මුදලාලිගේ කඩෙන් පුන්නක්කු කෑලි දෙකක් හොරකම් කළ දවසේ තාත්තා මට හොඳටම ගැහුවා - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්ච



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපට ජීවිතය ලබාදෙන සියල්ල හැමවිට එක සමාන නොවේ. ඔබට ඇති දෙය මටද මට ඇති දෙය ඔබටද කිසිවිට එක ලෙස නොවනු ඇත. ළමා වියේ කෙනෙකු දුක්බර කටුක ජීවිතයක් ගතකොට තරුණ වියේදී ඉතා සුන්දර ජීවිත ගත කරනවා සේම ළමා විය ඉතා සැපවත් තුටින් පිරි ජීවිතයක් වී තරුණ වියේ ඒ සියල්ල අහිමිව පොළවට පස්ව යන ජීවිතද අප්‍රමාණය. එබැවින් ඔබ මා ජීවිතය තුළ අත්විඳින සියල්ල කිසි ලෙසකින්වත් එක සමාන වන්නේ නැත. එහෙත් එක් දෙයක් ස්ථීරය. ඒ මේ සියල්ලේ ඇති අනියත බවයි. අද මේ සියල්ල ඔබට කියන්නට මට සිතුනේ ඔහුගේ කතාව මුලසිටම අසා සිටි නිසයි. එදා රබර් කට්ටි මැද පයට සෙරෙප්පුවක්වත් නොමැතිව ජීවිතය සොයා ගිය ඔහුට අද සියලු සැප සම්පත් හිමිව තිබේ. ඒ සියල්ලටත් වඩා රසික ආදරය නොමඳව හිමිය. ලංකාවේ ඒ කොණේ සිට මේ කොණට අඛණ්ඩව හිමිවන ඒ ජනප්‍රසාදය මැද දශක හතර හමාරක් මුළුල්ලේ ඔහු ජනප්‍රියත්වය එලෙසම රඳවා ගනිමින් තම නිර්මාණ චාරිකාවේ යෙදී සිටී. ඔහු කවුද?

"ඈත හමා යන මඳ සුළඟේ
ඔබ....
බිඳුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ...."

1980 දශකයේ මුල් භාගයේ ඇසුණ ඒ හඬ ඔබට තවමත් මතකය. ශර්ලි වෛජයන්ත ලියා සංගීතවත් කළ "තවලම" නම් වූ ඒ ගීතය ඔහුගේ ප්‍රථම ගීතයයි. ඔහු ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චිය. අද හදසර "My Story" කතාබහ ඔහු සමඟය.
ආරම්භයේ සටහන් කළ පරිදි ඔහුට හිමිවූයේ දුෂ්කර, අගහිඟ පිරි ළමාවියකි. එහෙත් එදා දුකසේ දරාගත් ඒ සියල්ල අද ඔහු සිහි කරන්නේ ඉමහත් තුටකිනි.

"යටියන්තොට ගරාගොඩ තමයි මගේ උපන්ගම. අම්මා, තාත්තා සහ මට සහෝදරියන් හතර දෙනකු සහ එක් සහෝදරයෙක් සිටියේ. මම පවුලේ තුන්වෙනියා. මගේ තාත්තා මේසන් බාස් කෙනෙක්. අම්මා දෙලේවත්ත වතුයායේ සේවිකාවක්. මම මුලින්ම ගියේ ගරාගොඩ සිංහල කනිෂ්ට විද්‍යාලයට. ඊටපස්සේ යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනීම අවසන් කළා. ළමා කාලයේ අපි සෑහෙන්න දුක් පීඩා වින්දා. මොකද තාත්තාගේ පඩිය අපව ජීවත්කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ. දරුවන් හය දෙනෙක් හිටියනේ අපේ පවුලේ. ඒ නිසා තමයි අම්මත් වත්තේ රැකියාවට ගියේ. ඇත්තම කිව්වොත් ඉස්කෝලෙට දාන්න සපත්තුවත් අපිට තිබුණේ නැහැ. සපත්තු, සෙරෙප්පු නැහැ කියලා අපි පාසල් නොගිහින් හිටියේ නැහැ. ඒ සියලු දුක් වේදනා ඉවසා දරාගෙන පාසල් ගියා. ඒ එදා දරාගත් දුක් කරදර අද සිහිවෙද්දී අතීතය ගැන දැනෙන්නෙ හරිම සතුටක් සහ තෘප්තිමත් හැඟීමක්."

