මම ආදරේ ලබනවා. ආදරේ විඳිනවා. ප්‍රේමය ලැබෙන ඕනම කෙනෙක් පෙම්වතියක්
වේදිකා නාට්‍ය මෙන්ම ටෙලිනාට්‍ය සිනමාව තුළ නිරන්තරයෙන් දකින්නට නොලැබුණත් තමන්ටම අනන්‍යය වූ රංගන පෞරුෂයක් තුළ විවිධ හැඩතල සොයමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය තිලක්ෂණි රත්නායක මෙවර අපේ කතානායිකාවයි. මේ දිනවල නොනිමි ටෙලි නාට්‍යයේ ‘තමිලිනී’ ගේ චරිතයෙන් ප්‍රේක්ෂකාගාරය හැඩ කරන ඇය කලාව සහ ජීවිතය පිළිබඳ සොඳුරු කතාබහකට එකතු වුණේ මෙලෙසිනි.
මාණික්කාවතේ සුගුණහාමිට සමුදෙනවාත් එක්කම තිලක්ෂණීට තමිලිනීව මුණගැහෙන්නේ කොහොමද?
ඇත්තම කතාව නම් මාණික්කාවත පිටපත මගේ අතට ලැබෙන්න කලින් තමයි නොනිමි පිටපත මට ලැබෙන්නේ. මාණික්කාවත ආරම්භ වෙද්දි නොනිමි කොටස් කිහිපයක් රූපගත කිරීම් කරලා තිබුණේ.
ඒත් කොවිඩ් ප්‍රශ්න නිසා නොනිමි රූපගත කිරීම් ඒ වේලාවේ නතර වුණා. ඒ අතරතුර තමයි මට මාණික්කාවතේ සුගුණහාමිගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම ආවේ මාණික්කාවත ටෙලි නාට්‍යය.
මාණික්කාවත අවසන් ෙවනවාත් සමගම නොනිමි විකාශනය ආරම්භවීම ලොකු සතුටක්. වෙනත් චරිත එක්ක වෙනස් ප්‍රතිචාර විඳින්න මම හරි ආසයි.
තමිලිනීව මට මුණගැහෙන්නේ නොනිමි අධ්යක්ෂ සුරාජ් මාපා අයියාගේ ආරාධනයත් එක්ක.
තමිලිනිගේ චරිතය වෙනුවෙන් ඔබේ රුව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?
ඇත්තටම තමිලිනීගේ චරිතයට ගැලපෙන කෙනෙක් සුරාජ් මාපා අයියා සොයලා තියෙනවා. කීප දෙනෙක්ම බලලත් තියෙනවා. ඒ අතරේ දසුන් පතිරණ සුරාජ් අයියාට මං ගැන කියලා තියෙනවා. මම ගොඩක් වෙලාවට දමිළ විදිහට ඇඳලා ෆොටෝ ෂූට් කරනවා. සුරාජ් අයියා ඒ ෆොටෝ එහෙමත් බලලා මට කතා කළා.
හැබැයි එකපාරටම සුරාජ් මාපා අයියා කතා කරලා මේ නිර්මාණය ගැන කිව්වාම මං කල්පනා කළා සුරාජ් මාපා කියන්නේ නළුවෙක් මිසක් අධ්යක්ෂවරයෙක් නෙමෙයිනේ. කවුද මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන සුරාජ් මාපා කියලා මට ටික වෙලාවක් කල්පනා කළා. පස්සේ තමයි පටලැවිල්ල ලිහාගෙන වැඩේට කැමති වුණේ.
සුරාජ් අයියා එක තැනකදි කිව්වා මගේ දමිළ විදිහට කරපු ෆොටෝ බැලුවම තමිලිනීට හරියන රූපය මෙයා තමයි කියලා සුරාජ් අයියාට හිතුණලු. තමිලිනිට මාව තෝරා ගැනීමට විශේෂම හේතුව වුණේ මගේ තියෙන දමිළ පෙනුම කියලා තමයි ඔහු කිව්වේ. ඊට පස්සේ සුරාජ් අයියා මට කතා කරලා චරිතය ගැන කතාව ගැන ලොකු අවබෝධයක් දුන්නා. කතාව ගැන කිව්වාම මට තමිලිනී වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා හිතුනා.
