මම කාවවත් අත්හැරියේ නැහැ, මම සම්බන්ධතා කියන ඒවා අන්තිම මොහොත දක්වා අල්ලාගෙන ඉන්නවා
බිලේෂා විජේරත්න ඔබට මතකද? එහෙම නැත්නම් සුදු නංගි කිව්වොත් ඇය ගැන මතකද? අමතක වෙන්න විදිහක් නැහැ. මොකද විකාශය වූ කූඹියෝ නාට්‍යය ඒ තරමටම ජනප්‍රිය වූ නිසා. එදා ඒ විදියට අපට හමුවූ බිලේෂා හෙවත් සුදු නංගි මේ දිනවල අපට හමුවන්නේ චාමර ජනරාජ් පීරිස්ගේ වීදුරුමල් නාට්‍යයේ ධනුකගේ බිරිඳගේ චරිතය සමඟයි. ඒ විදියට හමුවන බිලේෂා සඳැල්ලට ආ මොහොතකි මේ.
බිලේෂා කාලයකට පස්සේ නේද?
ඔව්, අවුරුදු එකහමාරකට පසුව ටෙලිනාට්‍යයක රඟපෑවේ.
ඇයි රඟනොපා හිටියේ?
විශේෂ හේතුවක් නැහැ. ගෙදර තමයි හිටියේ. දැන් නම් ජොබ් එකකුත් කරනවා. ඒ නිසා ස්ථාන මාරු වුණා. ඒ වගේ දේ නිසා තමයි. නමුත් කෙටි චිත්‍රපට, වෙබ් සීරිස් වගේ ඒවාට සම්බන්ධ වුණා. වේදිකා නාට්‍යයකුත් රඟපෑවා.
තවමත් සුදු නංගි කියලද කියන්නේ?
එහෙම කියන අයත් ඉන්නවා. බිලේෂා කියලා තමයි කියන්නේ.
අද වන විට බිලේෂාගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන හැටි.
ලොකු වෙනසක් වෙලා නැහැ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් එහෙම කරන නිසා වගකීම් වැඩි වෙලා. අම්මවත් බලාගෙන ඉන්නවා. කොළඹ රස්සාව කරන නිසා අම්මා ඉන්නේ මගේ තනියට. ඉතින් අම්මව බලාගෙන ඉන්නවා. තාත්තා රත්නපුරේ ගෙදර. අයියා විවාහ වෙලා කෑගල්ලේ. අක්කා විවාහ වෙලා වත්තල ඉන්නේ.
බිලේෂා විවාහ වෙන්නේ?
අනේ ඇත්තටම ඒ ගැන හිතලා නැහැ. ගෙදරින් නම් කියනවා, මාත් හිතලා බලන්න ඕනෑ. මට තවම ඒ ගැන හිතුණේ නැහැ.
පසුගිය කාලයේ දීර්ඝ ටෙලිමාලාවට ආරාධනා ලැබුණද?
දීර්ඝ ඒවාට සම්බන්ධ වෙන්න ටිකක් අපහසුයි. ඒත් ආරාධනා ආවා. කරන්න වුණේ නැත්තේ ජොබ් එකේ වැඩ නිසයි. කොරෝනා කාලයෙන් පසුව රස්සාවක් කරන්න ඕනෑ කියලා හිතුවා. මොකද උපාධිය ඉවර වෙලත් අවුරුදු කීපයක් ගත වුණා. ඒ නිසා රස්සාවක් කරන්නට හිතුවේ ආර්ථිකයටත් ඒක හොඳ නිසා.
කොහොමද ජොබ් එක හොඳද?
දැනට නම් හොඳයි.
බිලේෂාට හිතෙන්නේ නැද්ද වෘත්තිය ලෙස රඟපෑම විතරක් තෝරා ගන්න?
කාලයක් එහෙම තමයි හිටියේ. ඒත් ලංකාවේ තත්ත්වය එක්ක ඒක ටිකක් අසීරු දෙයක්. අපේ ලංකාවේ හැටියට කොහොමටත් රඟපෑම විතරක් වෘත්තිය කර ගන්න අමාරුයි. ඒ නිසයි රංගනයට අමතරව රැකියාව කරන්න ඕනෑ කියලා හිතුවේ.
බිලේෂා ප්‍රේමයේදි මොන විදියද?
මම අවංකයි. මම හිතන විදියට ප්‍රේම කරන්න ගියාම උපරිමයෙන් ඒක කරනවා. ඕනෑවට වැඩිය ඒ ගැන හොයලා බලන කෙනෙක්. ප්‍රේමය නිසා අනෙක් කෙනාට වඩාත් ලැදි වෙන කෙනෙක්. ප්‍රේම කරන කෙනා නැතුවම බැරි කර ගන්නවා. ඒක මගේ දුර්වල කමක්ද මොකක්ද කියලා මම දන්නේ නැහැ. මොකද අනෙක් පාර්ශවයට වදයක් වෙන්නත් හොඳ නැහැනෙ.
ඒ විදියේ ආදර සබඳතා කීයක් තිබිලා තියෙනවද?
දෙකක් විතර.
විරහව අත් වින්දේ කොහොමද?
