මම ආපහු අධ්යක්ෂණයට අතගහන එකක් නෑ - Arjuna Kamalanath
අකිල සඳකැළුම් අධ්‍යක්ෂණය කළ “හදගැස්ම” සිනමා පටයට අර්ජුන රංගනයෙන් දායක වෙලා ඉන්නවා. නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ වසර කිහිපයකට පසුව නේද?
ඔව්... මීට පෙර “කුසල්” කියලා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටය තිරගත වුණා. ඊට පසුව “කිඩ්නැප්” චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක තවම තිරගත වුණේ නැහැ. ඉතින් “කුසල්” චිත්‍රපටයට පසුව මම දායක වුණු නිර්මාණයක් වසර අටකට පස්සෙ තමයි තිරගත වෙන්නෙ. 2018 අවුරුද්දෙ මම නිෂ්පාදනයෙන් දායක වුණු “ඝරසරප” චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. නමුත් ඒකෙ මම රඟපෑවෙ නැහැ.
මෙය අකිල සඳකැළුම්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණයයි. ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න හේතු වුණේ මොකක්ද?
අකිල ඊට පෙර පිටපත අතේ තියාගෙන නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක් ළඟට ගිහින් තිබුණත් ඒ නිර්මාණය කිසිම කෙනෙක් භාරගෙන තිබුණෙ නැහැ. පසුව අකිල මම ළඟට ආවා. මම ඊට පෙර ඔහුව රංගන ශිල්පියෙක් විදිහට දැනගෙන හිටියා. අකිල තුළ ලොකු උනන්දුවක් තිබුණා. අධ්යක්ෂවරයෙක් විදියට ඔහු කොයි වගේද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඔහු තුළ තිබුණු උනන්දුව නිසාම මගේ මිතුරන් කිහිප දෙනෙක් වුණු මහාචාර්ය සාගර කරුණාතිලක, ආචාර්ය රංජිත් පරණවිතාන සහ සිරිල් රාජපක්ෂ වැනි මහත්වරුන් මුණගැහිලා මම මේ ගැන කතා කළා. ඒ අනුව අපි “ඉසුරු ෆිල්ම්ස්” නමින් අකිලගේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන්න තීරණය කළා. අකිල චිත්‍රපටයට සාධාරණයක් කළා. ඔහු හරි ලස්සනට, පිළිවෙළට, කිසි කෙනකුගේ හිත නොරිදවා ඉතා ඉවසීමෙන්, නම්‍යශීලීව, ලස්සනට නිර්මාණය කළා. නළුවෙක් විදියට ඔහු මගෙනුත් සෑහෙන වැඩ ගත්තා. හින්දී, දමිළ කිසිවක කොපියක් නොවන ලස්සන සිනමා පටයක් අවසානයේදී ඔහු විසින් නිර්මාණය කරලා තියෙනවා.
අකිල මුලින් රංගන ශිල්පියෙක්. අද ඔහු සිනමා අධ්යක්ෂවරයෙක්. අර්ජුන හිතන විදියට ඔහු වැඩියෙන්ම සාර්ථක වුණේ රංගන ශිල්පියෙක් විදිහටද? අධ්යක්ෂවරයෙක් විදිහටද?
ඔහු කොහොමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ ඇඟේ රංගනය උපරිමයෙන්ම තියෙනවා. නමුත් ඔහුගේ ඇඟේ අධ්යක්ෂවරයෙක් හිඳීවිද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. ඉස්සරහට රංගනයට වඩා ඔහු අධ්‍යක්ෂණයෙන් ඉදිරියට යාවි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔහු නිතරම චිත්‍රපට බලනවා. අලුත් කැමරා කෝණ පාවිච්චි කරනවා. හදගැස්ම සිනමා පටයේ සංගීත අධ්යක්ෂවරයා වන්නෙ ලක්මාල් ප්රනාන්දුයි. ඔහුත් අති දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහුගේ පළමු සිනමා සංගීත නිර්මාණයත් හදගැස්ම චිත්‍රපටයයි.
අර්ජුන රංගන ශිල්පියෙක්, අධ්යක්ෂවරයෙක්. අකිල අධ්‍යක්ෂණයේදී ඔබත් සමඟ කතා කළාද?