කොහොමද මේ දවස්වල තමිලිනීට ලැබෙන ප්‍රතිචාර?
ටෙලි නාට්‍ය පටන් අරන් තාම ලොකු කාලයක් නැතත් ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මම ඇත්තම දමිළ කෙනෙක්ද කියලා ඒ ලැබෙන ප්‍රතිචාර අතරේ ගොඩක් දෙනෙක් අහනවා. රූපගතකිරීම්වලදිත් මම දමිළ කෙනෙක් කියලා හිතලා දෙමළෙන් කතා කරන අය පවා ඉන්නවා.
ඇත්තටම තිලක්ෂණීට දෙමළ ආභාසයක් තියෙනවද?
මම ඉපදෙන්නේ හැදෙන්නේ කොළඹ කොටහේන ආශ්‍රිතව. මේ මුළු පරිසරයේම ඉන්නේ දමිළ ජනතාව. මේ පරිසරයේ සිංහල පවුල් ඉන්නේ ටික දෙනයි. ගොඩක් ඉන්නේ දෙමළ කතෝලික, දෙමළ හින්දු, සිංහල කතෝලික ජන කොටස්. මමත් සිංහල කතෝලික. සිංහල බෞද්ධ මිශ්‍රණයක්. දෙමළ සංස්කෘතිය තුළ තමයි මමත් හැදුණේ. බහු ආගම්, බහු සංස්කෘතික ලක්ෂණ පුංචි කාලේ ඉඳලා මම ලැබූ නිසා දෙමළ සංස්කෘතිය මට හරි පුරුදුයි.
තිලක්ෂනී දෙමළ යුවතියකගේ චරිතයකට දායක වුණේ පළමු වතාවටද?
‘නැහැ’ මට යාපනය, වව්නියාව, මඩකළපුව ආශ්‍රිතව දමිළ සිනමාකරුවන්ගේ කෙටි චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරතුර දෙමළ භාෂාව කතා කරන චරිත කිහිපයකුත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවන් සියල්ල මට ජීවිතේ ලැබුණ සුවිශේෂ අත්දැකීම් සමූහයක්. තමිලිනීගේ චරිතය ගොඩනගා ගන්න ඒ දමිළ කෙටි චිත්‍රපට හරහා ලැබුණ ආභාසය පුහුණුව සෑහෙන්න මට උදව් වුණා.
අපි තමිලිනී ගැන කතා කරමුද?
තමිලිනී කියන්නේ යුද සමයේ එල්ටීටීඊ එකට සම්බන්ධ වෙලා හිටපු තරුණියක්. යුද්ධය අවසන් වෙනවාත් එක්කම ඇය පුනරුත්ථාපනය ලබලා අධ්‍යාපනය ලබලා, හොඳ පුහුණුවක් ඇතුව රජයේ ආයතනයක සේවය කරමින් හොඳ ජීවන තත්ත්වයකට ළඟාවුණු තරුණියක්. අපේ රටේ යුද වාතාවරණයෙන් පසුව දමිළ තරුණ තරුණියන්ට සිද්ධ විය යුතු දේවල් සිදු වුණාද සහ ඒ සමස්ත ප්‍රජාව මයි තමිලිනීගේ චරිතය තුළින් නියෝජනය කරන්නේ.
ප්‍රේමය කියන දේ ඇය තුළත් තියෙනවා. මානුෂීය හැඟීම් ඇය ළඟත් තියෙනවා. ඇය ශක්තිමත් ගැහැණියක්. ඇයගේ ප්‍රේමය හරි පෝසත්. අපි දකින්න ආස කරන බොහෝ දේවල් අතර ඉවසීම, දරාගැනීම කියන කාරණා තමිලිනිගේ ප්‍රේමය ඇතුලේ දරුණු විදියට තියෙනවා. මම දකින තමිලිනීගේ ප්‍රේමය හරිම බරයි.
