මම ඇත්තටම සිංහල ගීතවලට ආස වුණේ ඔහුගේ ගීත ශෛලිය නිසා
කලාව කියන්නේ ආදරය, ළයාන්විත බව මුදු මොලොක් රසයට විතරක්ම නෙමෙයි. පෙරලීම්, සංවාද, හැප්පීම්, ගැටීම්, මරාගැනීම් මේ රසය ඇතුලේ අපට ඕනෑ තරම් මුණගැහෙනවා. කොහොම වුණත් මේක සමාජ මාධ්‍ය ඇතුළේ හොඳට හෝ නරකට ‘‘එරබදු මල් පිපිලා’’ ගීතයට දෙබරු ඇනපු වෙලාවක්.
හැබැයි මේක දෙබරු ඇනපු වේදනාව වැඩි කරන්න කරන කතාවක් නෙමෙයි. එක්තරා නාලිකාවක අවුරුදු සංගීතමය වැඩසටහනක් අතරතුර අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන නදීර නෝනිස් ඔහුගේ දියණියත් සමග ගයනවා හරි අපූරු ගීතයක්. ඒ හඬට මිනිස්සු වශී වෙන්නේ හරි පුදුමාකාර විදිහට. ඒ අතරේ ඒ ජනප්‍රිය ගායන ශිල්පියාම තම ෆේස්බුක් ගිණුමේ තබනවා මෙන්න මේ වගේ එක්තරා සටහනක්.
‘‘මම දුවත් එක්ක අවුරුදු වැඩසටහනේ ගායනා කළ ගීතය You tubeවලින් අයින් කරන්න කියලා එහි අයිතිය තියෙන රජීව් සෙබස්තියන් මහත්මයා ඉල්ලා සිටියා. කලාකරුවකු විදිහට තවත් කලාකරුවකුගේ ඉල්ලීම මා කැමැත්තෙන් සහ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා අතර, එම වීඩියෝව You tube එකෙන් මේ මොහොතේ අයින් කරනවා. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න කලාකරුවාණෙනි.
උපුටා ගැනීම අවසන්.........
කලාකරුවෙක් විදිහට ඇත්තටම රජීව් ඔබ නදීරට කරපු දේ හරි ද? ඔබ අසන්නෙත් එය නම් අපි ආවෙත් ඒ ප්‍රශ්නයට උත්තර සොයාගෙන.
නොදැන හුඟක් අය කියන කතා ගැන මේ දවස්වල හොඳටම දැනෙන කෙනා ඔහු. ප්‍රවීණ ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් සමගයි මේ කතා බහ.
‘‘එරබදු මල් පිපිලා
දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින්
රටටම සිරියාවයි....’’
මේ තරම් ජනප්‍රියත්වයක් එරබදු මල් ගීතයට ලැබුණේ පළමු වතාවට ද?
ඇත්තටම ඔව්. එරබඳු මල් පිපිලා ගීතය ප්‍රේක්ෂකයා අතර මේ තරම් අසීමිත ජනාදරයට පාත්‍ර වෙන්නේ අවුරුදු 20කට විතර පස්සේ.
මම ඉතින් කතෝලිකයානේ... ඒත් මම හරි ආසයි අවුරුදු සිරියාවට. ඒ සංස්කෘතියට මම හරි ආසයි. මම ආගම් ජාති භේද නැති සංස්කෘතිය එක්ක ඉන්න කෙනෙක්. ඒ අවුරුදු මිහිරියාව මීට අවුරුදු විස්සකට විසි පහකට කලින් මගේ අතින් ලියවෙනවා. ඒකට සංගීතයත් මගෙන් නිර්මාණය වෙනවා. මම ක්ලැරන්ස් මහත්මා තරම් පට්ට පොරක් නෙමෙයි. ඒ කාලේ මම දන්න දැනුම අනුව එරබදු මල් පිපිලා ගීතය ලියලා තනුවත් යොදලා සෑහෙන කට්ටක් කෑවා මේ ගීතය කරන්න. අවුරුදු විස්සක් තිස්සේ හැම අවුරුදු කාලෙකම සුපර් මාර්කට් එකකට ගියත්, නාලිකාවක් දැම්මත් මේ ගීතය ඇහුණා.
ඇත්තටම මේ ගීතයට තනුව දාලා මට ඕන වුණේ මේක ශෂිකා නිසංසලා එක්ක ගයන්න. නමුත් ඒ කාලේ ඇයව සම්බන්ධ කරගන්න සන්නිවේදන පහසුකම් තිබුණේ නැහැ. ඔය අතරේ වෙන කලා වැඩක දී නෙලූ අධිකාරි මුණ ගැහුණා. පස්සේ මට හිතුනා මේකට හොඳටම ගැළපෙන්නේ නෙලූ අධිකාරි කියලා. නෙලූගේ හඬට මම බොහොම ප්‍රිය කළා.
ඒ ගීතයම නදීරයි දියණියයි කියද්දි ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?
අවුරුදු 20කට ඉහතදි කට්ට කාලා කරපු ගීතයේ වටිනාකම තවත් දෙගුණ තෙගුණ වුණා කියන හැඟීම දැනුණා. අලුත් පරම්පරාවේ ඒ වැඩේට මම හරි ආසයි. ඒ ගැන හරිම සතුටුයි. අනිත් මිනිස්සුන්ට දැනුන රසය ම මටත් දැනුණා. ඒක හරි සරලයි.
ක්ලැරන්ස් විජේවර්ධන මහත්මාගේ ගීත ගායනා කරලා ක්ෂේත්රයට ආපු ඔබ ඔබේ ගීතයක් තව කෙනෙක් ගයනකොට හිතට එකඟව අකමැති වෙන්න පුළුවන් ද?
