මොන ඇඳුම ඇන්දත් මං ලස්සනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රයිනි චාරුකා ගුණතිලක ...අපි බොහෝම ආදරය කරන ජේෂ්ඨ ගායක රූකාන්ත ගුණතිලක මහතාගේ සහ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ආදරණීය වැඩිමල් දියණිය. දෙමව්පිය උරුමයෙන් ම කුඩා කාලයේ පටන්ම ගායන හැකියාවෙන් පරිපූර්ණ ඇය අද වන විට ශ්‍රී ලාංකීය ගායන ලෝකයේ නොමැකෙන මතකයක් රැන්දූ අති දක්ෂ ගායිකාවකි සිරස රූපවාහිනිය මඟින් මේ දිනවල විකාශය වන වොයිස් ටින්ස්  ජාත්‍යන්තර රියලිටි ගායන  තරගාවලියේ  විනිසුරුවරියක් ලෙසද කටයුතු කරන ඇයව මෙවර අපි ෆැෂන් පිටුව සරසන්නට ආරාධනා කළෙමු.

කෝච් රයිනි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

හරිම ඉහළයි .හැමෝම ආදරෙන් අගය කරනවා. ලැබෙන ප්‍රතිචාර වලට  මට ගොඩක් සතුටුයි ....හැමෝටම ගොඩාක් ආදරෙයි .

රූපවාහිනී වැඩසටහන් වල දී වගේම ප්‍රසංග වේදිකාවේ දී ඔබ කරන විලාසිතා කාගේත් අවධානයට යොමු වෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

මම හරිම ආසයි මට ගැළපෙන විදිහට විලාසිතා කරන්න .මම ආස නම් මට ගැළපෙනවා නම් මම ඕනෑම විලාසිතාවක් කරනවා. මම කරන විලාසිතාව ගැන බාහිර පාර්ශ්වයක් කියන්නේ මොනවාද?  මාව කොයි විදිහට දකියිද? කියන එක නම් මම කවදාවත් හිතන්නේ නැහැ. ඒ වගේ කරුණු මට අදාළත්  නැහැ. විලාසිතා කිරීමේදී මූලික තැන දෙන්නේ මගේ ආසාවටම විතරයි.

විලාසිතා කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ ?

ෆැෂන් කියන්නේ අපේ බොඩි එක ඩෙකරෙට් කරන දෙයක් විදිහටයි මම දකින්නේ .

විලාසිතා කිරීමේ දී වයසත් එක්ක කරන විලාසිතා වල වෙනසක් තියෙනවා ද?

සමහර වෙලාවට එහෙම හිතෙන වෙලාවල් තියෙනවා .තරුණම කාලයේ කොටට ඇඳුමක් ඇන්දහම ගොඩක් ලස්සනයි කියල හිතුනා ට වයසින් වැඩි වෙනකොට හිතෙනවා ශරීරයට ගැලපෙන විදිහට වටිනාකමක් ලැබෙන විදියට විලාසිතා කරන්න ඕනේ කියලා වයසත් එක්ක සමහර වෙලාවට හිතෙනවා සමහර විලාසිතා ගැලපෙන්නෙ නැහැ කියලා .

විලාසිතාවන් තෝරා ගැනීමේ දී ඔබ වඩාත්ම කැමති පාට මොනවාද ?

රූපවාහිනී වැඩසටහන් වලට  ,මියුසිකල් ෂෝ වලට සහභාගි  වෙනකොට තද  පාට ,දිලිසෙන ලස්සන ලස්සන ඇඳුම් අඳින්න ආසයි . එහෙම ඇඳුම් තෝරන කොට නම් කලු‍ පාටට තමයි වැඩිපුරම හිත යන්නේ ..ඒත් දැන් දැන් මම සුදු පාට ඇඳුනුත් තෝරා ගන්නවා. සුදු පාට ඇඳුම් වලට ඇඟ තවත් මහතට පෙනෙයි කියලා හිතලා තමයි මම ලා පාට ඇඳුම් අඳින එක පොඞ්ඩක් සීමා කළේ. ඒත් එහෙම නැහැ .මොන ඇඳුම ඇන්දත් මම ලස්සනයි කියලා  හිතුවොත් කොයි  ඇඳුමටත්  ලස්සනයි. සමහර වෙලාවට අපිම අපේ හිතෙන් සීමා මායිම් දාගෙන ඉන්නවා විලාසිතා කරන කොට . ඇත්තටම එහෙම වෙන්න අවශ්‍ය නැහැ කියලා මමත් සමහර වෙලාවට හිතෙනවා.