අප බොහෝවිට ජීවිතය දෙස ආපසු හැරී බලා විඳින්නට කැමති එවන් තෘප්තියක්ය. එය විඳින්නට නම් ජීවත්වන හැම මොහොතකම නිවැරදි යහපත් දේ පමණක් සිදු කරන්නට වග බලාගත යුතුය. ගායන ශිල්පියෙකු ලෙස ගීත විශාල ප්‍රමාණයක් ගායනා කොට ඇති චන්ද්‍රසේන ගැයූ ගී අතර වැඩි ගීත ප්‍රමාණයක් ඉතා ජනප්‍රියය. ඒ ගායනයට, සංගීතයට ඔහු තුළ තිබූ කැපවීම හා ආදරය නිසාමය. එමෙන්ම ජීවිතයේ කටුකත්වය මතින් පවා එම ආදරණීය දෙමව්පියන් තමන්ට ලබාදුන් ගුරුහරුකම් හා මඟපෙන්වීම් ඊට විශාල පිටුබලයක් වූ වගයි ඔහු පවසන්නේ.

"පොඩි කාලේ මම ටිකක් දඟයි. පාසල් ගිහින් ආව හැටියේ ඇලේ දොලේ කෙලි සෙල්ලම් තමයි. මාළු අල්ලනවා. සෙල්ලම් කරනවා. කොලු වයසේ දඟකාරකම් තමයි ඉතින්. මෙහෙම යද්දී එක දවසක් හරිම වැඩක් වුණා. අපේ ගේ පිටුපසින් කැලණි ගඟේ පොඩි අතු ගංගාවක් ගලාගෙන ගියා. දවසක් උදේ මම පාසල් යන්න ලෑස්ති වෙන්න මුහුණ සෝදද්දී හරිම වැඩක් තමයි වුණේ. කාක්කෙක් පොඩි කුකුළු පැටවෙක් අරන් යනවා මම දැක්කා. මම කෑගැහුවාම කාක්කා අතින් කුකුළු පැටියා අතහැරුණා. මම ඉක්මණින් පැටියා අහුලාගෙන ගෙදර ගෙනාවා. ගෙනත් සහල් ඇට කීපයක් එහෙම දාලා පාසලට ගියා. ගිහින් ඇවිත් වුණත් වැඩේම කුකුළු පැටියා එක්ක සෙල්ලම. හාල් කන්න දෙනවා වගේම තව මොනවද කන්න දෙන්න පුළුවන් කියලා කතා වෙද්දී පුන්නක්කුත් දෙන්න පුළුවන් කියලා දැනගත්තා. මෙහෙම ඉද්දි හවස භූමිතෙල් ගේන්න මට කඩේට ගිහින් එන්න කිව්වා. ලාම්පුතෙල් බෝතල් කාලක් ශත හතරයි. මට ශත පහක් දීලා තමයි අම්මා කිව්වේ තෙල් ගේන්න කියලා. මම ළඟම කඩයට ගියා. මුදලාලිට බෝතලය දීලා ලාම්පු තෙල් දෙන්න කිව්වා. මුදලාලි තෙල් ගේන්න කඩය ඇතුළට යද්දි මම දැක්කා ගෝනියක පුන්නක්කු තියෙනවා. මම හොරෙන් හිමිහිට වටපිට බලලා පුන්නක්කු කෑලි දෙකක් සාක්කුවේ දා ගත්තා. මුදලාලි දැක්කේ නැහැ. මම තෙලුත් අරන් ගෙදරට ගියා. යද්දී අම්මා හිටියා ඉස්සරහා. මම කෑගහලා අම්මාට කිව්වා අම්මේ මං පුන්නක්කු කෑලි දෙකක් හොරෙන් ගත්තා... කියලා. තාත්තාට මේක ඇහුණා. හොඳට හිනාවෙලා ළඟට ආවා. ආ මගෙ පුතා ආවද? කියලා ලාම්පු තෙල් බෝතලය අරන් පැත්තකින් තියලා අල්ලාගත්තා මාව. අල්ලගෙන හොඳටම ගැහුවා. ගහලා කඩේට එක්කගෙන ගියා. මුදලාලිටත් කිව්වා. එදා මට අන්සතු දේ නොගන්න ඉතා විශාල පාඩමක් ඉගෙන ගත්තා. තාත්තා අපිට ගොඩක් ආදරෙයි. අම්මත් එහෙමයි. කොතරම් අගහිඟ තිබුණත් වැරදි ලෙස යමක් නොගත යුතු බව එයාලා අපිට පැහැදිලි කර දුන්නේ මුළු ජීවිතේටම මතක තියෙන විදිහට.

