මම ගෙදරින් තරහවෙලා ගිහින් දවසෙන් ගෙදර ආවා, දැන් බබාලා නොදැක ඉන්න බෑ
දසුන් පතිරණ කියන්නෙ පුංචි තිරයේ ඉදහිට දකින්න ලැබෙන සිනමා තිරයේ නම් බොහෝම හුරුපුරුදු චරිතයක්. දසුන් රංගනයෙන් දායක වුණු 'මෝටර් සයිකල්', 'හුස්ම' වැනි චිත්රපට අතිශය ආන්දෝලනයට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති. මේ තියෙන්නෙ දසුන් හෙවත් 'දස්සා' සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්.
පසුගිය කාලේ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න වුණු ආර්ථික ගැටලුවලට දසුන්ටත් මුහුණ දෙන්න සිදුවෙන්න ඇති?
ඇත්තටම ඔව්.. ඒ ගැටලුවලට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වුණානේ. ඇත්තටම මට පොඩි හරි සහනයක් ලැබුණේ බිරිඳ නිසා. ඇයත් මුදල් උපයන නිසා ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සහයෝගයත් එක්ක අපි ජීවත් වෙලා හිටියා. මට රංගනයෙන් පමණක්ම ජීවත්වෙන්න වුණා නම් මේ වෙද්දි වෙනත් රැකියාවක් හොයාගන්න වෙනවා. නමුත් බිරිඳගේ සහයෝගය තිබුණ නිසා ප්රශ්නයක් වුණේ නෑ.
දැන් ඉතින් සෙල්ලම් නැහැ දරුවො දෙන්නෙකුත් ඉන්නවනේ නේද ?
ඒකනේ දැන් තනිකඩ ජීවිතේ ගෙව්වා වගේ නෙමෙයිනේ දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් විදිහට ජීවිතේ වගකීමකුත් තියෙනවා.
ඒ සුන්දරත්වය වචනවලට පෙරලුවොත් ?
ඇත්තටම දරු සෙනෙහස කියන දේ ලැබෙන්නම ඕනෑ ඉතාම ආදරණීය හැඟීමක්. ඒ බැඳීම මාරයි. මට දැන් මොන දේ වුණත් දරු දෙන්නා නොබලා ඉන්න බැහැ. ජීවිතේ මොන ප්රශ්නකාරී බවත් තිබුණත් බබාලා දැක්කම ඒ හැමදේම මඳකට හරි නැති වෙනවා. මෑතකදී මම ගෙදරින් තරහවෙලා ගිහින් දවසෙන් ගෙදර ආවා. මොකද දැන් බබාලා නොදැක ඉන්න බෑ. ඒ බැඳීම නිසා තමයි පවුල කියන දේ තවත් බැඳෙන්නෙ. දැන් මගෙන් ඇහුවොත් ජීවිතේ අංක එක මොකද්ද කියලා මම කියන්නෙ මගේ දුවලා දෙන්නා කියලා. මම කොහොමත් කැමැත්තෙන් හිටියේ දුවෙකුට තමයි. ඒ නිසාමද කොහෙද මට දැන් දුවලා දෙන්නෙක්ම ඉන්නේ. ඉතින් දැන් පවුලක් විදිහට සතුටින් ඉන්නවා ඒ දෙන්නා එක්ක.