මදුරුවෝ විද්දා විදිල්ලක් ඉවසන්න බෑ - මන්සිළු ප්‍රියන්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මොහොතක පමාවකදිත් විදින්නේ මදුරුවෙක්. ගැලවිල්ලක්ම නැති තැන එහෙන් මෙහෙන් අහුලාගත් කොළ රොඩු දමා කට්ටියම එකතු වී ගැහුවා ගිනි මැලයක්. කනට නිනව්වක් නොදී මදුරුවන් කන අස්සෙම කෑ ගහද්දි, රිදෙන්නම විදිද්දි දරාගන්නවා ඇරෙන්න ෂූටින් පැත්තක තියලා වහන් වෙන්නද? නැද්ද මන්සිළු...

නේද?

ඔව් නේද?

මොකද ඇත්තටම එදා වුණේ?

එදා හිතාගන්න බැරි තරම් මදුරුවො හතර වටේට විදිනවා විදිල්ලක් ඉවසන්න බෑ. මොනවා කරන්නද? මදුරුවො කියලා ෂූටින් දාලා යන්න බෑනෙ. අපි මෙහෙමයි ඉතින්. මොන දුෂ්කරතාවය හරි, පැමිණෙන දුක් පැණි රසයි කියලා හිතලා හිනාවකට පෙරළගන්න තමා පුරුදුවෙලා තියෙන්නෙ. එතකොට දුෂ්කරතා දුෂ්කරතා විදිහට දැනෙන්නෙ නෑ. අපි ඔය කොළ අරහෙ මෙහෙ දාලා, ගිනි මැලයක් ගහගෙන කට්ටිය හිනා වෙවී මාර සතුටින් වැඩේ කළා. එහෙම තමයි මේ ජීවිතේ.

වැඩේ කළා කීවෙ මොන වැඩේද?

Case No 447 ෂූටින්.

ආ.. චන්ද්‍ර හසන් අධ්‍යක්ෂකවරයගෙ කතා කරන්න මාතෘකාවක් වෙයි කියලා හිතන Case No 447 චිත්‍රපටය ගැන නේද ඔය කියන්නෙ? 

ඔව්

ඇත්තටම මොකද වුණේ?

ඒ චිත්‍රපටය වැඩිපුර රූගත කළේ ටිකක් රළු, පරිසරවල. ඉතින් එක දවසක් රූගත කිරීම් කරද්දි පුදුම මදුරු කරදරයක් අනේ... ඒවා එහෙම තමයි. මොනවා වුණත් මේ ජීවිතේ නම් මාර රහයි. 

එහෙම කතාවකින් මාත් එක්ක කතාව පටන් ගත්තෙ වේදිකාවෙන් පුංචි තිරයටත්, පුංචි තිරයෙන් රිදී තිරයටත් සපැමිණි කලාවට ආත්මීය ආලයකින් පෙම් බැන්ද රංගන ශිල්පියෙක්. නම මන්සිළු ප්‍රියන්ත. 

ඉතින් රංගනයේ ආරම්භය සනිටුහන් කළ අතීතයේ දවස් හොයාගෙන යමු. 

මම ඉගෙන ගත්තෙ නාරම්මල මයුරපාද ඉස්කෝලෙයි. ඒක මිශ්‍ර පාසලක්. මට මතකයි අපේ පන්ති හයක් තිබුණා. මම විතරයි ඒ කොල්ලො ගොඩෙන්ම නැටුම් කරන කොල්ලෙකුට හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම කලාවට මාර ආදරයක්, මාර ආසාවක් තිබුණා. වෙන වචන නෑ ඉතින් කොච්චරද කියන්න. ඒකයි ඒක මාර ආදරයක්, මාර ආසාවක් කියලා කිව්වෙ. අදටත් ඒ හැඟීම එහෙමමයි. 

ඉතින් ඊටපස්සෙ?

ඉතින් ඊටපස්සෙ විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා රස්සාවට කොළඹ ආවා.

ඒ මොන අවුරුද්දෙද?

1997 වගේ. 

වගේ කිව්වෙ?

නෑ 1997 තමයි. 

ඉතින් ඊටත් පස්සෙ?

