මනෝ විද්‍යා අංශයෙන් වෛද්‍යවරියක හෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන්න අදහසක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ක්ෂේත්‍රයේ සචිනි ලා කීප දෙනෙක්ම ඉන්නවා. මේ සචිනිගෙ සම්පූර්ණ නම සචිනි දිල්හාරා වික්‍රමාරච්චි. නර්තන ශිල්පිණියක ලෙස ක්ෂේත්‍රයට පැමිණි සචිනි දිල්හාරා අද වන විට ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක ලෙස අපට හමුවේ. ඊට අමතරව ඉංග්‍රීසි අංශයේ නිවේදිකාවක ලෙස ද කටයුතු කරන සුන්දර සචිනි රඟපාන ටෙලි නාට්‍ය කීපයක් විකාශය වන මොහොතක මේ කතා බහ ඇය සමඟයි.

සචිනි නර්තනයෙන් රංගනයට ආවේ විශේෂ හේතුවක් තිබුණද?

කොහොමටත් පාසල් කාලයේ දී විෂය බාහිර වැඩවලට නාට්‍ය සහ කථනය වගේ දේවලට යොමු වෙලා හිටියේ. ඒ කාලයේදීම වගේ අපේ පවුලේ හිතවතකු වන අතුල අංකල් නිසා වයස අවුරුදු 10දි විතර මට රූපවාහිනි දැන්වීමකට පෙනී සිටීමට අවස්ථාව ලැබුණා. මුලින්ම දැන්වීමකට පෙනී සිටීමට පෙර පොඩිම කාලයේදීත් ටී.වී. එකේ වැඩසටහන්වලට ගිහින් තියෙනවා. ඒ විදියට කැමරාව එදා ඉඳලම මට අමුතු දෙයක් වුණෙත් නැහැ.

සචිනි ඉගෙනීම් කළේ මොන වගේ අංශයක නිරත වීමට ද?

මගේ මූලික අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටයි. කොහොමහරි මෙඩිසින් පාස් කළොත් හොඳයි කියලා හිතුවේ. අම්මගේ අරමුණ වුණේ ඒ වෙනුවෙන් මාව විදේශයකට යවලා උගන්වන්න. ඒ අතරේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නත් පටන් ගත්තා. හැබැයි දැන් ඒ අංශය මාරු කරලා මනෝ විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නවා. උපාධියට සූදානම් වන්නේ ඒ අංශයෙන්. මගේ ඉලක්කය වෙලා තියෙන්නේ එක්කෝ ආචාර්ය උපාධිය දක්වා යාමටයි. එක්කෝ මනෝ විද්‍යා අංශයෙන් වෛද්‍යවරියක හෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන්න අදහසක් තියෙනවා. මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මම ආසයි.

සචිනි දිල්හාරාගේ පවුලේ තොරතුරු කියමු?

මමයි, අම්මයි, අයියයි. අම්මා දැන් රැකියාවක් කරන්නේ නැහැ. අයියා ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙන ගෙන පුද්ගලික බැංකුවක සේවය කරනවා.

සචිනිගේ ගම?

නුවර. හැබැයි මම උපන්නේ කොළඹ දී.

පාසල් කීපයකටම ගියාලු නේද?

පාසල් 4කට විතර ගියා. ළමා වියේ දී ගම්පොළ ජාත්‍යන්තර පාසලකට. ඉන්පසුව රෝයල් ඉන්ටර්නැෂනල් සහ ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් ඉන්ටර්නැෂනල් සහ අන්තිමට ලයිසියම් කොලේජ්හි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ලන්ඩන් A/L කළේ.

පිටරටක පදිංචියට යන්න හිතුණේ නැද්ද?

ආසාවක් තිබුණා. අපේ අම්මගේ කැමැත්ත වුණෙත් මාව පිටරට යවලා උගන්වන්න. ඒත් මම ලංකාවට හරි ආදරෙයි. විදේශ සංචාරවලට ආසයි. ඒ වගේම පිටරට ඉන්නත් ආසයි. නමුත් ස්ථිර පදිංචියට නම් කැමති නැහැ. ලංකාවට තමයි ආදරේ.

ඒ කියන්නේ ලංකාවේ දාලා යන්න බැරි කෙනෙක් ඇති?

එහෙමම නෙවෙයි. ලංකාවේ හෝ කොහේ හිටියත් මට තනියම ඉන්න තවම පුරුදු නැහැ. අම්මා එක්කම තමයි ජීවිතේ නිතරම ඉඳලා තියෙන්නේ. කොහේ ගියත් යන්නේ එන්නේ අම්මා එක්ක. ඉතින් තවම මට අම්මගෙන් තොර ලෝකයක් නැති තරම්.

මේ දිනවල සචිනි රඟපාන නාට්‍යවල චරිත ගැන කියමු.

ගිවන්ත අර්ථසාද් අයියගේ රෝස සංධ්වනිය නාට්‍යයේ (VTV) සහ ස්වර්ණවාහිනියේ විකාශය වන ඉන්දික ධර්මතිලක අයියගේ මැස්සා නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව ඉඳුවරය නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වුණා. ඒකේ කොටස් කීපයක් රූගත කර අවසන්.

මේ නාට්‍ය විකාශය වීමට පෙර සචිනි ගැන වැඩිපුර කතා වුණේ?

