මම ගයේෂා ගැන දැනගෙන හිටියෙ නැහැ, වෙන වෙන අය ඒ වෙනුවෙන් තෝරාගෙන හිටියෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ගිනිගත්ත ජීවිතවලට සෙක්ස් කියන්නෙ කුණුහරපයක් නෙවෙයි, සිසිලසක්’. ෆ්ලයිං ෆිෂ් (Flying Fish) හෙවත් ‘ඉගිල්ලෙන මාළුවෝ’ කෙටියෙන් හැඳින්වීම් කෙරෙන්නේ ඒ විදියටයි. මේ කතා වෙන්නෙ වරෙක තහනමට ලක්වූ බොහෝ සෙයින් විවේචනයට හේතුවූ ඒ චිත්‍රපටය නිර්මාණය කළ විදිය ගැනයි. ඒ ගැන කියන්න හේතු දක්වන්න, ඉගිල්ලෙන මාළුවෝ නිර්මාණය කළ සංජීව පුෂ්පකුමාර නමැති තාරුණ්‍යයේ අධ්‍යක්ෂවරයා අප සමග එක්වූ අයුරුයි මේ. 

සංජීව කොහොමද ඔබගෙ විස්තර අපට මුලින්ම කියන්න?

මේ වන විට මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් සිනමාකරණය සම්බන්ධයෙන් හදාරනවා. ඒ නිසා කොරියාවේ සරසවියක ඉගෙන ගන්නෙ. ලංකාවේ සිනමාකරණය පිළිබඳව ආචාර්ය උපාධියක් මේ දක්වා කවුරුවත් ලබාගෙන නැහැ. මට මේ උපාධිය හදාරන්න චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා රුපියල් මිලියනයක පරිත්‍යාගයක් පවා කළා. ඒ වගේම මට මගේ සරසවියෙනුත් උදවු ලැබෙනවා. ඊට අමතරව මේ දිනවල ලංකාවට ආවේ මේ ෆිල්ම් එක තිරගත කරන්න තිබූ නිසයි. ඉතින් කොරියාවේ සිටියත්, තව සති දෙකකින් මට ප්‍රංශයේ පැරිස් නුවරට යන්න සිදුවී තිබෙනවා. ප්‍රංශ රජයේ සිනමා ආයතනයෙන් (CMC) මාස හයක නේවාසික වැඩමුළුවකට මාව තෝරාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් හරියටම මාර්තු 1 වැනිදා ප්‍රංශයට යනවා. එතෙක් මෙහි සිට මගේ වැඩ කෙරෙන්නෙ ඉගිල්ලෙන මාළුවෝ වෙනුවෙන්.

ඉගිල්ලෙන මාළුවෝ ගැන කතාව පටන්ගනිමු? කවදද මේ චිත්‍රපටය කළේ?

අපි මේක කළේ 2010 අග භාගයේදී. ෆිල්ම් එක පළමුවරට තිරගත කළේ එංගලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේදි. ඊට අමතරව ලෝකයේ විවිධ සිනමා උළෙල 30 කදී විතර මේ දක්වා නියෝජනය වී තිබෙනවා. එහිදී සම්මාන හා අගැයීම් ලැබුණා.

ඉගිල්ලෙන මාළුවෝ වැඩිහිටියන්ට පමණයි නිසා බොහෝදෙනා විවිධ විදිහට දකින්න පුළුවනි, ඔබට මෙයින් ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණේ? මොකද මීට පෙර මේ ෆිල්ම් එක මෙරට තහනම් වෙලානෙ තිබුණෙත්?

