මම ඉපදෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ, දැන් මට වයස 26 යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇස දුටු සමාජයේ උත්තරීතර සහෝදර ප්‍රේමයේ සංවේදීම සිනමා සිත්තම ‘‘හිතුමතේ ජීවිතේ’ පසුගිය දිනවල රිදී තිරයට එක්වූ නවතම සිනමා පටයයි. හිතුමතේ ජීවිතේ ප්‍රධාන භූමිකාව වන ‘කුමාරි’ගේ චරිතයට පණ දෙමින් සිනමා ප්‍රේක්‍ෂකාගාරයට එකතු වූ අලුත් රුව තමයි මරියෝන් වෙත්තසිංහ. ඇයගේ ප්‍රථම සිනමා අත්දැකීම වන හිතුමතේ ජීවිතේ සිනමාපටය වෙනුවෙන් ප්‍රංශයෙන් ලංකාවේ සිනමාවට ගොඩබැස්ස මරියෝන් වසර 5 කට පසු තිරගතවන හිතුමතේ ජීවිතේ ගැන ප්‍රංශයේ සිට අපට කිව්වේ මෙවන් කතාවක්.

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මොකද හැංගිලා?

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැංගිලා නෙමෙයි චිත්‍රපටයේ අධ්‍යෂවරයා විසින් ප්‍රධාන නිළියව හංගලා. මම ප්‍රධාන නිලිය වුණාට පෝස්ටර් එකකවත් මගේ නම නැහැ.

කොහොම වුණත් මේ චිත්‍රපටය ලංකාව පුරා සිනමාශාලාවන් තුළ මේ දිනවල තිරගත වෙනවා. මරියොන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය තිරගත වෙලා තාම දින කිහිපයයි. මේ දිනවල ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රේක්‍ෂයන්ගේ ප්‍රතිචාර මම විඳිනවා.

මමත් චිත්‍රපටය බලන්න ආසාවෙන් හිටියා. නමුත් මට මේ වෙනකම් චිත්‍රපටය බලන්න අවස්ථාව ලැබිලා නැහැ. චිත්‍රපටය අවසන් වුණාට පස්සේ විශේෂිත දර්ශන වාර කිහිපයක් පෙන්වලා තිබුණා. ඒ කිසිම දේකට මට ආරාධනා කළේත් නැහැ. චිත්‍රපටයේ Premiere එකට මම හිතුවා මට ආරාධනා කරයි කියලා. මම හරිම ආසාවෙන් හිටියා ඒ අවස්ථාවට එන්න. මට කිසිම වෙලාවක චිත්‍රපටයේ Premiere  එකට එන්න අකැමති වුණේ නැහැ. ඒ ගැන හිතේ ලොකු කණගාටුවක් තිබුණත් කුමාරිගේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරවලට මම ගොඩක් ආදරෙයි සහ ඒ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.

හිතුමගේ ජීවිතේ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්න මරියෝන්ට කොහොමද අවස්ථාව ලැබෙන්නේ?

මේ ගමනට මඟ පෑදෙන්නේ මගේ ගායන හැකියාවෙන්. රජීව් සෙබෙස්තියන් මහත්මා ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසංගයකට ආපු වෙලාවේ මට රජීව් අංකල් එක්ක ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඔහු මහේෂ් නිශ්සංක මහත්මාට මාව හඳුන්වා දීලා ජාතික රූපවාහිනියේ විකාශනය වන සිහිනයකි රෑ වැඩසටහනෙන් මට ගීත ගයන්න අවස්ථාව ලැබුණා.

මම සිහිනයකි රෑ වැඩසටහනට සහභාගි වුණ වෙලාවේ ජයනි සේනානායක මහත්මිය ටී.වී. එකෙන් මාව දැකලා මහේෂ් නිශ්සංක මහත්මාගෙන් මා ගැන අහලා තිබුණා. ඒ වෙනකොට හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුමාරිගේ චරිතයට කෙනෙක් හොය හොයා ඉඳලා තියෙනවා. පසුව ජයනි මහත්මිය දායක වෙන චිත්‍රපටයේම ඇයගේ දුවගේ චරිතයට මාව යෝජනා කරලා තිබුණා.

මම ඊට කලින් ජයනි අක්කා එක්ක කතා කරලාවත් මුණගැහිලවත් තිබුණේ නැහැ. සිහිනයකි රෑ ඉවර වුණාට පස්සේ ජයනි අක්කා මගේ නම්බර් එකට කෝල් එකක් දීලා චිත්‍රපටයක රඟපාන්න කැමතිද කියලා ඇහුවා.

ඇත්තටම මට චූටි කාලේ ඉඳලා රඟපාන්න හරිම ආසාවක් තිබුණා. හැබැයි මට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. ජයනි අක්කාගේ ඒ යෝජනාව අවාම මට ලොකු සතුටක් දැනුනා වගේම බයකුත් දැනුනා මේක භාරගන්න. කොහොම වුණත් කුමාරිගේ චරිතයට පණ පොවන්න ලැබුණේ මට ජයනි අක්කා නිසා.

කැමරාව ඉදිරියට එනකොට ඔබ රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නැද්ද?

