මම එච්චරටම ලස්සනයි කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනහව ඇයගේ මුහුණට ගෙන දෙන්නේ තවත් සුන්දරත්වයකි. ඒ සුන්රත්වයෙන් පිරිපුන් ජයග්‍රහණයේ සිනහව පසුගියදා ඇය ගෙන දුන්නේ මුළු රටටමය. ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ආසියානු ශූරතාව රටට හිමිකර දුන් ජයග්‍රාහී කණ්ඩායමේ නායිකාව ලෙසය. “මේ ජයග්‍රහණයට හේතු වුණේ, අපේ සමස්ත ක්‍රීඩිකාවන්ගේ ශක්තියයි, එකමුතුකමයි. ඒ විතරක් නෙවෙයි, පුහුණුකාරිනිය, සභාපතිනිය ඇතුළු තිරය පිටුපස සිට අපට ශක්තියක් ධෛර්යයක් වූ සියලුම දෙනා නිසයි.” හෘදසාක්‍ෂියකට එකඟව ඇය එලෙස පවසන්නීය. එය මොන තරම් නම් හොඳ ගුණාංගයක්ද. රුව වගේම, අදහස්වලින්ද එලෙසින් සුන්දර වූ ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව වන සුරූපී, ගයාන්ජලී අමරවංශ, ක්‍රීඩිකාවකට අමතරව හොඳ කලා හැකියාවක් ඇති සුන්දර තරුණියකි. බලන්නකෝ මේ කතාබහෙන් ඔබට ඒ ගැන හොඳින්ම පසක් වේවි.

සම්පූර්ණ නම?

ගිම්හානි ගයාන්ජලී අමරවංශ.

වැඩිපුර කැමති, ගිම්හානි කියනවටද? ගයාන්ජලී කියනවටද?

හැමදෙනාම වගේ දන්නෙ ගයාන්ජලී නමින්.

ගයාන්ජලී මොන වගේ, මොන විදියෙ කෙනෙක්ද?

බොහොම නිහතමානී, හැමෝටම උදවු කරගෙන, තමන්ගෙ වැඩ කොටස හරියට කරගෙන, වගකීම් හරියට ඉටු කරන්න කැමති කෙනෙක්.

හැමෝම වගේ කියන්නෙ ගයාන්ජලී ලස්සනයි කියලයි. ඉතින් අපට කියන්නකො මේ හැඩකාරිය කොහොමද දැල්පන්දු ක්‍රීඩාවට ආවෙ?

මම එච්චරටම ලස්සනයි කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ. නෙට්බෝල් ක්‍රීඩා කරන්න ආවෙ පොඩි කාලයේදීමයි. තුන වසරේ ශිෂ්‍යාවක ලෙස සිටියදී තමයි නෙට්බෝල් ක්‍රීඩාවට ආවෙ. මලල ක්‍රීඩා අංශයෙන් පටන් අරගෙන, පසුව ජිම්නාස්ටික් කළා. මීටර් 100, 200 දිවීම සහ දුර පැනීම මුලින්ම කළේ. පාසලේ පළමු වසරේ ඉඳලාම මලල ක්‍රීඩා කළා කිව්වොත් හරි. මගෙ අක්කා මලල ක්‍රීඩා එහෙම කරද්දි අම්මා මාව ඒ තරග නරඹන්න එක්කගෙන ගියා. ඒ ආභාෂය නිසා ක්‍රීඩාවට හිත ගිය බව කියන්න පුළුවනි.

පාසලේදී කලා අංශයේ වැඩවලට දායක වෙලා නැද්ද?

ළමා කාලයේදී පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කළා. මම ඉගෙන ගත්තෙ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්.

උඩරට නර්තන ශිල්පිනියක ලෙස දක්‍ෂයි කියලා ආරංචියි?

කුඩා කාලයේ ඉඳලාම සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම කළේ නර්තන විෂයය. උඩරට නර්තන අංශය ප්‍රගුණ කළේ. ප්‍රාථමික අංශයේ සිටියදී නර්තන තරග බොහොමයකට දායක වුණා. ඒත් පසුව නෙට්බෝල් කරද්දි දෙකෙන් එකක් තෝරා ගන්න සිද්ධ වුණා. ඒ අනුව නෙට්බෝල් තෝරා ගත්තා. ඒ විදියට තෝරාගත්ත නෙට්බෝල් ක්‍රීඩාව නිසා ඉදිරියට ආ බව කියන්න පුළුවනි.