මට අහම්බෙන් වගේ මර්සි එදිරිසිංහ කියන ප්‍රවීණ කලාවේදිනිය හඳුනා ගන්න ලැබුණා. රන්කඳ වේදිකා නාට්‍යයේ මට රඟපාන්න හම්බවුණේ ඒ හැඳුනුම්කමෙන්. රස්සාව කළාට හිත තිබ්බෙම නළු සිහිනයෙයි. 

මන්සිළු.. ඔබ නිරූපණ ශිල්පියෙක් වුණෙත් ආසාව හින්දමද?

ඔව් එහෙම ආසාවකුත් හිතට ආවා. රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණ ශිල්පය ඉගෙන ගත්තා. නිරූපණ අවස්ථා දහයක් පහළොවක් විතර මට ලැබිලත් තියෙනවා. ඒකත් ආසාවෙන් කරපු දෙයක් තමයි. 

ඊටපස්සෙ ඔබ වෙළෙඳ දැන්වීම් කලාවෙ නළුවෙක් වෙනවා?

ඔව්. ප්‍රධාන‍ පෙළේ වෙළෙඳ දැන්වීම් විසි පහක විතර රඟපාන්න මට අවස්ථාව හම්බවුණා. 

ඊළඟට?

ඊළඟට මම ටෙලිනාට්‍යයකට එකතු වුණා. 

ආරම්භය?

වසූදා නාට්‍යය. 

සිනමාවට එකතු වුණේ කොයි විදිහටද එතකොට?

ඇත්තටම ඒ කාලෙ චිත්‍රපට උළෙලවල් තියෙද්දි මම බලන්න යනවා. චිත්‍රපට ගැන මට මගේම අධ්‍යනයක් තිබුණා. ටෙලිනාට්‍යවල ඉද්දි මට චිත්‍රපටවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. චැලේන්ජස්, කලර්, ඇලඩින්ගේ පුදුම පහන, සුපර් සික්ස් වගේ චිත්‍රපට කිහිපයක මම රඟපෑවා. 

එන්න තියෙන චිත්‍රපට ගැන කියන්නෙ නැද්ද?

Case No 447, රුවන් තාරකා, සඳ දඩයම එන්න තියෙන චිත්‍රපට. සඳ දඩයම චිත්‍රපටයේ නම බොහෝවිට වෙනස් වෙයි. තව චිත්‍රපටයක රූගත කිරීම් කළා නුවරඑළියෙදි. එහි අධ්‍යක්ෂකවරයා ලස්සන ජයසේකර. 

ආ.. ඒ කියන්නෙ ලස්සනගෙ තවත් ලස්සන වැඩක්?

ඇත්තටම ඔව්. ඒක ලස්සන වැඩක්. කැළුම් ආර්යන්, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි දක්ෂයින් ඒ චිත්‍රපටයට එකතු වුණා. 

නම මොකක්ද?

චිත්‍රපටයෙද?

ඔව්...

දැනට Game over. හැබැයි නම වෙනස් කරන්න ඕනෙ කියලා කතාවක් නම් කිව්වා. ඒ හින්දා නම වෙනස් වෙයි. 

කොහොමද නුවරඑළියේ දර්ශන තලවල ගෙවිච්ච කාලය?

කොච්චර වැඩ තිබුණත් හරි රහයි මේ ජීවිතේ. සමහර දවස්වල උදේ දහයේ ඉඳන් රූ වෙනකම් එක දිගට ෂූටින් තිබුණා. එක දවසක් උදේ දහයට පටන් ගත්තාම රූ දෙකට විතර ෂූටින් ඉවර වුණේ. ඒ වුණාට ඉඩක් ලැබිච්ච ගමන් කට්ටිය හිනා වෙවී විහිළු තහළු කර කර ඉන්නෙ. ඒ හින්දා මහන්සියක් දැනෙන්නෙ නෑ ඇත්තටම. 

නළු ජීවිතය රහයි කීවට කලා ක්ෂේත්‍රය කියන්නෙ කැපිලි කෙටිලි, කුහකකම් අඩුවක් නැති තැනක් කියලා මම දන්නවා. ගුරු කුල හදාගත්ත අයිතිකාරයන්ගෙන් අඩුවක් නැති තැනක් කියලත් මම දන්නවා. සුන්දර මිනිස්සුත් නැතුවාම නොවෙයි.

තියෙනවද දෙන්න උත්තරයක්?