නැහැ. විශේෂයෙන් සිනමා රංගනය ගැන අත්දැකීමක්වත් !දැනුමක්වත් තිබුණේ නැති නිසා ‘කුමාරිට’ සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා මම ගොඩක් කල්පනා කළා. හිතුමතේ ජීවිතේ කියන්නේ මගේ පළමු චිත්‍රපට අත්දැකීමනේ. ජයනි අක්කා මට චරිතය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා වගේම චරිතයේ පසුබිම හැඩතල මේ හැමදේමත් තේරුම් කරලා දුන්නා. අම්මාගේ යාළුවෙක් හරහා පිටපත මට ප්‍රංශයට එවලා තිබුණා. පිටපත කියවපු පළමු වතාවෙම කුමාරි වෙනුවෙන් මට හැකි උපරිමයෙන් මේ චරිතය කරනවා කියලා හිතාගත්තා. කුමාරි විඳපු දේවල් මම ජීවිතේ කවදාවත් අත්විඳලා නැහැ. ඒත් සුවහසක් කුමාරිලා වෙනුවෙන් ඇගේ කතාව සමාජයට කිවයුතුයි කියලා හිතුවා.

මගේ දෙබස් සියල්ලම මම කටපාඩම් කළා. හිතේ මවාගත්ත කුමාරි ඇතුලේ මම ජීවත් වුණා. විශේෂයෙන් කියන්න ඕන මම කැමරාවට කලාවට අලුත් වුණත් ලංකාවේ ඉන්න දැවැන්ත පුද්ගලයන් පිරිසක් සමඟ තමයි මට වැඩ කරන්න ලැබුණේ. කුමාරි කියන චරිතය ගොඩනගාගන්න මට අමුතුවෙන් ඉගෙන ගන්න ඕන වුණේ නැහැ. ඒ ප්‍රවීණයන් මට ගොඩක් දෙවල් කියලා දුන්නා. කොහොම වුණත් අපේ රංගනයේ හොඳ නරක තීරණය කරන්නේ අපේ ප්‍රේක්ෂකයෝ. මේ දවස්වල මම ඒක විඳිමින් ඉන්නවා.

කුමාරිව මරියොන්ට දැනුණේ කොහොමද?

කුමාරි කියන්නේ ගමක සාමාන්‍ය පවුලක අයියා අම්මා තාත්තා තුන්දෙනාගේ ආදරය මැද හැදෙන දියණියක්. සමාජ අසාධාරණය ඇතුලේ බැටකමින් හිංසනයන්ට ලක්වෙලා මේ පොළවට මිහිදන් වෙන කුමාරිලා වගේ තරුණියෝ පුංචි දරුවෝ මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. බලය පාවිච්චි කරලා අයුතු ලෙස අහිංසක මිනිස්සුන්ව පාගාගෙන ගැහැණු දරුවන්ව බිල්ලට ගන්න කුමාරිලා වගේ අයව පොඩි කරලා දාපු නරුමයෝ මේ සමජයේ සැරිසරනවා.

 සමහර දර්ශන කරද්දි මගේ ඇස්වලට ඇත්තටම කඳුළු ආපු අසරණ වුණ තැන් තිබුණා?

කුමාරිව දූෂණය කරන තැනදි මම ඒක නිළියක් විදිහට නිරූපණය කළාට එදා ඇත්තට කුමාරි මොනතරම් වේදනාවක් දරාගැනීමක් හිතේ තදකරගෙන ඉන්න ඇතිද කියන වේදනාව මට තදින්ම දැනුණා.

ඔබේ පළමු චිත්‍රපටය පිළිබඳව මරියොන් තෘප්තිමත්ද?

හිතුමතේ ජීවිතේ මගේ පළමු චිත්‍රපටය වුණත් ඊට පස්සේ කරපු විජයබා කොල්ලය චිත්‍රපටයේ රඟපෑ රූපා බිසවගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

මරියෝන්ට ඉදිරියට අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?

මම දායක වුණු දඩඉම චිත්‍රපටය ඉදිරියේදි තිරගත වීමට නියමිතව තියෙනවා. මම ලංකාවේදිත් මහේන්ද්‍ර පෙරේරා මහත්මාගේ රංගන පාසලෙන් ඉගෙන ගත්තා. මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරත් රංගන පාසලක අධ්‍යාපනය හදාරනවා. විශේෂයෙන් කියන්න ඕන ජයනි සේනානායක අක්කා නිසා තමයි මම රංගනශිල්පිනියක් වෙන්නේ. හිතුමතේ චිත්‍රපටය තුළ හදවතින්ම ස්තූති කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඇය පමණයි.

මරියොන් ගැන විස්තර ටිකකුත් කියමු?

මම ඉපදෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ. දැන් මට වයස 26 යි. මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තායි, අයියායි. මම ප්‍රංශයේ ඉපදුණත් ශ්‍රී ලංකාව මගේ රට. මගේ රටේ සංස්කෘතියට මම ආදරෙයි.

නදීශා අතුකෝරළ  / ඡායාරූප - සුමුදු හේවාපතිරණ