ගයාන්ජලීගෙ පවුලේ විස්තර කියමු?

අම්මයි, තාත්තයි, මමයි, අක්කයි.

අම්මයි, තාත්තයි ගැනත් කියමු?

කාලයක් තාත්තා හිටියෙ විදෙස්ගත වෙලා. අම්මා රැකියාවක් කළේ නැහැ. දෙන්නම දැන් ඉන්නෙ ලංකාවේ.

ගයාන්ජලී උපන්නෙ නුවර?

ඔව් මගේ ගම නුවර කටුගස්තොට.

නුවර’ අය ටිකක් ආඩම්බරයිලු. ගයාන්ජලිත් එහෙමද?

ආඩම්බරයි කියලා කියන්න බැහැ. නුවර වීම ගැන සතුටුයි. මොකද නුවර කියන්නෙ ඓතිහාසික නගරයක් වගේම ලස්සන නගරයක්. ඒ ගැන ආඩම්බරයි.

ගයාන්ජලීට රඟපාන්න එන්න කියලා ආරාධනා ලැබිලා නැද්ද?

දැන්වීම් දෙකකට විතර කතා කළා. ඒත් වෙළඳ නාම ප්‍රමෝට් කරන්න බැරි නිසා ඒවාට ගියේ නැහැ. මම සේවය කරන්නෙ හැටන් නැෂනල් බැංකු ආයතනයේ. ඉතින් මගේ යුතුකම වෙන්නෙ 'HNB' ආයතනයේ ප්‍රවර්ධන කටයුතු උදෙසා පෙනී සිටීමයි. රඟපෑමට නම් තවම ආරාධනා ලැබිලා නැහැ.

හරි මෙතැනින් පසුව ඔබට රඟපෑමට ආරාධනා ලැබුණොත් බාර ගන්නවද?

හිතලා බලන්න ඕනෑ. මම දන්නෙ නැහැ මට රඟපාන්න පුළුවන්ද කියලා. ආරාධනාවක් ලැබුණොත් උත්සාහ කරලා බලනවා.

ගයාන්ජලිගෙ වයස කියන්න කැමතිද?

එළැඹෙන දෙසැම්බර්වලට 27 යි.

මේ වනවිට විවාහකද? ප්‍රේමවන්තියක්ද?

තවම විවාහ වෙලා නැහැ. හැබැයි ප්‍රේමවන්තියක්.

ගයාන්ජලිගෙ ප්‍රේමය කොහොමද?

හොඳයි. මගේ ගමනටත් සහයෝගයක් ලබා දෙනවා. පවුලෙන් වගේම ඔහුගෙනුත් විශාල සහයෝගයක් ලැබෙන්නෙ. ඒ තේරුම් ගැනීම නිසා මගේ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රේමය, ගයාන්ජලීට දැනෙන්නෙ කොහොමද?

අවබෝධ කර ගන්නා තරමටම ප්‍රේමය සුන්දරයි. ඔහුට මා ගැන හොඳ අවබෝධයක් තියෙන්නෙ. මටත් එයා ගැන හොඳ අවබෝධයක් තියෙන්නෙ. ඒ නිසා ප්‍රශ්න අඩුයි. නිදහස අයුතු විදියට ප්‍රයෝජන නොගෙන ඉන්නා තාක් ප්‍රශ්න ඇති නොවේවි.

හොඳින් ආදරය කරන්න නම් මොන වගේ කටයුතු කළොත් හොඳයි කියලද ඔබ තරුණ පරපුරට කියන්නෙ? 

දෙදෙනාම දෙදෙනා තේරුම් ගැනීම ඉතා වැදගත්. එයාගේ කාර්ය මොනවද, තමන් මොනවද කරන්නෙ කියන දේ ගැන හරි අවබෝධයක් තිබීම වැදගත්. එකිනෙකාට උදවු කර ගැනීම තිබිය යුතුයි. බැඳීම් ශක්තිමත් වෙන්නෙ එතකොටයි.

විවාහ වීම, විවාහ ජීවිතය මොකක් කියලද හිතන්නෙ?