ශරීරයේ හැඩය වෙනස් කර ගත්තා නම් මීට වඩා විලාසිතා කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ .මට අද ලැබිලා තියෙන හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ලැබිලා තියෙන දේවල් .මගේ ශරීරය , මගේ ශරීරයේ හැඩය, මගේ ශරීරයේ පාට මේ හැමදේම මට උරුම දේවල්. ඒ ලැබුණු දේට ගැලපෙන විදිහට විලාසිතා තෝරා ගන්නවා ඇරෙන්න ඒ වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න  අවශ්‍ය නැහැ.  එ නිසා  කෙට්ටු ශරීරයක් තිබුණා නම් මම මීට වඩා ලස්සනට විලාසිතා කරනවා කියලා නම් මට කවදාවත් හිතිලා නැහැ....

ඔබ වෘත්තියෙන් ගායිකාවක් .ඒ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට ද විලාසිතා කරන්නේ?

ගායිකාවක් විදිහට මම අනන්‍යතාවක් ගොඩනඟා ගත යුත්තෙ මගේ හඬින් .ඒ දේ මම අද වෙනකොට කරලා තියෙනවා .ඒ නිසා මම මොන ඇඳුමෙන් සැරසුනත් මට හැමෝම ආදරෙයි .

ඔබ කරන විලාසිතා අනිත් අය අනුකරණය කරන බව ඔබට හැඟී තිබෙනවා ද ?

ඔව් .සමහර වෙලාවට ළඟට ඇවිත් අහන වෙලාවල් තියෙනවා.ඇඟ ටිකක් මහත ගොඩක් අය මාව හම්බ වුණාම අහනවා රයිනි ඔයා හරිම ලස්සනට විලාසිතා කරනවා කොහොමද ඔයාගේ ඇඳුම් ගන්නේ කවුද මහන්නේ කියලා. ඔයා අඳින ඇඳුම් වලට අපි ගොඩක් කැමතියි. කියලත් අහන වෙලාවල් තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා මම අඳින හැම ඇඳුමකට ම වගේ .ඒ හැමෝටම මම පුළුවන් විදිහට මග පෙන්නනවා.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවා ද ?

නැහැ.  ලංකාවේදී වගේම ලෝකේ කොයි රටකට ගියත් මගෙ  වැඩිපුරම ඇහැ  යන්නේ විලාසිතා වලට. නමුත් කිසිම දවසක අරයා වගේ අඳිනවා, මෙයා වගේ අඳිනවා කියලා නම් මම හිතලා නැහැ .මම අදටත් ඇඳුම් අඳින්නෙ මට ගැළපෙන  සහ මම ආසම විදිහට විතරමයි ...ඇහැට දකින ඇඳුමක් හිතට ඇල්ලු‍වොත් පළමුවෙන්ම කරන්නේ ඇඳලා බලන එක .ඒක ඇඟට ගැලපෙනවානම් තොරා ගන්නවා ...ඒ හැරෙන්න කවුරුත් කරන පලියට වත් එන එන විලාසිතාවත්   මම කොහෙත්ම කරන්න  කැමැති නැහැ .

විලාසිතා කිරීමේදී ඔබ තව මොන වගේ කරුණු ගැන ද සැලකිලිමත් වන්නේ ?