මම කාවවත් අත්හැරියේ නැහැ. මම සම්බන්ධතා කියන ඒවා අන්තිම මොහොත දක්වා අල්ලාගෙන ඉන්නවා. විරහව නම් ඉතින් උපරිමයෙන් විඳලා තියෙනවා. හැබැයි අද ඒ ගැන හිතද්දී ඇයි එහෙම වුණේ කියලත් හිතෙනවා. කොහොම වුණත් මගෙන් අත්හැරීමක් වෙලා නැති නිසා මට හිත හදාගන්න පුළුවනි.
බිලේෂා කිව්වාම මොන වගේ අදහස් තියෙන කෙනෙක්ද?
මට හිතෙන විදියට මම අහිංසකම නැහැ. කතා කළ යුතු දේ කෙළින් කතා කරන කෙනෙක්. මට හිතෙන විදියට මම අවංක කෙනෙක්? මට හොඳයි කියලා හිතුනොත් ඒ දේ කරනවාමයි. මම කෙළින් තීරණ ගන්න කෙළින් වැඩ කරන කෙනෙක්.
බිලේෂාට එන ප්‍රේම ආරාධනා වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ.
පාසල් කාලයේදී මගෙන් කවුරු හරි ඇහුවොත් මම කළේ පහුවදා එයාගේ මූණවත් නොබලා හිටපු එක. පසු කාලයකදී තේරුම් ගන්නේ එහෙම නොකළ යුතුයි කියලයි. එයාට තේරුම් කරලා දීලා බොහොම හොඳින් අයින් වෙලා හිටියොත් හොඳයි කියලයි. මම කැමති නැත්නම් බොරු බලාපොරොත්තු දෙන්නේ නැහැ. මගේ හිතේ කැමැත්තක් ඇති වුණොත් මම එයා අහනකල් ඉන්නෙත් නැහැ. එයාට කෙලින්ම ඒ ගැන කියනවා. ඒ මගේ හැටි.
අපි වීදුරුමල් ගැන කතා කරමු.
චාමර ජනරාජ් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයක්. මට ඒ නාට්‍යයේ තිර පරීක්ෂණයකට යන්න ලැබුණේ අහම්බයකින්. එහිදී මාව ධනංජය සිරිවර්ධන අයියගේ චරිතයේ බිරිඳ ලෙස තෝරා ගත්තා. එයා රඟපාන්නේ ධනුක යන චරිතයයි. දේශපාලන කතාවක් පසුබිම් කර ගත් නාට්‍යයක්. මගේ චරිතයේ හැටියට ආදරණීය බිරිඳක්. මට වඩා සැමියා වයසින් වැඩියි. ගෙදරින් ආ යෝජනාවකට අනුව විවාහවෙන්නේ. ඒ විදියට තමයි කතාව ගලාගෙන යන්නේ.
මොනවද මතකයන් මේ චරිතය රඟපාද්දී?
චාමර ජනරාජ් මහතා හරිම හොඳ අධ්යක්ෂවරයෙක්. වැඩ කරන්න හරි පහසුයි. වීදුරුමල් නාට්‍යයේ ප්රවීනයින් සහ අනෙක් සියලුම ශිල්පීන් හරිම මිත්රශීලියි.
මේ හැර වෙන මොනවටද දායක වුණේ?
දැනට මේ නාට්‍ය විතරයි. වෙනදා වගේම කෙටි චිත්‍රපට සහ වෙබ් නිර්මාණවලට දායක වීම නම් දිගටම කරනවා.
කොහොමද බිලේෂා නිවාඩු දවස ගෙවන්නේ.
ගෙදරට වෙලාම තමයි ඉන්නේ. කෑම කනවා නිතර ෆිල්ම්ස් බලනවා. සිංදුත් අහනවා. සමහර වෙලාවට නටනවා. එක්කෝ නිදා ගන්නවා. චිත්‍ර අඳින්න බැරි වුණත් බැරි ගාතේ චිත්‍ර අඳිනවා. ගෙදර පූසන් කීප දෙනෙක් ඉන්න නිසා ඒ අය බලා කියා ගන්නවා. පූසෝ 7ක් හිටියා. දැන් ඉන්නේ 4 දෙනයි.
සිංදු කියන්නේ නැද්ද?
මම මේ වන විට යුග ගීයක් ගයලා තියෙනවා. ගායන හැකියාවත් තියෙනවා. පාසල් කාලයේදී තරඟ වලටත් ගියා. සමස්ත ලංකා ප්‍රථමයා පවා වුණා. ඒත් සිංදු කියන්න මට පොඩි ලැජ්ජාවක් තියෙනවා.
මේ දිනවල වැඩිපුර අහන ගීත මොනවද?
අමරසිරි පීරිස් සහ උමාරියාගේ සඳ කිඳුරු ගීතයට ආසයි. පියත් රාජපක්ෂගෙ දවසක් ඒවි, කාංචනා අනුරාධිගෙ කාලි, දනිත් ශ්‍රී ගේ එහෙම දේවල් නෑ මගේ හිතේ මේ දිනවල නිතර අහන ගීත වලින් කීපයක්.
ජීවිතය කියන්නේ මොකක් කියලද හිතෙන්නේ?
හරිම අදහසක් නැහැ. දුක–සතුට අඩු වැඩි වශයෙන් මුසු වූ දෙයක්. දෛවය කියලා හිතුවොත් නිකම්ම ගෙවිලා යාවි. ඒ නිසා අපි කරන දේ අනුව ජීවිතය වැටහේවි, කොහොම වුනත් ජීවිතය ලස්සනයි.
සඳුන් ගමගේ