මිනිස්සු අතරට මාව ගියේ රංගන ශිල්පිණියක් විදහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යය භාග්‍යා චරිතය හරහා රංගනයට අවතිර්ණ වු සුජානි මධුවන්ති වර්තමානය වනවිට ගායිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියි. ක්ෂේත්‍රයට නවකයෙකු වු නිසාම අප මෙවර ඇයට මෙසේ ඉඩක් වෙන් කළා. මේ දිග හැරෙන්නේ සුජානි සමග කළ කතා බහයි.

සුජානි, අපට ඔබව අඳුන්වලා දෙන්න?

මම කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ ගායිකාවක් විදිහට. කාලයක් ඒ ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දි තමයි මට රඟපාන්න අහම්බෙන් අවස්ථාව ලැබෙන්නේ. හැබැයි දැන් මම රංගන ශිල්පිණියක් විදිහට වැඩිපුර වැඩ කරනවා. ඒ අතරේ ගායන කටයුතුත් කරගෙන යනවා.

දැන් ඔබ ජනප්‍රිය ගායිකාවක් විදිහටද නැත්නම් රංගන ශිල්පිණියක් විදිහටද?

රංගන ශිල්පිණියක් විදිහට. මොකද, මම ගායිකාවක් විදිහට වැඩ ගොඩක් කරපු කෙනෙක් නෙමෙයි. සමහර අය මාව දන්නෙත් නැහැ ගායිකාවක් කිව්වාට. නමුත්, රංගන ශිල්පිණියක් විදිහට මෑත කාලයේ මම ගොඩක් නිර්මාණවල දකින්නට ලැබුණා. ඒ හින්දා මිනිස්සු අතර අද වෙනකොට මම ජනප්‍රියයි කියලා හිතනවා.  

වැඩිපුරම ඔබ මිනිස්සු අතර කතාබහට ලක් වුණේ?

ස්වර්ණවාහිනියේ විකාශය වුණ කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යයේ භාග්‍යා කියන චරිතය හරහා කිව්වොන් නිවැරදියි. ඒ චරිතයට අදටත් ලැබෙන රසික ප්‍රතිචාර ඉහළයි. රංගන ශිල්පිණියක් විදිහට මම මිනිස්සු අතරට ගියත් ඒ චරිතය හරහා කිව්වේ හරි.ත හැබැයි තාම ගායිකාවක් විදිහට මිනිස්සු අතරට මම ගිහින් නැහැ. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා මගේම කියලා නිර්මාණ කිහිපයක් හරහා ඉදිරියේදී මිනිස්සු අතරට යන්න.

සුජානි වැඩිපුරම ආස මොන ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න?

එහෙම වැඩිපුර කැමැති කියලා එකක් නැහැ. රංගන ශිල්පිණියක් වගේම ගායිකාවක් විදිහට මම වැඩ කරන්න කැමතියි. දෙකම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ දෙකක් නේ. ඉතින් කලාවට මොන පැත්තකින් හරි සම්බන්ධ වෙන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්.

කලාව පැත්තට යොමු වෙන්න අදහස ඇති වුණේ?

තෙරේන කාලේ ඉඳලාම මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන කාලේදී. ඒ කාලේ නම් වැඩිපුර සම්බන්ධ වුණේ නර්තනය පැත්තට. ඊට පස්සේ ගායනය පැත්තට යොමු වුණා. හැබැයි ඔය කාලේ මම චිත්‍රත් අඳින්න දක්ෂයි. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග තමයි මම ගායනය පැත්තට වැඩිපුර අවධානය යොමු කළේ. ඔය අතරේ තමා රංගනයට අහම්බෙන් අවස්ථාව ලැබුණේ. මුලින්ම රඟපෑවේ කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යය. ඒ අවස්ථාව මට ලබාදුන්නේ සද්ධා මංගල සුරියබණ්ඩාර සර් ඔහුගේ බිරිඳ. මට පහත රට නැටුම් නටන්න පුළුවන් හොඳට. භාග්‍යා චරිතය ලැබෙන්නේ ඒක හේතුවක් වුණා මට.

ඉදිරිය කොහොම වෙයිද?

නිළියක් වගේම ගායිකාවක් විදිහට ඉදිරියේදී වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතනවා දැනටමත් මට අවස්ථා කිහිපයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මම දායක වුණ නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී එළිදකින්න නියමිතයි. ඒ අතර රනිල් කුලසිංහ හා සුදේස් වසන්ත අයියලා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යය දෙකකුත් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා පිරිසක් ඉන්නවා කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක ශීවගුරුනාදන් සර්. ප්‍රභාත් රෝෂන් අයියා, සද්ධාමංගල සර්, කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිත තුනක්. ඒ අයත් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම ගොඩක් සතුටුයි මට.

බුද්ධික සේනාධිර