මම ආසයි කාගේවත් හිත නොරිද්දවා ජීවත් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි නාට්‍ය නරඹන බොහෝ දෙනා අතර මේ දිනවල කතාබහට ලක්වෙන චරිතයක් තමයි පිවිතුරු. මේ පිවිතුරු අපට හමුවන්නෙ ධනුෂ්ක රත්නායකගෙ ‘හිත ළඟ හිනැහුනා’ නාට්‍යයේ චරිතයක් ලෙසයි. එදා ඉතින් ඊට පස්සෙ සිරිමෙවන්, උතුම් පැතුම් - ෆේස් බුකා, මුතුවරුසා - බණ්ඩාර ලෙස ජනප්‍රියය වූ අද පිවිතුරු නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය වී සිටින ලසන්ත උඩුකුඹුර ශිල්පියා සඳැල්ලට ආවේ මේ විදියටයි.

ලසන්ත කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි.

බොහෝ දෙනෙක් ජීවිතේ ගැන ඇහුවාම එක පාරටම හොඳයි කියන්නෙ නැහැ?

ඔව්. ඒක ඇත්ත. අපි අපේ ජීවිත ධනාත්මක විදියට හිතුවොත් එතැනම අපි ලස්සනයි. මේ දිනවල ප්‍රශ්න – ප්‍රශ්න කියා හිතුවොත් ජීවිතයම ප්‍රශ්නයක්. ඒ නිසා මොන දේ හෝ වේවා හොඳයි කියලා හිතුවොත් හොඳයි. ඕනෑම ආගමක උගන්වන්නෙත් ඒකනෙ. අමුතුවෙන් භාවනා කරන්න ඕනැ නැහැ. ඒ මොහොතට ආසා කරන දේ හරියට හිත පිරිසිදුව කරනවා නම් ඒක භාවනාවක්. එවිට තමන්ගෙ හිතත් ඔළුවත් අමුතුවෙන් භාවනා කරලා හදා ගන්න ඕන නැහැ.

අපි මතුපිටින් දකින ලසන්තට වඩා ඇතුළාන්තයෙන් වෙනස් කෙනෙක් වගෙයි.

අපි ටෙලිවිෂනයේදි, වේදිකාවේදී කරන්නෙ චරිත. එතකොට ඒ චරිතවලට විතරයි පණ පොවන්නෙ. ඒත් චරිතවලට පෙනී සිටින්නෙ ලසන්ත උඩුකුඹුර නොවෙයි. දැන් මේ කතා කරන්නෙ ඇත්ත ලසන්ත උඩුකුඹුර.

කවුද මේ ඇත්ත ලසන්ත උඩුකුඹුර?

ඒත් ලසන්ත උඩුකුඹුරම තමයි.  මම මෙහෙමයි අර විදියයි කියලා බැහැ. අපට තියෙන්නෙ මුළු ජීවිත කාලය පුරාම කරන දේට අනුගත වෙලා ජීවත්වීම කියලයි මට හිතෙන්නෙ. මම ආසයි කාගේවත් හිත නොරිද්දවා ජීවත් වෙන්න. මම මගේ අරමුණු කරා යන්න ඒවාට කැප වෙන්න මහන්සි වෙන්න දරුවන්ගෙ අනාගතයට ඔවුන් වෙනුවෙන් කැප වෙන්න ආසයි.

ලසන්තගෙ ගෙදර විස්තර?

මගේ නෝනා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස වැඩ කරනවා. එයාගෙ නම කුමාරි හේරත්. මගේ ලොකු පුතාගෙ නම රේණුජ උඩුකුඹුර. එයාට දැන් 21ක්. එයා තවම ඉගෙන ගන්නවා. දුව සිතුලි උඩුකුඹුර. එයා සා/පෙළ ඉවර කළා. දැන් ෆැෂන් ඩිසයිනින් ගැන ඉගෙන ගන්න හදනවා.

ලසන්තගෙ කැදැල්ල සුන්දරයි?

ඔව්. ප්‍රශ්න එනකොට ඒවාට මුහුණ දීගෙන ජීවිතය ශක්තිමත් කර  ගන්නවා. ප්‍රශ්න එක්ක තද කරලා හිර කරලා ජීවිතය ගෙන යන්න අමාරුයි. ඒ නිසා ප්‍රශ්න ප්‍රශ්න විදියට ගන්නෙ නැහැ.

බොහෝ දෙනා කියන්නෙ ලසන්ත වයසට යන්නෙ නැහැ කියලයි? ඇත්තටම මේකෙ රහස මොකක්ද?

මම විශ්වාස කරන එක දෙයක් තමයි අපි ගත කරන හැම නිමේෂයක්ම සන්තෝෂයෙන් සතුටින් බුද්ධියෙන් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ නිමේෂයත් සතුටුයි. ආපස්සට හැරිලා බැලුවාම සතුටු කාලයක් දකින්නෙ. එහෙම හිතුවාම මුළු ජීවිතයම සතුටින් ඉන්න පුළුවන්. සතුට තමයි බාහිර පෙනුමට මුල් වන්නෙ.

ඔබගෙ උපන්දිනය ජූනි 07 මෙවර උපන්දිනය විශේෂ වුණේ ඇයි?