තවම විවාහ වෙලා නැති නිසා ඒ ගැන ලොකු අවබෝධයක් දැනට නැහැ. විවාහයට සූදානම් වෙමින් ඉන්නෙ. විවාහ වීම කියන්නෙ දෙදෙනෙක් අතර සිදුවන ලොකු බැඳීමක් වගේම, බැඳීම් පවුරක් ඇතිවන දෙයක්. පවුල් වශයෙන් සහ දෙදෙනෙක් අතර බැඳීම් ඇතිවන අවස්ථාවක්. එකිනෙකා අතර වූ ගරුත්වය මත තමයි, විවාහය ශක්තිමත් වන්නෙ. අපි අපේ අම්මා - තාත්තාගෙන් දැක්කෙ ගෞරවණීය විවාහ ජීවිතයක්. ඉතින් ඒ විදියෙ යහපත් විවාහ ජීවිතයක් ගෙන යාම අපි කාගෙත් වගකීමක්. අත්දැකීම් ලබාගෙන, අවබෝධය, ගරුත්වය තිබෙනම් දිගු ගමනක් යන්න පුළුවනි.

ගයාන්ජලී, අපි ආයෙත් ඔබගෙ කලා හැකියාවන් ගැන කතා කරමු. කණ්ඩායමේ අනෙක් යාළුවො කියන්නෙ ඔයාට හොඳට ගීත ගයන්න පුළුළුන් කියලයි?

හොඳටම කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් තාලයකට, ෂේප් එකේ සිංදුවක් කියා ගන්න පුළුවන්.

සංඛ දිනෙත්ගෙ ගීතවලට හරිම ආසයිලු නේද? මොකක්ද එයාගෙ කැමතිම ගීතය?

රෝස කල්පනා.

රෝස කල්පනාවෙ ඉන්න ගයාන්ජලී, කලා අංශයේ තවත් මොන දේටද කැමති?

ගායන වැඩසටහන්, නර්තන වැඩසටහන්, ෆිල්ම්ස් වගේ බොහෝ දේ නරඹන්න, අහන්න කැමතියි. පොඩි අයගෙ නර්තන සහ ගායන තරග නරඹන්නත් ආසයි. නිදහස් වෙලාවට ගීත අහන්න ආසයි.

ගයාන්ජලීගෙ ප්‍රියතාවයේ ඉහළින් ඉන්න නළු - නිළියන් කවුද?

හේමාල් රණසිංහට කැමතියි.

නෙට්බෝල් හැර වෙනත් ආසම ක්‍රීඩාව?

පිහිනුම් ක්‍රීඩාවට ආසයි.

ලංකාවේ ක්‍රිකට් සහ නෙට්බෝල් එක්වර ශූරතා දිනුවා. ගයාන්ජලී ක්‍රිකට්වලට ආසා නැද්ද?

මම එච්චරටම ලොකු ක්‍රිකට් රසිකාවියක් නෙවෙයි. සීමිත කාලයකදී පැවැත්වෙන ක්‍රීඩාවලට තමයි වැඩිපුර ආසා කරන්නෙ.

ඔබ කැමතිම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඉන්නෙ මොන කණ්ඩායමේද?

ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්ට කැමතියි. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩිකාවන් අතරින් වඩා කැමති, මෑතකදී සමුගත් එංගලන්ත ක්‍රීඩිකාවට සහ නවසීලන්ත ක්‍රීඩිකාවක ඉන්නවා.

ගයාන්ජලීගෙ උසට සරිලන පෙනුම සහ හැඩකාර බව එක්ක, රූ රැජින තරගයකට එහෙම යන්න මේ දක්වා අදහසක් ඇති වුණේ නැද්ද?

එහෙම හිතලා නැහැ.

මෙවර නෙට්බෝල් ආසියානු ශූරතාව දිනීමේ රහස මොකක්ද?

කණ්ඩායමේ එකමුතුකම, සහෝදරාත්මක බැඳීම. ඒ වගේම පුහුණුකාරිනිය ඇතුළු පරිපාලනයේ කැපවීම වගේම සභාපතිනියගේ නිවැරැදි නායකත්වය ඇතුළු සියල්ල යහපත් වීම නිසයි. කණ්ඩායමක් ගත්තොත් එකිනෙකාගෙ අදහස් වෙනස්. නමුත් ඒ කණ්ඩායමේ වගකීම් හඳුනාගෙන, අවබෝධය සහ එකමුතුකම තිබුණාම තරග දිනන්න පුළුවනි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