මම ගොඩාක් වාහන ගත්තේ ලීස් කරලා. ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු අපේ අලුත්ම විශේෂාංගය 'රථගාය' ඉතින් මේ විශේෂාංගයට අපි මුලින්ම සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර.  

රථගාය තියන කෙනෙක් ද?

ඔව් සීයට දාහක්ම රථගාය තියන කෙනෙක් මම. 

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මුලින්ම පැද්දේ පහ වසරෙදී අපේ මාමා කෙනෙක් ඉන්නවා මනෝජ් කියලා අපි එයාට ආදරේට කතා කරන්නේ කිරි මාමා කියලා එයා මුලින්ම මාව ඔඩොක්කුවේ තියාගෙන තමයි පැද්දෙ. මගේ තාත්තා හරි පරිස්සම්. ඒ නිසා එයාගෙන් වාහනය ඉල්ලුවාට වාහනය දුන්නේ නෑ. ඊට පස්සෙ දවසක් අපේ කටුගස්තොට ගෙදර හදන කාළේ ගෙදර වැඩ බලන්න තාත්තා එක්ක යනවා එතකොට තාත්තා ඒ හරියෙන් වාහනය නවත්තලා යනවා ගෙදර බලන්න. තාත්තා ගියාට පස්සේ මම  මුලින්ම වාහනයෙන් බැහැලා බලනවා තාත්තා කොහෙද ඉන්නේ කියලා. මොකද නැත්තං ස්ටාර්ට් කරන සද්දේ ඇහෙනවනේ. ඊට පස්සෙ ආයේ ඇවිල්ලා වහනය ස්ටාර්ට් කරලා ඉස්සරහටයි පිටිපස්සටයි ගන්නවා. දවසක් මම ඔහොම කර කර ඉන්නකොට තාත්තා දකුණු ඇත්තේ දොර ළඟ බලන් ඉන්නවා.  තාත්තාව දැකලා එක පාරටම  මාව ගැස්සුනා.  ටක් ගාලා මම ස්ටාර්ට් එක ඕෆ් කරලා එහා පැත්තේ සීට් එකට පැන්නා. එතකොට මම ඉස්කෝලේ නවය වසරේ. හැබැයි. එදා තත්තා බැන්නෙවත් නැහැ. එතැනින්  පස්සේ ඉතින් තාත්තා මට වාහනය හරවන්න කරන්න දුන්නා.
තාත්තා වාහන කීපයක් පාවිච්චි කළා. ඒ එක වාහනයක එයා කොළඹ යනවා අනිත් එක ගෙදර,  ඉතින් මම ඉස්කෝලේ 12 වසරෙදි විතර ඉද්දි  ඒ ගෙදර තියන වාහනෙන් ඉස්කෝලේ යනවා ගිහින් තාත්තා එන්න කලින් වාහනේ  හෝදලා කාර් පෝර්ච් එකට දාලා තියෙනවා. දවසක් තාත්තා නුවර  මීටින් එකකට ඉන්නෙ නැතුව කොළඹ ගියා. පස්සෙ තාත්තාගේ යාළුවෙක් කතා කරලා තාත්තාට කියලා ඔයා බොරු නෙ කිව්වේ කොළඹ යනවා කියලා ඔයා නුවරනේ ඉන්නේ මම දැක්කනේ ඔයා ගේ වාහනය දැන් ඔෆිස් එක ඉස්සරහින් යනවා කියලා. පස්සේ තාත්තා කියලා පුතා ගියාද දන් නැහැ කියලා.  ඒවෙලෙම අම්මට කෝල් කරලා කිව්වාලු අන්න චූටි මහත්තයා වාහනය අරගෙන කොහෙ හරි ගිහින් වගේ කියලා.  අම්මා එතකොට ටවුන් එකට ගිහින්.  පස්සෙ අම්මලා එද්දී මම වාහනය හෝදනවා. අම්මා ඇවිල්ලා ඇහුවා කොහෙද ගියේ කියලා මම කිව්වා කොහෙවත් ගියෙ නහැ කියලා.එතකොට මට අමතක වෙලා මම ඇඳන් ගිය ඇඳුම එල්ලලා තිබ්බේ ඒක දැකලා මාට්ටු උණා වැඩේ. පස්සේ මාව බය කළා ලයිසන් නැතුව යන්න එපා පොලීසියෙන් අල්ලයි එහෙම කියලා. ඊට පස්සෙ හොරෙන් පැද්දේ නැහැ.

