මම අපේ පවුලේ බාලයා. බුවිනි එයාගේ පවුලේ බාලයා. ඉතින් අපි දෙන්නම හැදී වැඩුණේ ඔක්කෝගෙම ආදරය සහ නිදහස එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උඹ නැති තැන මං හිංගලයෙක් වුණා...
දඩයක්කාරයෙකුත් වුණා...

විජය, මෙහෙම කියන්නෙ ‘‘ටිකිරි’’ට. හැබැයි ඉතින් විජය කියන්නෙ රොඩියෙක්. ටිකිරි කියන්නෙ උඩරට වංශක්කාර පවුලක තරුණියක්. ටිකිරි ගැන අපි මීට පෙර කතා කළානෙ. අද කතා කරන්නෙ ‘‘විජය’’ ගැනයි. ඔහු තමයි සජිත අනුත්තර. සජිත මේ විදියට අපට මේ දිනවල හමුවන්නෙ, සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘‘ගාඩි’’ සිනමා නිර්මාණය ඔස්සේය. මෙහි ප්‍රධාන රංග භූමිකාවට මහා අරුතක් ලබාදෙන සජිත අනුත්තර ඇත්තනි, තාරුණ්‍යයේ විශිෂ්ට රංග ශිල්පියා සමග අපි දොඩමළු වෙමු. 

සජිත, බොහොම කාර්යබහුලයි වගේ? 

නව වසරක ආරම්භය එක්ක, තියෙන හීනවලට අමතරව තව වැඩ කීපයකට අත ගහලා තියෙන්නෙ. ඒ වැඩ එක්ක කාර්යබහුල වෙලා. 

මොනවද තියෙන හීන? මොනවද ඒ වැඩ? 

මම ආදරේ කරන ආසා කරන කලා මාධ්‍ය කීපයක් තියෙනවා; රංගනය, ගායනය, නර්තනයට අමතරව අධ්‍යක්‍ෂණයට මම කැමතියි. ඒක මගේ හීනයක්. පසුගිය කාලයේ කණ්ඩායම් සංගීතය එක්ක මගේ සංගීත හැකියාවෙන් ගායකයකු ලෙස යමක් කරන්න පුළුවන් වුණා. මේ වසරේදී රංගනය සහ අධ්‍යක්‍ෂණ කටයුත්ත වෙනුවෙන් කාලය වැඩිපුර යොමු කරන්න සූදානමින් ඉන්නෙ. ‘‘සජ්’’ (SAJ) කියන මගේම නිර්මාණ ආයතනය යටතේ, පසුගිය කාලයේදී ‘‘කළුවර’’ කියන නිර්මාණය කළා. ඉන්පසුව නදීමාල්ගෙ ආදරියේ මියුසික් වීඩියෝව කළා. දැන් නැවත වතාවක් මියුසික් වීඩියෝ විතරක් නොවේ, කෙටි චිත්‍රපට සහ තවත් නිර්මාණ මෙන්ම චිත්‍රපට නිර්මාණ දක්වා කටයුතු කරන්නයි බලාපොරොත්තුව. 

ගෙදර දැන් වගකීම් වැඩියි නේද? තාත්තා කෙනෙක්නෙ? 

මම අපේ පවුලේ බාලයා. බුවිනි එයාගේ පවුලේ බාලයා. ඉතින් අපි දෙන්නම හැදී වැඩුණේ ඔක්කෝගෙම ආදරය සහ නිදහස එක්ක. වගකීම් තිබුණෙ නැහැ. දැනුණෙත් නැතිතරම්. ඒ විදිහට ජීවත් වෙච්ච අපි දෙන්නට මේ වගකීම් ලැබීම ලොකු වෙනසක්. ඒත් සුපුරුදු අපි දෙන්නගෙ පෙර ගෙවූ ජීවන රටාවට සාපේක්‍ෂව අපි ඒ වගකීම්ද ඉටු කිරීමට උත්සාහ ගනිමින් ඉන්නෙ. එන විදියට මුහුණ දෙන්න වෙනවනෙ. පුතා, ලොකු වෙන්න වෙන්න හෙට මීට වඩා අපට වගකීම් වැඩිවේවි. ඒ සියල්ලට සූදානමින්, සතුටින් ඒ සියල්ලට මුහුණදීම වැදගත්. 