ඔව්... සමහර අඬන දර්ශන, සංවේදී දර්ශන රූගත කිරීම් කරද්දී අපි දෙන්නා කතා කළා. මගේ අදහස් කිව්වා. අකිල නම්‍යශිලීව ඒවා ඇහුවා. මගේ සමහර ඒවා ඔහු වෙනස් කළා. මමත් නම්‍යශීලීව ඒ දේවල්වලට ඇහුම්කන් දුන්නා. මම චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළා. දෙකක් තිරගත වුණා. එකක් ඉදිරියේදී තිරගත වේවි. හැබැයි එහෙම අත්දැකීම් තිබුණත් අලුත් නිර්මාණයට මම මැටි ගොඩක් විදියටයි එකතු වුණේ. අර්ජුන කමලනාත් කියන රංගන ශිල්පියා මැටි ගොඩක් විදිහට ආවාට අධ්යක්ෂවරයෙක් විදියට ආවෙ නැහැ. ඒ නිසා ඒ අධ්යක්ෂවරයාට අවශ්‍ය විදියට ඒ මැටි ගොඩ රූපයට අඹාගන්න මම ඉඩ දෙනවා. ලංකාවේ සිනමාවේ ඉතා දක්ෂ තරුණ අධ්යක්ෂවරයෙක් විදියට අකිලව මට හඳුන්වන්න පුළුවන්. ඔහු ඒ තරම් දක්ෂ, ඉතා හොඳ චරිතයක්.
“හදගැස්ම” චිත්‍රපටයේ නිර්වාන්ගේ චරිතය ගැන කතා කළොත්?
නිර්වාන් වගේ චරිතයක් මම රඟපාපු පළවෙනි අවස්ථාවයි. නිර්වාන් විජේමාන්න කියන්නෙ බොහොම අභිමානයෙන් ජීවත් වෙන චරිතයක්. හැබැයි ඔහු වීදියෙන් ජීවිතය පටන් ගත්ත කෙනෙක්. නිර්වාන් යාචක අම්මා කෙනකුගේ පුතෙක්. එහෙම පටන් ගත්ත චරිතය නගරයේ වෙළෙඳ සංගමයේ සභාපති තනතුර දක්වා ඉදිරියට යනවා. නොයෙක් පරාසයන් ඔස්සේ ඒ චරිතය විහිදී යනවා. ඔහු නංගිට අසීමිතව ආදරය කරන සහෝදරයෙක්. චිත්‍රපටයේදී මගේ පෙනුම පවා වෙනස් කරගන්න සිදුවුණා. දැඩි වෙහෙසට පත්වෙන්න සිදුවුණා. මම අඬන දර්ශන කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ සිනමා පටයේ සමහර තැන්වලදී මට ඉකි ගගහ අඬන්න සිදුවුණා. ඒක මට කරන්න හරි අමාරු වුණා. මෙහිදී ශාලිකාව අමතක කරන්නම බැහැ. ඒ වගේම නයෝමි, කැමරා අධ්‍යක්ෂණය කරපු චරිත් වගේම, තේ හදපු මල්ලිගේ සිට හැමෝම නිර්වාන් විජේමාන්නට සාධාරණයක් කරන්න උදව් කළා. මේක මගේ ජීවිතේ හැරවුමක් කියලයි මට හිතෙන්නෙ. කවුරු කාට කොච්චර ආදරය කළත් ජීවිතේ අයිති තමාටමයි. ඇස් සහ මොළය දෙක පාවිච්චි කරලා චිත්‍රපටය බැලුවොත් ඒක බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට වැටහේවි. එහෙම ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය නරඹනවනම් අපි කැමතියි. කසිකබල් හින්දි, දෙමළ කොපිවලට වඩා හදගැස්ම ඉතා උසස් චිත්‍රපටයක් බව මම කියනවා.
ඔබ රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්. සිනමා නිර්මාණයක් භාරගන්න කල් ගන්නවා නේද? තෝරා බේරා ගැනීමක් කරනවාද?