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදා ද?

මට අවුරුදු 22 දී තාත්තා මුලින්ම මට වාහනයක් අරන් දුන්නා. මොකද තාත්තට ඕන වෙලා තියෙනවා මට වගකීමක් දෙන්න. ඉතිං 2009  වාහනයක් අරන් දුන්නා.  ඒක අරන් දුන්නේ තාත්තා පොඩි ගාණක් අතින් ගෙවලා.  ටික ටික ලීස් එකකින් ගෙවාගෙන යන්න තමා ඒ වාහනය අරන් දුන්නේ.  ඒක තමා අමා ටෙලිනාට්‍යයේ තියෙන කොළ පාට ස්පෝර්ට් කාර් එක.  ඒ තමයි මගෙ මුල්ම වාහනය. ඒ වාහනය මම අවුරුදු 4ක් පැද්දා. මම ගොඩාක් වාහන ගත්තේ ලීස් කරලා.  ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ.  ඇත්තටම මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඉතින් මුල්ම වාහනය ගන්න මට උදව් කළේ තාත්තා එයා නැත්තං මට ඇත්තටම වාහනයක් ගන්න බැහැ එච්චර ඉක්මනට. 

පළවෙනි වාහනය අරන් මුලින්ම කොහෙද ගියේ? ඒ මතකයන්?

මුලින්ම මම ගියේ දළදා මාලිගාවට දෙවෙනියට ගිය ගමන වුණේ මහා කතරගම දේවාලේට ගිය එක.
 පළවෙනිම වාහනය ගත්ත දවසෙම මොරසූරන වැස්සක් වැස්සා.  ඉතින් මාලිගාවට යන්න ලෑස්ති වෙලා මම අර වැස්සෙම සබන් දාලා වාහනය හේදුවා.  එච්චරට මම මගේ වාහනයට ආදරෙයි. පස්සේ තාත්තා අම්මාට කියලා තිබ්බා අරූ නං පිස්සෙක් වැස්සේ වාහනය හෝදනවා ඒ මදිවට පිහදානවා කියලා. 

කාවද මුලින්ම වාහනයේ දාගෙන ගියේ?

එදා මම මාළිගාවට ගියේ අම්මයි තාත්තයි අක්කයි අක්කාගේ බබයි එක්ක.

මුලින්ම වාහනයක් ගත්තහම මොකද කරන්නේ?

සමහරු එක එක ඒවා කරනවානෙ. ඉතින් මම මුලින්ම කරන්නෙ මහා කතරගම දේවාලේට යන එක, මම විශ්වාස කරනවා ඒකේ යම් කිසි ශක්තියක් තියෙනවා කියලා.  ඒ ගිහිල්ලා මම දෙහි ගෙඩි 4ක් අරන් ඇවිල්ල ඒ දෙහි ගෙඩි 4 රෝද 4ට තියලා යට කරනවා ඊට පස්සේ ඒ දෙහි ගෙඩි 4 මම අරන් ගිලිල්ලා මැණික් ගඟට දානවා පස්සේ දෙහි වැල එල්ලනවා වාහනයේ ඉස්සරහ. සමහරුන්ට ඉතින් හිතෙයි පිස්සෙක් කියලා. එත් මම  ඒ දේ විශ්වාස කරනවා සහ මට ලොකු වෙනසක් තියෙනවා  ඒ දෙයින්.  අදටත් මම මොන වාහනය ගත්තත් මුලින්ම කරන්නේ කතරගම යන එක.

