මම ජීවිතේ ගත්තු හොඳම තීරණයක් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ආදරයක් දිනාගෙන ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතා බහක් කරන්නට ඉඩක් වෙන් කළා.සඳැල්ල කවරය ද හැඩ කරමින් අප සමඟ එක්වූ ඇය නවිදි රැපියෙල්. 

දිව්‍යාදරී ටෙලි  නිර්මාණයේ ‘‘තුෂී’’ චරිතය හරහා පුංචි තිරයට එන ඔබ ගැන මුලින්ම පුංචි හැඳින්වීමක් කරමු ?

මම නවිදි රැපියෙල්. මට දැන් අවුරුදු 20ක් වෙනවා. තවම අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නේ. ICBT විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හදාරන පළමු වසරෙ ශිෂ්‍යාවක්. ඉතින් ඒවත් එක්ක තමයි මේ වෙද්දී රංගනයට සම්බන්ධ වෙලා ඉන්නෙ. මේ මගේ පළමු රංගන අත්දැකීම, හිතුවෙවත් නැති විදියේ සම්බන්ධවීමක් තමයි මේ. 

ඒ හිතුවෙවත් නැති රංගන අත්දැකීම ගැන කියමු. එහෙනම්? 

ඇත්තටම රංගනයට සම්බන්ධ වෙන්න මගේ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. නමුත් මගේ මල්ලි පුංචි කාලෙ ඉඳන්ම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ වගේම මගේ තාත්තාත් කලාවට සම්බන්ධ කෙනෙක්. තාත්තා සංගීතඥයෙක්. ඒ නිසා කලාවට වැඩි නැඹුරුවක් මගේ පවුල තුළ තිබුණා. අම්මා තාත්තා දෙන්නම කලාවට හරි ආදරෙයි. ඒ නිසාම තමයි මගේ මල්ලි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ. 

මට රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම කැමති වුණේ නැහැ. රූපවාහිනි වෙළඳ දැන්වීම් නම් කිහිපයක්ම කළා. ඉතින් ඒ අත්දැකීම් තිබුණත් රංගන අත්දැකීම් තිබිලා නැහැ. නමුත් ‘‘දිව්‍යාදරී’’ වෙනුවෙන් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණට පස්සෙ ඒ නිර්මාණයට සහ චරිතයට ලොකු කැමැත්තක් ඇති වුණා. මේ තුළ ගොඩක් දේවල් හොයන්න කරන්න පටන් ගත්තා. රංගනය කියන විෂය මම ඉගෙන ගෙන නැහැ. සාමාන්‍ය පෙළට නම් නාට්‍ය හා රංග කලාව කරලා තියෙනවා. නමුත්  ඒ විෂයක් විදියටනෙ,, ඉතින් මම මේ ටෙලි නිර්මානයට සම්බන්ධවීමත්  එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 

අද වෙද්දී ලබන ප්‍රතිචාර කොහොම ද?

දිව්‍යාදරී හි කොටස් 100 ඉක්මවා ගිහින් තියෙන්නෙ මේ වෙද්දී, ඉතින් අද ලබන ප්‍රතිචාර ගොඩක් හොඳයි. සමාජ මාධ්‍ය ඔස්සේත්, මඟතොට මුණ ගැහෙන අයත් කොහේ ගියත් කිහිප දෙනෙක් හෝ දැන හඳුනගෙන කතාබහ කරනවා. මට හිතාගන්නවත් බැහැ. ඒ හමුවන පිරිස රංගනය පැත්තෙන් ඉතා හොඳ ප්‍රතිචාර දක්වනවා. මුලදී වැරදි, අඩුපාඩු කතා කරපු අයත් හිටියා. ඒ හැම ප්‍රතිචාරයකටම මම ගොඩක් කැමතියි. යහපත් අයහපත් හැම ප්‍රතිචාරයක්ම මේ ගමනට ලොකු ශක්තියක්. වැරදි අඩුපාඩු හදාගෙන දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට යන්න තමයි මම කැමති. මේ ක්ෂේත්‍ර්ය තුළ තව ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. මුලදී රංගනයට එතරම් කැමැත්තක් නැති වුණත් දැන්නම් ඒ සම්න්ධව ලොකු පැහැදීමක් තියෙන්නෙ. 

මේ පළමු රංගන අත්දැකීම කිව්වනෙ. පාසල් වේදිකාවෙවත් අත්දැකීමක් තිබිල නැද්ද?

පාසල් වේදිකාවෙ නාට්‍ය දෙකක් වගේ කරලා තියෙනවා. ඒ වගේම මම O/L වලටත් නාට්‍ය හා රංග කලාව කළා. මම පාසල් ගියේ ‘ Asian Grammar’ ජාත්‍යන්තර පාසලට, අපේ පාසලේ අධ්‍යාපනයට වගේම විෂය භාහිර ක්‍රියාකාරකම්වලටත් වැඩි ඉඩක් දීලා තිබුණා. ඒ තුළ මම සංගීත අංශයට නැඹුරුව ගොඩක් දේවල් කළා. ඒ වගේම ක්‍රීඩාත් කළා. දැල්පන්දු සහ පිහිනුම් තමයි මම කළේ. පාසලෙන් ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලබා දුන්නෙ. ඒ හැමදේම කරගෙන යන්න පාසලේ ගුරුවරු අපට ඉඩ ලබා දුන්නා.
 