කොහෙත්ම අකමැත්තක් නැහැ. කිසිම කෙනෙකුට අද වෙනකම් මම මගේ ගීත ගයන්න එපා කියලත් නැහැ. මම ආසයි මගේ ගීත අනිත් අය ගයනවට. එරබදු මල් පිපිලා ගීතය ගත්තත් මගෙයි නෙලූගෙයි හඬට වඩා වෙනත් රසයක් ඒ ගීතයේ තිබුණා. මාත් පෞද්ගලිකව ඒ දුවයි නදීරයි ගයපු ගීතයට බොහෝ ප්රියකළා. ඒ පුංචි දරුවාගේ හඬත් එක්ක හිතුවාට වඩා මේ ගීතය ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ඇත්තටම වෙන කෙනෙකුගේ ගීත කියාගෙන ක්ෂේත්රයට ආපු මට සදාචාරාත්මක අයිතියක් නැහැ මගේ ගීත ගයන්න එපා කියන්න. ඒ වගේම මමත් තාත්තා කෙනෙක්. මේ ගීත පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕන.
එහෙනම් ගැටලුව තියෙන්නේ කොතනද?
මගේ දරුවෝ සින්දු කියන්න එන්නෙ නැහැ. එතකොට මට ජීවිතේ එක තැනකදි යම් යම් කාරණා කිහිපයක් එක්ක මගේ එරබදු මල් පිපිලා, කොන්ඩේ නැතත් ඉන ගාවට, සමුගන්න බැහැ, හමුවෙලා මා හදිසියේ කියන ගීත ගණනාවක් එක්තරා ආයතනයකට පවරන්න ඕන කියන මතයට එනවා. ඇත්තම කියනව නම් මේ එරබදු මල් ගීතය ඇතුළු ඒ ආයතනයට පවරලා තියෙන මගේ ගීතවල අයිතිය දැන් මටවත් නැහැ. අයිතිය තියෙන්නේ ඒ පවරපු ආයතනයට. ඒ මම පවරපු ආයතනයෙන් අවසර අරන් යූටියුබ් දාන්න ඕන දෙයක් කරන්න පුළුවන්.
මේක ගායනා කරලා තියෙනවා මම දැක්කා. පොඩි දරුවෙක් නිසා මම මුකුත් නොකියා හිටියා. කිසිම දෙයක් විමසන්න ගියේ නැහැ. අවුරුදු ඉවර වුණාම මම ඒ අදාළ TV ආයතනයට කතා කළා. ඒ වෙන මොකටවත් නෙමෙයි, මේක යූටියුබ්වලින් විතරක් අයින් කරන්න කියලා. හේතුව මම මේ ගීතය දීලා තියෙන ආයතනයට යම් නීති රීති රෙගුලාසි කිහිපයකට බැඳිලා ඉන්නවා. හවසම මම නදීරට කතා කළා. මම ඔහුට කාරණාව පැහැදිලි කළා. අපි සුහදව කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඔයා දුව එක්ක ඕනම තැනක මගේ ගීත කියන්න, මුදල් හම්බ කරන්න. මට තිබුණේ TV චැනල් එක ඒක යූටියුබ් දාපු ගැටලුව විතරයි කියලා.
ඒ TV ආයතනය මගෙන් මේක කරන්න කලින් ඇහුවේ නැහැ. ඇහුවා නම් මේ ගැටලුව මේ තරම් දුරදිග යන්නේ නැහැ. ගිය අවුරුද්දේ දෙරණ නාලිකාවෙන් කතා කරලා ඇහුවා මම මේ ගැටලුව කිව්වා. එයාලා වැඩසටහන කළා. නමුත් යූටියුබ් දැම්මේ නැහැ.
ක්ලැරන්ස්ගේ ගීත ලෝකයට රජීව් සෙබෙස්තියන්ව මුණ ගැහෙන්නේ කොහොමද?
මම ඇත්තටම සිංහල ගීතවලට ආස වුණේ ඔහුගේ ගීත ශෛලිය නිසා. මම ඔහුට ලියනවා. ඔහු මුණගැහෙන්නේ ඊට පස්සේ. මුලින්ම ශබ්දාගාරයක් දකින්නේ ඔහු නිසා. එතනින් පටන් ගත්ත හිතවත්කම දිගටම ගියා. ඉංග්‍රීසි ගීත කියපු මම එතුමා නිසාම 1999දී සිංහල ගීතයක් ගයනවා. ක්ලැරන්ස් මහතා මට ‘‘දිනුම පරාදය’’ ලියලා තනුව දාලා ඔහු මට නොමිලේම දුන්නා. මම ඇත්තටම වෙන ගමනක් යන්න හිටපු කෙනෙක්. මම ආස වුණේ ක්ලැරන්ස් අයියාගේ හඬට මිසක් මගේ හඬට නෙමෙයි. ක්ලැරන්ස් මහත්මා නොහිටින්න අද රජීව් සෙබස්තියන් කියලා කෙනෙක් ගායන ලෝකයේ නොහිටින්න තිබුණා. මට ආශිර්වාදයක් වුණේ එතුමාගේ ගීත. එහෙම ආපු මට කවදාවත් කුහකයෙක් වෙන්න බැහැ.
ඒ වගේම එරබදු මල් ගීතය ලියලා මියුසික් කරලා තියෙන්නේ මම කියලත් ප්‍රේක්ෂකයෝ දැනගත්තේ මේ සිදුවීමෙන් පස්සේ.
නදීශා අතුකෝරළ