එහෙම වෙන හුඟක් තැන් තියෙනවා. සුන්දර මිනිස්සුත් හම්බවෙනවා. කලාව කියන එක ඇත්තටම හදවතේ තියෙනවනම් සමහරු කුහකකම් කැපිලි කෙටිලි කරන්නේ‍ කොහොමද කියලත් හිතෙනවා. එහෙම මොන පසුබිමක් තිබුණත් තමන්ට තමන් විශ්වාසනම්, තමන්ගෙ අරමුණ විශ්වාසනම්, ඕනම දුෂ්කරතාවයක් විඳගෙන තමන්ගෙ ගමන යන්න පුළුවන් කියලත් හිතෙනවා. 

ඔබේ ගමනට දැන් වයස කොච්චරද.. මම අහන්නෙ කලාකරුවෙක් විදිහට ආව ගමනට? 

අවුරුදු විසි පහක් පහු කරලා ඉවරයි. 

අවුරුදු විසි පහටම දමිළ අධ්‍යක්ෂකවරයෙක් එක්ක පළමු වතාවටද Case No 447 චිත්‍රපටයේ වැඩ කළේ?

ඔව්.

දැනෙනවද වෙනසක්?

ඇත්තටම ඔව්. එයාලා හුඟක් බලන්නෙ බටහිර, මලයාලම්, තෙළිඟු වැනි චිත්‍රපට. එතකොට ඒ ආභාෂය මත තමා අපව හසුරුවන්නෙ. ඒක විශිෂ්ට හැසිරවීමක්. චිත්‍රපටය සමඟ හුස්ම ගන්න අධ්‍යක්ෂවරයෙක් තමයි චන්ද්‍ර හසන් කියන්නේ.

දැන් හුඟක් නළු නිළියො ලස්සන කියලා හිතන්නෙ හම සුදු කර ගන්න එකයි, කොණ්ඩවල් හදාගන්න එකයි, ජිම් ගිහිල්ලා ඇඟවල් හදාගන්න එකයි. ඒත් ඇත්තටම නළුවෙක්ගෙ නිළියෙක්ගෙ සැබෑ දිලිසෙන ලස්සන කියන්නෙ ඔය කෘත්‍රිම ලස්සන නෙමෙයි. මම එහෙම හිතනවා. මොකක්ද මට දෙන උත්තරේ?

නළුවෙකුට නිළියකට තමන්ගෙ රූපය වැදගත්. පෞරුෂත්වයත් වැදගත්. ඒත් ඔබ කියනවා වගේ එකම විදිහට සුදු වෙන, කොණ්ඩ හදන, ඇඟවල් හදන නළු නිළියන්ට වඩා දුඹුරු පාට හමක් තියෙන ස්වභාවික ලස්සනක් තියෙන ලස්සන නළු නිළියො ඉන්නවා. මමත් කැමතියි ඒ ස්වභාවික ලස්සනට. 

අද හුඟක් වෙලාවට ඉන්නෙ කැමරාව ඉස්සරහ දෙබස් කියන නළු නිළියොද කියලා හිතෙන තැන් එමටයි. මුහුණුවල භාව ප්‍රකාශනයන් හරි අඩුයි. රංගන පාසලකින් ඉගෙන ගන්නම ඕනෙ කියලා දෙයක් නෑ. ඒත් කලාව ගැන, සිනමාව ගැන තමන්ගෙම අධ්‍යනයක් තුළින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම අඩුවක් ඔබට දැනිලා නැද්ද?

