත් නෑ සිංහලෙන් සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි පුංචි කාලෙ ඉඳන් දමිළ ගීත, හින්දි, අරාබි, ඉංග්‍රීසි, ජපන්, චීන හැම සින්දුවක්ම, සංගීතයක්ම අපි ඇහුවා. ගෙදර තිබුණෙම සංගීත පසුබිමක් නිසා ඒ ආභාෂය ලැබුණා. අරුන්දතී ශ්‍රී රංගනාදන් මහත්මිය මාව යැව්වා ජාත්‍යන්තර තරගයකට. මම ලංකාවට ආවෙ සම්මාන දෙකකුත් අරගෙන. ඊටපස්සෙ කලාකරුවන් ගොඩක් එක්ක සාමය කියන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රසංගයක් අරගෙන අපි ලංකාව වටේම ගියා. අරුන්දතී ආන්ටිගේ පුතාට අරාබි ගීත ගායනා කරන කෙනෙක් අවශ්‍යයි කියලා හොයද්දි මම අරාබි ගීත ගයන්න පුරුදුවෙලා හිටපු නිසා ඒකට ඉදිරිපත් වුණා. අවුරුදු දාසයේදි විතර මට භාතිය සන්තුෂ්ව හම්බවුණේ ඒ ගමනෙදි. ඒ හමුවීමත් එක්ක තමා ඉදිරියට ආවෙ.
උමාරියාව ක්ෂේත්රයට ගේන්න අවංක කැපකිරීමක්, මහන්සියක් ගත්තෙත් උමාරියාමයි නේද?
මම ඒ කාලෙ යන යන තැන නංගිව එක්ක ගියා. අපි දෙන්නට අපි දෙන්නා නැතුවම බැරි කාලයක් තිබුණා. නංගි මගේ නැට්ට වගේ කියලා තමා ඒ කාලෙ කට්ටිය කිව්වෙ. නංගිට පුංචි කාලෙ එයාට ගායනා කරන්න බෑ කියලා ලැජ්ජාවක්, එහෙම ගායනා කරන්න ධෛර්යයක් නැති ගතියක් තිබුණා. හැබැයි ගෙදර ආවාම බෙරිහන් දිදී සින්දු කියනවා. ප්‍රසංගයක සින්දු කියද්දි නංගි හැම තිස්සෙම පිටිපස්සට යනවා. මම ආයෙම ඉස්සහට ඇදන් එනවා. එයා ආයෙම පිටිපස්සට යනවා. දවසක් වේදිකාවකදි මම නංගි හොඳටම කියන සින්දුවක් ගැන කියලා සංවිධායකවරයට කිව්වා මම කිව්වම ඒ ට්‍රුක් එක වාදනය කරන්න, එතකොට ස්පොට් ලයිට් එකක් ගහන්න කියලා. ස්පොට් ලයිට් එකක් ගැහුවම හාත්පස මොකුත්ම පේන්නෙ නැති තරම්. ඊටපස්සෙ මුකුත් වැඩිය පෙනුණෙ නෑ. එහෙම කරලා මම නංගිට කිව්වා දැන් ඇස් දෙක වහගෙන ගෙදර ඉන්නවා කියලා හිතාගෙන සින්දුව කියන්න කියලා. එදා කට්ටිය නැගිටලා අත්පොළසන් ගහලා පුදුම ප්‍රතිචාරයක් දැක්වුවා. ඊටපස්සෙ නංගි ලංකාව නියෝජනය කරලා චීනෙ තරගෙකටත් ගිහිල්ලා රිදී සම්මානෙත් දිනාගෙන ආවා. මගෙ නංගි උමාරියාව එයාගෙ ලැජ්ජාව නැති කරලා මම ඉස්සරහට ගෙනාවෙ එහෙමයි.
උමාරා ඔබේ දරුවා ඔටිසම් රෝගයට ගොදුරු වූ විශේෂිත දරුවෙක් වීම ඔබ ධනාත්මක අරමුණකට ජීවිතය පරිවර්තනය කර ගන්න හේතුවක් කර ගන්න තරම් ශක්තිමත්, ධෛර්යවන්ත සහ නිර්මාණශීලී අම්මා කෙනෙක් වෙනවා. එහෙම නේද?
අම්මයි තාත්තයි පොඩි කාලෙ ඉඳන්ම කියලා දුන්නෙ ඕනෙම අභියෝගයක් බාරගන්න. ඒ වගේම ඕනෙම අභියෝගයක් අපි ළඟට දෙවියන් වහන්සේ එවන්නෙ ඒකට මුහුණ දෙන්න ශක්තියක් තියෙනවනම් විතරයි. අවුරුදු දෙකක් විතර වෙනකම් ඉතාමත් නිරෝගී දරුවෙක් විදිහට හිටපු මගෙ දරුවා ඔටිසම් රෝගයට ගොදුරු වුණාට පස්සෙ තමයි මම 2017 පෙබරවාරියෙදි කටහඬ පුහුණු කිරීමේ පාසල පටන් ගත්තෙ. ඒකෙ අරමුණ වුණේ මගෙ දරුවගෙන් මට නොලැබෙන දේ ඒ දරුවන්ගෙන් ලබන එක. මගේ අම්මා තාත්තා ඒ කාලෙ හවස තුනට විතර ප්‍රසංගයක් පටන් ගත්තම පාන්දර පහ විතර වෙනකම් හිටගෙන ඒ ප්‍රසංගය මෙහෙයනවා. සින්දු කියනවා. ආයෙ එයාලා ගෙදර ඇවිත් අපිව ඉස්කෝලෙ යවනවා, අපිට කන්න බොන්න හදලා දෙනවා. ඒ සියල්ලම කරනවා. අපි ඉස්කෝලෙ යනකම් තාත්තා නිදාගන්නවා. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ තාත්තා ඇහැරිලා අම්මට නිදාගන්න දෙනවා. මගේ අම්මා අයේෂා. තාත්තා ටෝනි. ඒ දෙන්නගෙන් පුංචි කාලෙ ඉඳන් ලබපු ඒ ශක්තියෙන් දිනන්න බැරි කිසිම දෙයක් මට මගේ ලෝකෙ නෑ කියලයි හිතෙන්නෙ.
සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