මේ වෙනකොට වාහන කීයක් විතර පාවිච්චි කරලා තියනවා ද?

මේ වෙද්දී වාහන 5ක් හෝ 6ක් මම පාවිච්චි කරලා තියනවා පළවෙනි කාර් එක බෙන්ස් එක, බස් එක (ඒක නං ගත්තෙම රථගායටමයි) , ඩබල් කැබ් එකක් තිබ්බා, පැජෙරෝ එකක් තිබ්බා. ඇත්තටම මට තිබුණේ  බෙන්ස් එකක්.  සාමාන්‍යයෙන් බෙන්ස් එකක් විකුණලා මනුස්සයෙක් යන්නේ ඊට වඩා හොඳ එකකටනේ.  මගේ රථ ගාය කොච්චරද කියනවා නං මම බෙන්ස් එක විකුණලා ගෙනාවා 17 නම්බර් කාර් එකක්.  ඒක අරන් ආවාම  තාත්තා ඔළුවේ අත ගහගත්තා. බිරිඳ වාහනේට නැග්ගෙවත් නැහැ.

Branded  වාහනවලට ආසයි ද?

රංගන ශිල්පියෙක් විදිහට මම කැමතී මගේ රැකියාවට ගැළපෙන්න සහ ඒකට ගරුත්වයක් දෙන්න වාහනයක් පදින්න. ඊට අමතරව  කැමති හොඳට මොඩිෆයි කරලා තියෙන වාහනවලට. අදට උණත් කොහෙදි හරි පරණ මොඩිෆයි කරපු වාහනයක් දැක්කොත් මම ඒක ගන්නවා. ඒ මගේ ආසාව මම ආසයි වාහන ලස්සන කරන්න. වාහනයට ගැළපෙන මොඩිෆිකේෂන් එක ඒ වාහනයට කරනවා.

දැන් පාවිච්චි කරන වාහනය එක්ක තියන හොඳම මතකය මොකක්ද?

ඇත්තටම දැන් මට වාහනයක් නැහැ. මේ දවස්වල වාහනයක් හොයනවා. මට අන්තිමටම පළාත් සභා පැජරෝ එකක් තිබ්බේ. ඒක මම ගාව අවුරුදු 7ක් තිබුණා.  ඒ වාහනයත් එක්ක තියන හොඳම මතකය තමයි කුඩා කැබිලිත්තේ ගියපු එක.  මම යන්න හරිම ආසාවෙන් හිටපු තැනක් දැනං හිටියා මේ ගමනට ඒ වාහනය පවර් මදි කියලා ඒත් කිසිම කරදරක් නැතුව  ඒ ගමන ගිහින් ආවා. ඒක තමා තිබුණු හොඳම මතකය.           

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවා ද?

ඇත්තටම දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි එහෙම දෙයක් වෙලා නැහැ. එකම දෙයයි වුණේ. ඒ මගේ අඩුපාඩුවක් හින්දා පැජරෝ එකේ ටයිමින් බෙල්ට් ප්‍රශ්නයක් වෙලා වාහනය කැඩුණා.  ඒක වුණේ මගේ නොසැලකිලිමත්කම නිසා ඒ නිසා වාහනයට කීයටවත්  දොස් කියන්නේ නැහැ.

Dream vehicle එක මොකක් ද?

Dream vehicle දෙකක් තියනවා ඇත්තටම එකක් ඩිෆෙන්ඩර් එක.  අනික තමයි ප්‍රාඩෝ එකක් ගන්න එක.  මොන දේ පැද්දත් පරණ මොඩල් මර්සිඩීස් බෙන්ස් එකක් ළඟ තියාගන්නත් මට ආසාවක් තියනවා. 

ලිහිනි ලියනගේ