මගේ පළවැනි ටෙලි නාට්‍ය හිරු ටී.වී. එකේ විකාශය වන ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනයක් වන අහස් මාළිගා නාට්‍යයේ. හැබැයි වැඩි දෙනෙක් කතා බහ වුණේ දෙරණ විකාශය කළ ධරණි නාට්‍ය නිසයි. ඒකේ මම රඟපෑවේ රෙහාෂා නමින්. ඒ වගේම චූටි නෝනා කියලත් කිව්වා. ඒ නිසා සමහරු මට කතා කළේ ඒ නමින්. ඒ අතරේ අපේ ජනකතා නමින් ජාතක කතා පෙළකට දායක වුණා. ඒක විකාශයට නියමිතයි.

සචිනි රෝස සංධ්වනියේ චරිතය ගැන කියමු?

පිටරටක ඉගෙන ගන්න තරුණියක්. රශ්මි කියන්නේ, බටහිර සංස්කෘතියට හැඩ ගැහැණු සංගීතයට ලැදි චරිතයක්. තමන්ව සොයා යන චරිතයක්.

මැස්සා, නාට්‍යයේ චරිතය

මැස්සා නාට්‍යයේ මගේ නම අසේනි. වයස 23 ගැහැණු ළමයෙක්. බටහිර තාලයට ලැදි කෙනෙක්. ඒත් ඒ චරිතය වෙනස්. ආදරවන්තයෙක් ඉඳලා ඊට පස්සේ ඒකට විසඳුම් සොයා යන තරුණියක්. මැස්සා නැරඹුවාම එයාට වෙන දේ බලාගන්න පුළුවනි.

ගෙදර අය කොහොමද කතා කරන්නේ චූටි නෝනා ද සුදු නෝනා ද?

සුදු දුව කියලා තමයි අම්මා කතා කරන්නේ. යාළුවෝ නම් එක එක විදියට කතා කරනවා. සච්චා, සචි ඒ විදියට එයාලට හිතෙන හිතෙන නම්වලින් අමතනවා.

චූටි නෝනා කියලා කියන්න කෙනෙක් නැද්ද

තාම නැහැ.

ඉඳලත් නැහැ?

ඉඳලා තියෙනවා. ඒත් චූටි නෝනා කියලා නම් කියලා නැහැ.

ආදරේ සචිනිට දැනෙන්නේ කොහොමද?

මම ආදරේට ගොඩාක් ආදරේ කෙනෙක්. මම ආදරේ අවශ්‍ය කෙනෙක්. ආදරයෙන් බැඳුණොත් ඉතින් ආදරේම තමයි. හරි කෙනා ලැබුණොත් සියයට සීයක්ම ආදරේ කරාවි. ආදරේදි මම හිතන්නේ මම අවංකයි.

සචිනි මොන විදියේ චරිතයක් ද?

මම ටිකක් දඟයි. එහෙම වුණාට මම මිනිසුන්ට හරිම කරුණාවන්තයි. මම මං ගැන එහෙම කොහොමද කියන්නේ? ඒත් මට දැනෙන විදියට මම හරිම සාමාන්‍ය සරල කෙනෙක්. ඕනෑ තැනකට ගියාම ඒ තැනට සුදුසු විදියට ඉන්න පුළුවන්. ජොලියේ ඉන්න කෙනෙක්.

මොනවද ඉතින් ජොලියේ ඉන්න කරන දේවල්?

අපි යාළුවෝ එකතු වුණාම කාඩ් සෙල්ලම් කරනවා. කෑමට එළියට යනවා, ට්‍රිප් යනවා, ඒ වගේ දේ තමයි කරන්නේ.

වෙනත් අයට වඩා සචිනි දක්ෂයි කියලා හිතන්නේ මොනවටද?

නර්තනයට අනික් අය වගේම මාත් දක්ෂයි කියලා හිතනවා. රඟපෑමට ආවාම කලා අංශයෙන් තව තවත් අවස්ථා ලැබුණා.

සචිනිට ආදරේ ප්‍රකාශ කරන තරුණයින් ඒ විදියට ආදරේ ප්‍රකාශ කළාම කොහොමද දක්වන ප්‍රතිචාරය?

එක එක මැසේජ් එහෙම එනවා, ඔයාට කැමතියි. ආදරේ හිතෙනවා. ඒ වගේ මැසේජ් එනවා. ඒවා ඉතිං සාමාන්‍ය දේවල්නෙ. ඒත් ඒවාට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඒත් ප්‍රේක්ෂකයින්ගේ ආදරණීය ප්‍රතිචාර වලට වගේම එයාලා අපිට අගය කළාම ඒවාට ප්‍රතිචාර දක්වනවා. අපට ඒ අය ගරුත්වය දක්වන තරමට වඩා අපි ප්‍රේක්ෂකයින්ට ගරුත්වය දක්වන්න ඕනෑ.

සචිනිත් පිරිමි ළමයි දිහා බලනවද? විශේෂත්වයක් දුටුවාම? හොරෙන්ද බලන්නේ?

ලස්සනයි කියලා දුටුවාම කෙළින් බලනවා, හොරෙන් බලන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අන්න අරයා හැඩයි නේද කියලා මගේ යාළුවන්ටත් රහසින් කියනවා.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