ඇන්තනි පවුලේ බාල දරුවා ලෙස සජිත හුරතලයට හැදී වැඩුණට සජිතගේ රංගනය නම් කිසිම විටකදි,

කිසිම තැනකදි බාල නැහැ. හරිම පොහොසත් රංගනයක් ඔබට තියෙන්නෙ. ‘‘ගාඩි’’ ඊට කදිම උදාහරණයක්?
ගාඩි, ලංකාව ඇතුළෙ තිරගත වෙන්න පටන්ගෙන ටික කාලයයි තවම. ඒ කෙටි කාලයේදී මට ලැබුණු ප්‍රතිචාර ඉතාම විශාලයි. ඒ විදියට මට ලැබෙන ප්‍රතිචාර තනියෙන් බුක්ති විඳින්න මම කැමති නැහැ. මගේ මව්පියන්ගෙන් මට ලැබුණු ආභාෂය සහ කුසලතාවය, අධ්‍යාපනය සහ මාව නළුවකු ලෙස තනන්න නිර්මාණයවූ සියලු දෙනාට හිමිවිය යුතුයි. ‘‘ගාඩි’’ චිත්‍රපටයේ චරිත ගත්තොත් එය නිර්මාණය වූයේ ප්‍රසන්න විතානගේ මහතාගේ කැපවීමෙන්. එතුමා සහ ‘‘ගාඩි’’ චිත්‍රපටයේ සමස්ත කණ්ඩායමට ඒ ගෞරවය හිමිවිය යුතුයි. හොඳම දේ එළියට ගන්න, එළියට දෙන්න ඒ සමස්ත කණ්ඩායමේ කැපවීම මූලික වුණා. විශාල පුහුණුවීම් කාලයක් එක්ක තමයි අපි දර්ශන තලයට ගියේ. මගේ චරිතයේ සාර්ථකත්වයක් වේ නම්, ඊට අධ්‍යක්‍ෂවරයා සහ සෙසු කණ්ඩායමට මෙන්ම විශේෂයෙන්ම මා සමග මුහුණට මුහුණ ගැටී රඟපෑ ඩිනාරාට හිමිවිය යුතුයි. මොකද ඇක්ෂන් එන්නෙ අනෙක් පැත්තෙන් එන රියැක්ෂන් එක අනුවයි. ඇය ඉතා ප්‍රබලව ඒ චරිතයට සහ ගැලපීම සෑහෙන දුරට බලපෑවා. ඒ නිසා ඒ සියල්ලට මම ස්තූතිවන්ත වෙනවා. 

සජිත, එතකොට මේ දිනවල හමුවන්නෙ ‘‘ගාඩි’’ චරිතයෙන් විතරද? 

ටෙලි තිරය කියන්නෙ විශාල වශයෙන් ප්‍රේක්‍ෂකයින් අතරට යන මාධ්‍යයක්. නාඩගම්කාරයෝ කළ රඟපෑම සහ තවත් චරිත නිසා ඒ ප්‍රතිචාර ලැබුණා. නමුත් මම වඩා කැමති, විශාල තිරයට. නැත්නම් සිනමාවට. ඉදිරියේ මා රඟපෑ සිනමා නිර්මාණ එන්න තියෙනවා තවත්. අපේ රටේ සහ ලෝකයේ ඇතිවූ වසංගත තත්වය නිසා ටෙලි තිරය හා එක්වී පසුගිය කාලයේ කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ හැර තවත් හේතු තිබුණා. මොකද, සිවගුරුනාදන් මහතා තමයි මගේ පුංචි තිරයේ අප්පච්චි. ‘‘බොහිමියානුවා’’ හරහා මාව ටෙලි තිරයට ගෙනාවෙ එතුමා. සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා අනෙක් චරිතයයි. ඒ දෙපළට මගේ ගෞරවය හැමදාටම පවතීවි. 

‘‘ගාඩි’’ ගැන ඔබගෙ අප්පච්චි ජැක්සන් ඇත්නනි, දැනගෙන හිටියද?

ප්‍රසන්න විතානගේ මහතා ‘‘ගාඩි’’ වෙනුවෙන් ලක ලැහැස්ති වෙලා තියෙන්නෙ මීට වසර විස්සකට පෙර සිට. තිර පිටපතට එච්චරටම කාලයක් තිස්සේ ලැහැස්ති වෙලා. ඒ කාලයේ එය කළේ නම්? අප්පච්චි අද මා කරන චරිතයත්, ඩිනාරාගෙ චරිතය ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියත් කරන්න තෝරාගෙන තිබුණෙ. නමුත් මෙය පසුව මේ විදියට නිර්මාණය වුණාම මීට වසර තුනකට පෙරදී අප්පච්චිට මේ චිත්‍රපටය නරඹන්න ලැබුණා. අප්පච්චි හරි කැමති වුණා. 