"මම ගායනයට ගොඩක් කැමැත්තෙන් හිටියත් පාසලේදී එතරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. උසස් පෙළ කළාට පස්සේ මම ජීවත් වෙන්න බොහෝ දේ කළා. ඔය අතරෙ දවසක් දැක්කා පුවත්පත් දැන්වීමක්, ඒ ජාතික තරුණ සේවා සභාවට යොවුන් ගී කණ්ඩායමට බඳවා ගැනීම් සහ යෞවන සම්මාන උළෙල සඳහා තමයි ඒ දැන්වීම පළකරලා තිබුණේ. මම ඉල්ලුම් කළා මේ දෙකටම. මෙහෙම ඉන්නකොට මහවැලි සංවර්ධන අධිකාරියට අපේ ගමේ තරුණයින් ගොඩක් බැඳුණා. මාත් එහි සේවයට එක්වුණා. අපිට වැඩ කරන්න යන්න වුණේ ගිරාඳුරුකෝට්ටේ. එහෙ ගිහින් වැඩකරලා මම ගත්ත වැටුප ඉතා අමාරුවෙන් එකතු කරගත්තා රුපියල් තුන්සියයක් විතර. එහෙට යද්දි කට්ටිය කිව්වා එතැන නිලධාරියෙක් ඉන්නවා සංගීතයට කැමැති, ගිටාර් වාදනය කරන. එහෙම කියලා මම ඒ රැකියාවට ගියේම ඒ ආසාවට. ඒත් ගියාම තමයි තේරුණේ හිතුව තරම් සුන්දර නැහැ කියලා. අති දුෂ්කර රැකියාවක්. ඒත් මාසයක් වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරන් මම ගෙදර ආවා. ඇවිත් ප්ලාස්ටික් බඩු වෙළෙඳාමක් කළා. එහෙම ඉන්න අතරේ මට යෞවන සම්මාන උළෙල වෙනුවෙන් දැම්ම අයදුම්පතට ලිපියක් ආවා. තරගයට ඉදිරිපත් වෙන්න කියලා. සංගීත කණ්ඩායමක් වුණත් සමඟ තමයි තරඟයට ඉදිරිපත් වෙන්න තිබුණේ. මට මොන සංගීත කණ්ඩායම්ද? මැන්ඩලින් එකක් විතරයි මට තිබුණේ. මම ඒකත් අරන් තරගයට ගියා. ගිහින් මමම ලියා තනු යොදා සංගීතවත් කළ "ජයභූමි ශ්‍රී ලංකා" කියන ගීතය ගැයුවා. මම තමයි අන්තිම තරගකරු. එනිසාම අනිත් අයගේ ගායනා අහලා තිබුණ නිසා මම දැනගත්තා මගෙ ගායනය හොඳ බව. වටතුනෙන්ම මම ඉදිරියට ගියා. ගිහින් ප්‍රථම ස්ථානය ලැබුවා. ඒ 1979 වසරේ. මම තරුණ සේවා සභාවට ගියේ යෞවන සම්මාන දිනාගෙන. ශර්ලි වෛජයන්ත ගුරුතුමා තමයි එහි මගේ පළමු ගුරුවරයා. ඉන්පසු නිහාල් ගම්හේවා මහතා තව ගුරුවරයෙක් වුණා. පුහුණුවෙන් පසු මට එහි පත්වීමක් ලැබුණා. සංගීත උපදේශකවරයකු ලෙස මා ලැබූ දැනුම මට හැකි උපරිමයෙන් මම සිසු පරපුරට ලබා දුන්නා." ඔහු අතීතය සිහි කරමින් පවසයි.

තරුණ සේවා සභාවේ සිය මිතුරකුගේ සොයුරියක වූ මංගලිකා සමඟින් විවාහ වූ චන්ද්‍රසේන මේ වනවිට දෙදරු පියෙකු වන අතර චන්ද්‍රසේන - මංගලිකා කැදැල්ලේ ගයන හා ලිහිණි පුතු සහ දියණියද කලාවට හිතැත්තන්ය. ගීතය ඔස්සේ රසික හිත් පිනවන ඔහු ලබන වසරේ තම ජීවිතයේ සුවිශේෂ සැමරුමක් වෙනුවෙන් පෙරුම්පුරමින් සිටී. ඒ ඔහු ගායනයට අවතීර්ණ වී හතළිස් පස් වසරක් සම්පූර්ණ වීමයි. ඒ වෙනුවෙන් අනුග්‍රාහක අත්වැලක් ලැබුණහොත් එය සිය කලා ජීවිතයේ තමන්ට හිමිවන වටිනා තිළිණයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ. ඒ වටිනා තිළිණය ඔහුට හිමිවේවායි හදසර අපි සුබපැතුම් එක්කරමු.

මොනිකා සේරසිංහ
සේයාරූ- අන්තර් ජාලෙයන්