මම කොළඹ ආවේ සිනමාකරුවකු වෙන්න නෙවෙයි, රූපවාහිනි නිවේදකයකු වෙන්න. එහිදී මම අත්දුටු, නැරඹූ චිත්‍රපට එහෙම එක්ක මගේ ජීවිතය බොහෝ දේ දුටුවා. අන්න එතකොට මටත් සමාජයට කියන්න බොහෝ දේ ඇතිවග වටහා ගත්තා. සිනමාකරුවකු වෙන්න මම තීරණය කළේ සිනමා මාධ්‍යයෙන් කතා කියන්නට තිබූ ඕනෑකම නිසයි. මගේ ජීවිතයට සහ ආත්මයට සමීප දෙයක් එයින් ප්‍රකාශ කිරීම මූලික අරමුණයි. ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය කියන්නෙ මගේ ළමා වියේදි මම ලැබූ අත්දැකීම් බොහොමයක් පාදක කරගෙන කරපු චිත්‍රපටයක්. ඒකෙ ඇතුළෙ අපේ රටේ සමාජ දේශපාලනයේ ස්වභාවයත් පිළිබිඹු කරන්න මට පුළුවන් වුණා. මම ජීවත් වූ සමාජයේ ප්‍රකාශනයක් ලෙස තමයි, ඉගිල්ලෙන මාළුවෝ නිර්මාණය කළේ.

එහෙම නම් මේ දක්වා මේ ඉගිල්ලෙන මාළුවෝ එළියට දාගන්න බැරිවුණේ, වැඩිහිටියන්ට වඩාත් සුදුසු වූ නිසාද? නිරුවත් දර්ශන ඇතුළත් නිසාද?

චිත්‍රපටයක් ලංකාව ඇතුළෙ තහනම් කිරීමේ බලය තියෙන්නෙ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට. නමුත් මේක තහනම් කළේ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය නෙවෙයි, අන්න ඒකයි මෙහි තියෙන ප්‍රහසනාත්මක තහනම. එවකට මේක තහනම් කළේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. ඊට මුල්වූයේ පුද්ගලයින් තුන්දෙනෙක්. මේ තුන්දෙනාට අවශ්‍ය වුණේ පැවති රජයේ නායකයන්ගෙන් ලකුණු දාගන්නයි.

හරි දැන් ඒ කතා යටගිය ඒවානෙ? අපිට කියන්න ෆිල්ම් එක හදපු විදිය? මුහුණ දුන්න දුෂ්කරතා?

මේ ෆිල්ම් එකේ තිරපිටපත මම ලියන්න පටන්ගත්තෙ 2007 දී කොරියාවේ සිනමා වැඩමුළුවකට සම්බන්ධවෙලා සිටියදීයි. පසුව මේක කරන්න නම් කාගෙන්වත් ලොකු මුදලක් ඉල්ලුවොත් නොදෙන බව මම දැනගෙන හිටියෙ. ඒ නිසා මේක කළ යුතු පහසුම විදිය ගැන මම සෙව්වා. මගේ ළඟ ඇති සම්පත් ප්‍රයෝජනයට අරගෙන මේක කළොත් හොඳයි කියල හිතුවා. මගේ මේ කතාව මගේ ගමේදි කරනවා කියලා හිතාගෙන, ලොකේෂන්වලටත් තියෙන ලොකේෂන්ම පාවිච්චි කරමු කියන අදහසට ආවා. ඊළඟට අඩු මුදලකින් හොඳ කණ්ඩායමක් තෝරාගැනීම කළේ වැඩකට එයාලගෙ තිබෙන උනන්දුව එක්කයි. ලක්ෂ 25 ක මුදලක් කවුරුහරි දැම්මොත් ඒක හොයන එක අසීරු නැහැ. ඒ විදියට ලක්ෂ 25 කින් තමයි මේ චිත්‍රපටය කළේ.
මේ කණ්ඩායම ගිහින් නතරවෙලා හිටියෙ අපේ ගෙදර සහ අපේ ගෙදර අවට ගෙවල්වල. කෑමබීම හැදුවෙ අපේ ගෙදර අය සහ පවුලෙ අය. ට්‍රාන්ස්පෝට් හරියට කළමණාකරණය කරගත්තා. සමහර දිනවලදි ප්‍රවීන රංගවේදිනි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය A/C බස් එකේ හෝ දුම්රියෙන් ලොකේෂන් එකට එන විදියට අපි කතාකරගත්තා. ආහාරපාන පවා හරියට කළමණාකරණය කරගත්තා. කලා අධ්‍යක්ෂණය කළ බිමල් කැමරා අධ්‍යක්ෂණය කළ විශ්ව ඇතුළු මේ ෆිල්ම් එකේ බොහෝදෙනාට එයාලගෙ ප්‍රථම නිර්මාණය මෙය වූ නිසා මුදල් සහ පහසුකම් ගැන නෙවෙයි හිතුවෙ. මම වගේම ප්‍රථම සිනමා අත්දැකීම කරගත් අපි කණ්ඩායමේම අරමුණ වුණේ නොමිලේ දායකත්වය ලබාදීම. ගයේෂා, සම්පත් ජයවීර සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය මේ තිර පිටපතට කැමතිවෙලා හිටියෙ. ඒ නිසා එයාලා මේක කරන්න කැමති වුණා. එයාලා ගත්තෙ ඉතාම කුඩා, ඉතාම සුළු මුදලක්. හැබැයි විශ්වාස කරන්න, ඒ සුළු මුදල මුදලක් කියලා කියන්නත් බැරි තරම්. ඒත් එයාලා ලබාදුන්නේ, කෝටි ගණනක මිල කළ නොහැකි දායකත්වයක්. එයාලා කළ කැප කිරීම මිල කරන්න බැරි දෙයක්. ගයේෂා, සම්පත්, වසන්ති රංවල සහ නිලංක හට මේ තිර පිටපතේ හැටියට නිරුවත් දර්ශනවලට පෙනී සිටීමට සිදුවුණා. ඒක එයාලගෙ ජීවිතයට ගත්ත රිස්ක් එකක්. ඒත් එයාලාගෙ ඒ කැපවීම කළේ මුදලට වඩා කලා නිර්මාණයකින් ප්‍රකාශ කරන දේ එයාලට දැනිච්ච නිසයි.