එයා සතුටු වෙන්න ඇති, මේ චරිතය ඔහුට වඩා ඔබ හොඳින් කළා කියලා? 

සෑම තාත්තෙක්ම, අප්පච්චිකෙනෙක්ම බලාපොරොත්ත වන්නෙ තමාගේ පුතා ඔහුව අතික්‍රමණය කර යනවා දැකීමට. අප්පච්චි සන්තෝෂ වෙන්න ඇති. එදා හරි සන්තෝෂයෙන් මා එක්ක කතා කළේ. 

ඔබගෙ අප්පච්චි, අනතුරට මුහුණ දීමට පෙර මොන වගේ විෂයයක් ගැනද ඔබ එක්ක කතා කර තිබුණෙ? 

තාත්තා කෙනෙක් විදියට විෂයය ගැන කතා කළත්, වෙනත් දෙයක් ගැන කතා කළත්, ජීවිතයේ සාමාන්‍ය දේ ගැන කතා කළත්, මගේ අප්පච්චිගෙ මුවින් එන්නෙ අධ්‍යාපනයක් ලබාගත හැකි දෙයක්. 

සජිත ආචාර්ය උපාධිය වෙනුවෙන් විදෙස්ගත වෙන්න නේද හිටියෙ? 

කැලණිය සරසවියෙන් නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය නිම කළා. ඊට පසුව ‘‘මාස්ටර්ස්’’ (ශාස්ත්‍රපති) උපාධිය වෙනුවෙන්, විශේෂයෙන්ම ‘තියටර්’ එකට සම්බන්ධ, රංගනය, නර්තනය සහ ගායනය කියන්නෙ එකම වේදිකාවක හමුවන දෙයක්. ඒ නිසා ලන්ඩන් මියුසිකල් තියටර් එකට ගිහින් ඒ කටයුතු හැදෑරීම මගේ අරමුණක්. නමුත් කොරෝනා වසංගත තත්ත්වය එක්ක කාලය ඊට හරස් වුණා. වටිනාම දේ තමයි කාලය. නමුත් ඒ කාලය නිරපරාදේ ගෙවී ගියේ නැහැ. නාඩගම්කාරයෝ නාට්‍යයට සම්බන්ධවීම එක්ක කාලය අරුත්බර වුණා. උපාධිය කියන්නෙ සහතිකයක්නෙ. ඉතින් ඒක කඩදාසියක්. ඒක ගන්න මට ඉක්මන්කමක් නැහැ.

තාත්තා කෙනෙකු පුතෙකුට වගේම, පුතෙක් තාත්තා කෙනෙකුට අනතුරක් වෙනවා දකින්න කැමති නැහැ. ඒත් ඔබගෙ අප්පච්චිට වූ මේ අනතුර සහ සිදුවීම් හමුවේ ඔබ එය විඳ දරා ගත්තෙ කොහොමද? 

‘‘අනතුර’’ කියන වචනය තුළම තියෙන්නෙ බලාපොරොත්තු නොවුණු දෙයක්. මේ ලෝකයේ අපි හැමෝම නොදන්නා දේට මුහුණ දෙමින් තමයි ගත කරන්නෙ. හෙට මොනව වේවිද කියලා අපි දන්නෙ නැහැ. මොන දේ වුණත් අපට එය බාර ගන්න වෙනවනෙ. අපෙ අප්පච්චිට, මට විතරක් නෙමෙයි අපි හැමෝම ඒවාට මුහුණ දිය යුතු වෙනවා. අපි අපේ අප්ච්චිට ඉක්මණින්ම සුවපත් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ. 

ජැක්සන් ඇත්තනි පවුලෙ අද ඒ බැඳීම ශක්තිමත් කරන්න මූලික වෙන්නෙ කවුද?

අප්පච්චිගෙ අඩුව, මූලිකත්වය පුරවන්න අපි කාටවත් බැහැ. පවුලේ අපි හැමෝම එකට ශක්තිමත්ව එකම ප්‍රාර්ථනයයි කරන්නෙ අප්පච්චිව සුවපත් කරවන්න, සුවපත් වෙන්න. 

සඳුන් ගමගේ