නොනිමි කියන්නේ වෙනත් විදිහේ රසයක් අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට විඳින්න පුළුවන් ටෙලි නිර්මාණයක්. ඒ වෙනස් අත්දැකීම විඳින්න නම් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නොනිමි නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම සුරාජ් අයියා ඇතුළු නොනිමි සමස්ත කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. මාව මේ සඳහා දායක කර ගත්තාට.
වේදිකාව පැත්තෙන් මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු?
සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ඉදිරිපත් කරන ළමා නාට්‍ය උළෙල දෙසැම්බර් මාසේ පැවැත්වෙනවා. මේ දවස්වල ඒ සඳහා පුහුණුවීම් කරනවා. ඊට අමතරව රාජිත දිසානායකගේ නාට්‍ය උළෙලක් තියෙනවා. ජනවාරි මාසයේ ඒ සඳහාත් පුහුණුවීම් කටයුතු කරගෙන යන ගමන් නොනිමි රූපගත කිරීම්වලට දායක වෙනවා.
තිලක්ෂණීගේ කලා ගමන ආරම්භ වෙන්නේ පාසලෙන්ද?
පාසලෙන් අයින් වුණාට පස්සේ තමයි ප්‍රසිද්ධ වේදිකාවේ කෙටි නාට්‍ය හරහා තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ මට හිතුනා අධ්‍යාපනයෙන් කලාව දිගටම කරගෙන යන්න. මම ඉහළ අධ්‍යාපනය ලැබුවේ පරිගණක අංශයෙන්. ඒත් මම ඒ සියල්ල එක්තරා මොහොතකදී නතර කරලා තමයි කලාවට අවතීර්ණ වෙන්නේ. කලාවට ආවට පස්සේ ආපහු හැරෙන්න ගියේ නැහැ. ඒ අතහැරපු දේවල් ගැන මම කෙහෙත්ම පසුතැවෙන්නේ නැහැ. කලාව තෝරා ගැනීම බොහොම සිහියෙන් ගත්ත තීරණයක්.
තිලක්ෂණී එක තැනකදී සිනමාව තුළ බොහොම කතාබහට ලක්වූ කෙනෙක්.
ඇත්තටම ප්‍රසන්න විතානගේ මහත්මාගේ උසාවිය නිහඬයි චිත්‍රපටය සමග ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනා මං ගැන සොයන්න ගත්තා. උසාවිය නිහඬයි මගේ දෙවැනි සිනමා පටය. මම ඒක භාරගත්තේ සිනමාව ගැන අධ්‍යයනය කරන්න. විෂම භාග චිත්‍රපටයත් මට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටයක්. එම චිත්‍රපටයට ජාත්‍යන්තර ඇගයීම් පවා ලැබුණා. පුංචි තිරයේ නිර්මාණ අතුරින් මට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරපු නිර්මාණයක් තමයි තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝගේ චරිතය. වේදිකාවෙන් නම් කාලෙන් කාලෙට වෙනස් ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.
තිලක්ෂණී භාර ගන්න චරිතවලට සීමා මායිම් නැද්ද?
මම චරිත බෙදීමක් කරන්නේ නැහැ. චරිත භාරගද්දී මම පරිබාහිර කාරණා ගැන හිතෙන්නෙම නෑ.
පවුලේ තොරතුර ටිකකුත් කියමු?
මම පවුලේ එකම දරුවා. තාත්තා මීට වසර කිහිපයකට ඉහතදී නැති වුණා. දැන් අම්මයි මමයි ඉන්නවා.
ආදරය තිලක්ෂණීට අනුව කොයි වගේද?
තිලක්ෂණී කියන්නේ සදාකාලික ආදරවන්තියක්. මම ආදරේ ලබනවා. ආදරේ විඳිනවා. ප්‍රේමය ලැබෙන ඕනම කෙනෙක් පෙම්වතියක්. දෙමාපියන්ගේ, යාළුවන්ගේ ප්‍රේක්ෂකයන්ගේ මේ හැම පැත්තෙන්ම මට ආදරේ ලැබෙනවා. ඒකයි මම සදාකාලික පෙම්වතියක් කියලා කිව්වේ.
නදීශා අතුකෝරළ / සජීව ලක්ෂාන්