ප්‍රවීන, සම්මානනීය සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායකයන්, අපට වාහනයක් දීලා තිබුණෙ රියැදුරු එක්කම. අපට තිබුණෙ තෙල් ටිකක් ගහගෙන ඒක පාවිච්චි කරන්නයි. අන්න ඒ විදියට අපි ඔක්කෝම වෙහෙස දරාගෙන, තමුන්ගේම නිර්මාණයක් විදියට කළේ. ඒ කරන කාලයේදී මට නිර්නාමිකව ඇමතුම් ලැබුණා. ඒ කාලයේ ඉඳලම තමයි මේකට බාධක තිබුණෙ. කළොත් බලාගෙනයි කියන තර්ජනාත්මක ඇමතුම් පවා ආවා. ඔන්න ඔය විදියට තමයි එදා අපි ඉගිල්ලෙන මාළුවෝ කළේ. හැබැයි ඒ සියලු දුෂ්කරතා අතරේ, අපි ඔක්කෝම ඉතාම සහෝදරත්වයෙන්, එකමුතුව සුන්දරව ගතකළ කාලයක් තමයි ඒ.

ගයේෂා එදා ගත්තෙ විශේෂ හේතුවක් තිබුණද? ඒකට?

මම ගයේෂා ගැන දැනගෙන හිටියෙ නැහැ, වෙන වෙන අය ඒ වෙනුවෙන් තෝරාගෙන හිටියෙ. ඒත් එයාලා ප්‍රතික්ෂේප කළා. සම්පත් තමයි මට ගයේෂා ගැන කිව්වෙ. පිංතූර බැලුවාම එයාගෙ රූපය මගේ කතාවේ චරිතයට මම හොයපු මූණමයි. එහෙම නම් ගිහින් බලමු කිව්වා. මම ගිහින් ඇය හමුවුණාම ඇය කැමති වුණා. එයාට තිබූ විභවය සහ එයාට තිබූ කැපකිරීම එදා මා හොඳින් දුටුවා. අපේ චිත්‍රපටයට ඇය දායක වුණත්, ටික කාලයකට ඇයගේ දායකත්වය ලාංකීය සිනමාවට අහිමිවීම පාඩුවක්. මොකද දැන් ඇය සිටින්නෙ ඇමරිකාවෙ. ඇයගෙ අපූරු හැකියාව මේ චිත්‍රපටයෙන් හොඳට දැකබලා ගන්න පුළුවනි.