සාමාන්‍යයෙන් මම ගෙදර අය එක්ක කේක් කපනවා හැරෙන්න වසර ගණනාවක් තිස්සෙ පාටි ගත්තෙ නැහැ. එදා ඉඳලම මම මාව මේ ලෝකෙට බිහිකළ අපේ අම්මාට පිංසිද්ධ වේවා කියලා සෑම උපන්දිනයක් දවසෙම මහරගම අපේක්ෂා රෝහලට ගිහින් ලේ දන්දෙනවා. ඒක තමයි මගේ පාටිය. ඒක නිසා මම ලබන සතුට අපමණයි.

ලසන්ත වෘත්තියෙන් ප්‍රධානව කරන්නෙ.

චිත්‍රපට සහ රූපවාහිනී වෙළඳ දැන්වීම්වලට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. වසර ගණනාවක් තිස්සේ මගේ ජොබ් එක ඒක.

රඟපෑමට ලැබෙන චාන්ස් අඩුයිද? නැත්නම් ඔබ යන්නෙ නැද්ද?

මගේ ජීවිතේ ඇත්තටම ආසම දේ රඟපෑම. ඒත් මේ දක්වා බොහොම සීමිත නිර්මාණ කීපයක විතරයි රඟපාලා තියෙන්නෙ. ඒත් ඒ ප්‍රමානය පොඩි වුණාට කළ දේ මිනිසුන්ට මතකයි. හැමදාම මට වැඩ එනවාට වඩා ඒකට කැමතියි. ඒ නිසා මම ඒ චරිතයට විතරක්ම කැප වෙන්න පුළුවනි.

හරි, පිවිතුරු ගැන කතා කරමු? මේක වෙනස් චරිතයක්ද?

පිවිතුරුගෙ වගේ චරිතයකට කියන්නෙ ‘සමරිසි’ චරිතයක්. ඒ වගේ මනෝභාවයන් තියෙන ජන කොට්ටාස පිරිමි/ගැහැණු දෙපාර්ශ්වයෙන්ම ඉන්නවා. මම කරන්නෙ එයින් පිරිමි චරිතයක්. එයාලා ලස්සනට අඳිනවා. ලස්සනට කතා කරනවා. එයාලා හරි ආසයි සතුටින් ජීවත් වෙන්න. ජීවිතෙ එයාලා විඳින්න ආස බව පෙනෙනවා. මම කොයිම වෙලාවකදීවත් සැබෑ ජීවිතයේදී එයාලගෙ හැසිරීම්. කන බොන විදි, කතා කරන විදිය, ඇවිදින විදිය හෝ එයාලව උපහාසයට ලක් කරන්නෙ නැහැ. එහෙම අපහාසයට උපහාසයට ලක් කරන්නෙ නැතුව ගති පැවතුම් තියෙන චරිතයක් තමයි මම නිරූපණය කරන්නෙ. ඒ චරිතයට ඕවර් ඇක්ටින් කරලා අපහාසයට ලක් කරන්න කැමති නැහැ.

කොහොමද පිවිතුරුට ලැබෙන ප්‍රතිචාර ?

හරි ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙ. මේ ළඟදි දවසක වාහනේ යන්න තෙල් නැතුව බස් එකේ ගියා. හරි අමාරුවෙන් බස් එකෙන් බැහැ ගත්තෙ. පිවිතුරු ගැනමයි මිනිස්සු අහන්නෙ. ඒක ලියන්නෙ මහේෂ් රත්සර මද්දුමආරච්චි. එයා ඒ චරිතය ලස්සනට ලියනවා. පිවිතුරුගෙ නම හැදිලා තියෙන විදිය දන්නවද?

නැහැ. කියන්න අපට? 

පිල්ලෑවේගෙදර විල්සන් හතුරුසිංහ, පිල්ලෑවෙන් පි අරගෙන විල්සන්ගෙන් වි අරගෙන ටිකක් අගට වෙන්න හතුරුසිංහගෙන් ‘තුරු’ අරගෙන දැන් මම පිවිතුරු.

ගෙදර නෝනා මේ චරිතය බලල මොනවද කියන්නෙ?

නෝනා පුතා දුව මේක බලලා හරි ලස්සනට මේක කරනවා කියලා කියනවා. මේක චරිතයක් විතරයි කියලා එයාලා දන්නවා. නළුවකුට විවිධ චරිත කරන්න වෙනවා.

ඔබගෙ හිත ළඟ හිනැහුණ ‘කුමාරි’ ගැන කියමු?

මගේ ජීවිතයේ අම්මාගෙන් පසුව මට හමුවූ මවක් වගේ ගුණ යහපත් බිරිඳක්. ප්‍රේම සම්බන්ධයකින් අපි හමුවුණේ. ඕක හරි සුන්දර අත්දැකීමක්. ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ රැජිණ ටෙලි නිර්මාණයේ වැඩට තරුණ සේවා සභාවට ගියාම තමයි මුලින්ම මට ඇයව හමුවුණේ.

තවත් ඉදිරි නිර්මාණ මොනවද?

චිත්‍රපට තුනක විතර ඇඳුම් නිර්මාණ වැඩ කරන්න තියෙනවා.

ඔබ ඇඳුම් නිර්මාණය කළ නැගලා ගිය දැන්වීම් මොනවද? වැඩියෙන්ම ජනප්‍රියවූ?

බොහෝ ජනප්‍රිය වෙළඳ නාම යටතේ නිර්මාණය වූ දැන්වීම් තියෙනවා. කොකා කෝලා දැන්වීමේ සිට විජය කුළුබඩු දක්වා දැන්වීම් රැසක ශිල්පීන්ට ඒ විදියට ඇඳුම් නිර්මාණය කළා.

සඳුන් ගමගේ