ඔව්... මාව ටෙලිනාට්‍යවල දකින්නම නැති තරම්. ඒ නිසා මාව රූපවාහිනියෙන් දකින්න නැහැ. රියැලිටි වැඩසටහන්වල නැහැ. මගේ චිත්‍රපටයක් රූපවාහිනී නාලිකාවක ගියා හැර, චිත්‍රපටයක් එන කාලයේදී රූපවාහිනී වැඩසටහනකට ගියා හැර, රූපවාහිනියෙන් මාව දකින්න ලැබෙන්නෙත් නැහැ. පසුගියදා රටේ දැවැන්ත සිනමා නිර්මාණයකට මට ආරාධනා කළා. ඒත් ඇතැම් හේතු නිසා අවසානයේදී මම ඒකට අකමැති වුණා. චරිතවලටත්, මුදලටත් වඩා ඒ වැඩ කරන අයගේ ළෙන්ගතුකමට මම හරි ආසයි. හිත රිදෙන වචනයක් හරි කිව්වොත් මම එතැනින් ඉවත් වෙනවා. අපිම කරන නිර්මාණයකට රංගනයෙන් දායක වෙනවා හැර අනිත් නිර්මාණ මම භාරගන්නෙ හරි අඩුවෙන්. හැබැයි නොකරනවා නෙවෙයි. මම නිර්මාණ නවයක් නිෂ්පාදනය කළා. එයින් මම රඟපෑවේ හයක පමණයි. රජිත හිරාන්ගේ අලුත් චිත්‍රපටයකට දායක වුණා. ඒකෙ කොටසක් ජපානයේ රූගත කිරීම් කළා. සිංහල සිනමාවට වෙනත් වෘත්තිකයන්ව මම නිෂ්පාදනයෙන් සම්බන්ධ කර ගන්නවා. ඔවුන්ට සිනමාව සම්බන්ධයෙන් ආසාවක් ඇති කරවලා ඔවුන්ට සාධාරණයක් ලැබෙද්දි ඔවුන් සිනමාවේ රැඳිලා ඉන්නවා. කලාව කියන්නෙ ආදරයත් එක්ක කරන වැඩක්.
ඊළඟට අර්ජුන රංගන ශිල්පියෙක් විදියටද, නිෂ්පාදකවරයෙක් විදියටද, අධ්යක්ෂවරයෙක් විදියටද දකින්න ලැබෙන්නෙ?
මම බොහෝ විට ආයෙත් අධ්‍යක්ෂණය කරන එකක් නැහැ. ඒක හරිම කැපවීමෙන් කළ යුතු දෙයක්. රංගන ශිල්පියෙක් විදියට මම දිගටම ඉඳීවි. හැබැයි ඇත්තම කතාව මම ටිකක් කම්මැලියි. වැඩිය වෙහෙසෙන්න කැමති නැහැ. මේ වෙද්දී චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළා. ඒ ඇති. දැන් අලුත් දක්ෂ කොල්ලො සිනමාවට එනවා. ඒ දක්ෂයන්ට පුළුවන් විදියට නිෂ්පාදක මහත්වරුන්ව මෙහෙයවලා සිනමා කර්මාන්තයට පුළුවන් තරම් දායකත්වයක් ලබා දෙන්න උත්සාහ කරනවා.
අද පවතින සිනමාව ගැන ඔබට මොකද හිතෙන්නෙ?
අපි මෙච්චර මහන්සි වෙද්දී මේවායේ තියෙන ප්‍රශ්නත් සීමාවක් නැහැ. “හදගැස්ම” ට දර්ශන වාර දෙකක් දෙන්නම් කිව්වට තවමත් දර්ශන වාර එකයි ලැබිලා තියෙන්නෙ. සමහරු “හදගැස්ම” බලන්න සිනමාහල්වලට ගියාට ඒකෙ තිරගත වෙන්නෙ වෙනත් චිත්‍රපටයක්. සිනමාවේදීන් විදියට දුෂ්කරතා විඳිමින් දැවැන්ත රූගත කිරීම් කරලා චිත්‍රපටයක් නිර්මාණය කරන්නෙ රූපවාහිනියෙන් බලන්නවත්, අන්තර්ජාලයෙන් බලන්නවත් නෙවෙයි. මිනිසුන්ට එවැනි නිර්මාණ කරන්නෙ සිනමාවේ සැබෑ රසය විඳගත හැකි සිනමා තිරයේ දකින්නයි. සිංහල සිනමා ශාලාවල වැඩි වශයෙන් තිරගත වෙන්නෙ දමිළ චිත්‍රපටයි. මේ බෙදාහරින සිස්ටම් එක වෙනස් කළ යුතු වෙනවා. සිනමාවෙන් සෑහෙන පිරිසක් ජීවත් වෙනවා. චිත්‍රපට පෝස්ටර් ගහන කෙනා පවා කරන්නෙ රස්සාවක්. ඒ නිසා සිනමාව අපි රැකගත යුතුයි.
• දිශානි ජයමාලි