චිත්‍රපටයේ තේමාවට අදාළව ඇති මේ සමහර නිරුවත් දර්ශන රූගත කළේ කොහොමද?

අපි ඒ දර්ශන රූගත කිරීම ඉතාම හොඳට සැලසුම් කළා. ඒවා ෂූට් කරනකල් කණ්ඩායමේ කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. කැමරා අධ්‍යක්ෂ විශ්ව සහ මම විතරයි දැනගෙන හිටියෙ. මට එහිදී අවශ්‍ය වුණේ මගේ නළු නිළියන් අපහසුතාවයට පත්නොවන පරිදි ඔවුන්ගේ ගෞරවය රැකෙන විදියට අදාළ දර්ශන රූගත කරන්නයි. ඒ නිසා දර්ශනයට අදාළ සීමිත පිරිසක් විතරයි හිටියෙ. මේ නළු නිළියන් කළේ සුවිශාල කැපකිරීමක්. ඒ කැප කිරීමට මම ගරුකළ යුතුයි.

මේ විදියට දුෂ්කරතා ජයගෙන, බාධකවලට මුහුණ දෙමින්, අභියෝග බාරගෙන කළ මේ චිත්‍රපටය රූගත කිරීමට දින කීයක් විතර ගියාද?

දින 20 කට අඩු කාලයකදී අපි රූගත කිරීම් සිදුකළා. තඹලගමුව, කන්තලේ සහ ත්‍රිකුණාමලය අවට තමයි රූගත කිරීම් කළේ. එදා චිත්‍රපටය කරද්දි අපි මුහුණදුන් සියලු දුෂ්කරතා දිනය අවසන සුන්දර අත්දැකීම් බවට පත්වුණා. මොන ප්‍රශ්න ආවත්, සල්ලි නැතිවුණත්, හැන්දෑවෙ අපි සිංදුවක් කියලා, සතුටින් ඒ මොහොත ගත කළා. ලක්ෂ 25 ක් කියන්නේ එක් ශිල්පියකුට වැය වන මුදලක්. ඒත් අපි මුළු ෆිල්ම් එකම ලක්ෂ 25 න් කිරීම මම හිතන්නෙ එක්තරා විදියක වාර්තාවක්. කරන්ඩ බැරි දෙයක් අපි කළේ.

කොහොම වුනත්, මේ දර්ශන රූගත කිරීමේදී ඔබට වඩාත් අසීරු වුණේ?

ත්‍රස්තවාදීන් ඇවිත් අහිංසක පවුලකට වෙඩි තියලා මරනවා, ඒ දර්ශනය රූගත කිරීම තමයි අසීරු වුණේ. ඒක මුලින් සැලසුම් කරලා තිබුණු විදියට මට ඒක කරන්න බැරිවුණා. රාත්‍රියේ ෂූට් කරන්න තිබුණෙ. මනුස්සයකු මරන්නට පෙර ත්‍රස්තවාදීන් ඉස්සෙල්ලාම බල්ලෙක් මරන්නෙ. මේ ෆිල්ම් එකේ කලා අධ්‍යක්ෂණය කළේ ප්‍රියන්ත සිරිකුමාර. එයා හරි අපූරුවට ලස්සන වැඩක් කළා. ඒ කාලයේදි වුණත් එයා වටිනාකමට මිලක් අය කළ ශිල්පියෙක්. ඒත් අපේ වැඩේදි ඒ කිසිම විදියට ඩිමාන්ඩ් නොකර පුදුම සහයෝගයක් දුන්නෙ. මේක ඇත්තටම අපි ඔක්කෝගෙම මහන්සියෙන් කළ ෆිල්ම් එකක්.

සඳුන් ගමගේ