‘බ්‍රෑන්ඩඩ්’ ඇඳුම් අඳින්න ඕනේ මිල වැඩිම ඇඳුම් අඳින්න ඕනේ කියලා මානසික මට්ටමක් නම් නැහැ වසර 17ක් ඇමෙරිකාවේ ජීවත් වුණා වුණත් අදටත් මම ඇඳුම් පැලඳුම් තෝරා ගන්නේ ගැලපීම අනුවයි. මා ළඟ තියෙන ඇඳුම් ගොඩක් මිලෙන් අඩු ඒවා. කෝච් රයිනි, ආටිස් රයිනි  පාට පාට පාට ඇඳුම් ඇඳලා, ලොකු ලොකු ජුවලරි දාලා, මේකප් කරලා හිටියට සාමාන්‍ය ජීවිතේ රයිනි  නම් ඊට හාත්පසින්ම වෙනස්.

සාමාන්‍ය ජීවිතේ රයිනි කියන්නේ හරිම සරල විදියට ඇඳුම් අදින ,රබර් සෙරෙප්පු දෙකක් දාගෙන, කරාබු දෙකක් වත්, මාලයක් වත්, මුද්දක්වත්, අඩුම තරමේ ඔරලෝසුවක් වත් දාන්න අකමැති හරිම චාම්,හරි ම  සරල  කෙනෙක්. සරල  කම තරම් පහසුවක් තවත් නැති විදිහටයි මම නම් දකින්නේ.

පුංචි කාලේ ඉඳලම විලාසිතා කරන්න කැමති කෙනෙක් ද ඔබ ?

කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ, මම අවුරුදු දහතුනක් වෙනකම්ම හිටියේ කොල්ල වගේ. කන විද්දෙත්  දහතුන් වන උපන් දිනේට තෑග්ගක් විදිහට. තාත්තිට හොරෙන් තමයි අම්මි කන විදින්න එක්කගෙන ගියේ. තාත්ති කැමති වෙලා තිබුනේ මම කොල්ලෙක් වගේ ඉන්නවට ...ඒකයි කන විදින්නත් දීලා නැත්තේ .පුංචි කාලෙදි කොල්ලෙක් වගේ දඟ නිසා ගවුම් අන්දලා නං තියන්න බැරි වෙලා .අදටත් මම ලස්සනට ගවුමක් ඇඳගෙන ඉන්නවා දැක්කම අම්මා කියන්නෙම ”‍අනේ අම්මේ  මේ   ළමයා ගවුමක් ඇඳන් ඉන්නවා කියලා”‍. සමහර වෙලාවට මම අද කරන විලාසිතා දැක්කා ම අම්මටයි තාත්තටයි හරිම පුදුමයි .

විලාසිතා කරන විදිහට කෙනෙක් මනින්න පුලු‍වන්ද ?

බැහැ නේද ? මම ඇඳුම් දකින්නේ ශරීරය මතුපිටින් ලස්සන  කරන දෙයක් විදිහට විතරයි. ඒ හැරෙන්න පුද්ගලයන් මනින  මිනුම් දණ්ඩක් විය යුතු නැහැ.

ඔබ කරන විලාසිතාවක් කවුරුහරි අගය කරන කොට මොන වගේ හැඟීමක් ද හිතෙන්නේ ?

ඉස්සෙල්ලාම හිතට දැනෙන්නේ ලැජ්ජාවක්. ඊට පස්සේ තප්පර දෙක තුනක් ගියාම තමයි ඒ අයට ස්තුති කරන්න මතක් වෙන්නෙ.

ගැලපෙන විදිහට විලාසිතාවක් කරාම හිතට මොන වගේ දෙයක්ද හැංඟෙන්නේ ?

හිතට ලොකු සතුටක්  ආත්ම විශ්වාසයක්.ආත්ම තෘප්තියක්. ....ඒක සමහර වෙලාවට වචනයෙන් කියන්න බැරි ලොකු සතුටක්.

අසුන්තා එදිරිසූරිය