පිහිනුම්  ක්‍රීඩාව නවිදිගෙ රංගන ගමනටත් ලොකු පිටිවහලක් වුණා නේද?

ඔව් මොකද පිහිනුම් ක්‍රීඩාව නිසා තමයි මට මේ රංගන අවස්ථාව ලැබුණෙත්. දිව්‍යාදරි රංගනය වෙනුවෙන් මූලික වශයෙන් අවශ්‍ය වෙලා තිබුණෙ පිහිනුම් ක්‍රීඩාවට දක්ෂ පිරිසක්. මට පිහිනුම්  හොඳටම පුළුවන්. ඒ තුළ දක්ෂතා අනුව මට්ටම් තියෙනවා.  මම ‘‘ Novices’’ නොවිසස් වනතුරු කරලා තියෙනවා. ඉතින් ඒ දක්ෂතාවය මේ ටෙලිනාට්‍ය රංගනයට ලොකු අවස්ථාවක් වුණා. පිහිනුම් නිසා තමයි අද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නෙ. 

මේ කණ්ඩායමත් එක්ක යන ගමන කොහොම ද?

ඇත්තටම ඒ ගමන නම් හරිම සහයෝගයෙන් යන ගමනක්. එකම පවුලක් වගේ මේ කණ්ඩායම බැඳිලා ඉන්නෙ. හැමෝගෙන්ම ඉතා ඉහළ සහයෝගයක්  ලැබෙන්නෙ. විශේෂයෙන් මෙහි අධ්‍යක්ෂවරයා ප්‍රදීප් ධර්මදාස මහත්මයා මතක් කරන්න  ඕනා. ඔහු මෙහි අධ්‍යක්ෂවරයා වගේම මගේ තාත්තාටත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔහුගෙන් මට මාරම ශක්තියක්  ලැබෙන්නෙ.ගොඩක් දේවල් කියලා දෙනවා. අපි රංගනයට අලුත් නිසා වැරදි වෙනවා වැඩියිනෙ. නමුත් කිසි දෙයක් කියන්නෙ නැහැ. හරිම ආදරෙන් තමයි හැමදේම කියලා දෙන්නෙ.

ගෙදරින් ලැබෙන සහය කොහොමද?

ගෙදරින්, අම්මා, තාත්තා ලොකු සහයෝගයක් ලබාදෙනවා. මටත් මල්ලිටත්  දෙන්නටම අපිට කැමති දෙයක් කරන්න ඉඩ දීලා තියෙන්නෙ. කලා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන ඒ දෙන්නාගෙම අකමැත්තක් තිබුණෙ නැහැ. තාත්තා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ  නිසා ගොඩක් දේවල් ක්ෂේත්‍රය ගැන දන්නවා. රංගන ක්ෂේත්‍රයේ වැඩ කරලාත් තියෙනවා. ඒ හැමදේමත් එක්ක මල්ලිටයි මටයි ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා. මේ තුළ ගමනක් යන්න කිසිදු විදියකට බාධාවක් වෙන්නෙ නැහැ. 

නවිදිගෙ සහෝදරයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි කිව්වනෙ ඔහු ගැනත් කියමු ?

මගේ මල්ලි විහඟ රැපියෙල් ඔහු පුංචි කාලෙ ඉඳන්ම තමයි රංගනයට සම්බන්ධ වෙලා ඉන්නෙ. දිව්‍යාදරී වෙනුවෙනුත් රංගනයෙන් දායකවෙලා ඉන්නවා.

නවිදි රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ගත්තු තීරණ අද දකින්නේ කොහොමද?

මම ජීවිතේ ගත්තු හොඳම තීරණයක් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. 
ඇත්තටම මම අවුරුදු 7 දී වගේ සිට වෙළඳ දැන්වීම් කරලා තියෙනවා. නමුත් ටෙලිනාට්‍ය නිර්මාණ කරලා නැහැ. ඉතින් මම ටෙලි නිර්මාණ රංගනයට සම්බන්ධ වීම වෙනුවෙන් ගත්තු තීරණය ජීවිතේ හැරවුම් ලක්ෂයක් විදියට  තමයි දකින්නෙ. මම අධ්‍යාපනය හදාරන ගමන් මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියත් ඒ දේත් කරගෙන කලාව තුළ විවිධ අංශ ඔස්සේ ඒවා හදාරමින්, අධ්‍යයනය කරමින් ඉදිරි ගමනක් යන්න තමයි ලොකුම අරමුණ වෙලා තියෙන්නෙ. මොකද දැන් මම කලාවට ගොඩක් ආදරෙයි.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්