ඔව්.. ඉරාණ චිත්‍රපට, කොලිවුඩ්, හොලිවුඩ් ආදී චිත්‍රපට බලනවනම් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම ගොඩක් එහෙම චිත්‍රපට බලලා ඉගෙන ගත්ත දේවල් තියෙනවා. හුඟක් බටහිර චිත්‍රපටවල නළු නිළියන් දර්ශන තලවලදි තද මේකප් පාවිච්චි කරන්නෙ නෑ. අවශ්‍ය චරිතය තමයි ඉස්මතු කරන්නෙ. ඒ චරිතය එක්ක හුස්ම ගන්න අවශ්‍ය මූණෙ හැඩතල තමයි ඔවුන් මතු කරන්නෙ. ඒ අය වර්ණ ගැන හරි සැලකිලිමත්. වත්තක, කුඹුරක වැඩ කරන අපේ දර්ශන තලයකදි රෝස පාට, රතු පාට වගේ අඳිනවනම් ඒ චරිත නිර්මාණය කරලා තියෙන්නෙ පොළොව පය ගහගෙන ඒ චරිත ස්පර්ශ කරපු මානසිකත්වයකින් නෙමෙයි. අයිසින් කේක් කන්න ආසා වුණාට මේ රටේ ගොඩක් ඉන්නෙ කොස්, දෙල්, මඤ්ඤොක්කාවල රස දන්න මිනිස්සු. මේ මෑතකදි අධ්‍යක්ෂකවරයෙක් කියනවා සමහර නළු නිළියො කෝපය, තරහ වගේ හැඟීම් ප්‍රකාශ කරන්න කිව්වාම මුහුණු කැතට පෙනෙයි කියලා ඒ භාව ප්‍රකාශනවල තාත්වික ලෙස යෙදෙන්න කැමති නෑ කියලා. නළුවෙකුට නිළියකට මිනිස්සු හදවතින්ම ආදරය කරන්නේ ඒ අය රංගනය තුළදී මිනිස්සුන්ගේ හදවතේ වෙන්කරගන්න ඉඩ අනුවයි. මලයාලම් චිත්‍රපටවල ඉන්න ඇතැම් නළු නිළියන් ප්‍රසිද්ධ තාරකා නෙමෙයි. ඒත් ඒ අයගේ රංගනය හරි ප්‍රබලයි. ඔවුන් මිනිස්සුගේ හිත්වල නොමැකෙන ඉඩක් වෙන් කරගන්නේ රූපය තුළින් නොව රංගනය තුළින්.

ඔබ ආසම මොන විදිහෙ චිත්‍රපටවලටද?

සෙමින් ගලා යන, භාවමය රිද්මයක් සහිත සිනමාරූපී චිත්‍රපටවලට. ක්‍රියාදාම චිත්‍රපටවලටනම් මම හරිම අකමැතියි. 

ජංගම දුරකථනය බල බලා සෙල්ෆි ගහන ගමන්, පොප් කෝන් කන ගමන්, එහා පැත්තෙ ඉන්න කෙනාගෙ ඇඟට හේත්තුවකුත් දාගෙන, පුළුවන් නම් කතාවටත් අල්ලගෙන ආ.. අපිත් ආවා චිත්‍රපටය බලන්න ආවා වගේ මානසිකත්වයකින් චිත්‍රපට බලන, රසවින්දනයට භාවනාවකට වගේ සම නොවැදෙන බහුතර ලාංකික සිනමා ප්‍රේක්ෂකාගාරය ගැන මොකද හිතෙන්නෙ. ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි, අපි දැකලා තියෙනවා චිත්‍රපට මාධ්‍ය දර්ශන නරඹන්න ගියාම හුඟක් නළු නිළියො චිත්‍රපට බලන්නෙත් ඔය කියපු විදිහටම තමයි. 

ඔබ ඔය කියපු දේ මමත් ඔය විදිහටම දැකලා තියෙනවා. ඇත්තටම ඒක චිත්‍රපටය බලන්නම ආව ප්‍රේක්ෂකයන්ගෙ රසවින්දනයට හරි බාධාවක්. රසවිඳීම කියන්නෙත් එක්තරා භාවනාවක්. ඒ භාවනාව තමන්ට හරියට කරන්න බැරි නම් අනෙක් කෙනාට බාධාවක් නොවී ඉන්න යුතුකම හරි තියෙන්න ඕනෙ. එහෙම සදාචාරයක් නැතිකම ගැන නම් කනගාටුයි. 

සූකිරි බෝලෙ අරගෙන ආයෙත් රට වටේ යන්න පටන් ගත්තා නේද?

ඔව්.. අපේ වේදිකා නාට්‍ය මේ දවස්වල ආයෙ පෙන්නනවා. ඒක දහ වතාවක් විතර පෙන්නුවා. ඒත් කොරෝනා හින්දා නැවතිලා තිබුණෙ. 

වේදිකාව කියන්නෙ අති දක්ෂ රංගවේදීන් බිහි කරන කඩඉමක් කියලා කිව්වොත් ඔබ එකඟද?

ඔව් එකඟයි. 

ඇයි එකඟ?

හරි පුහුණුවක් එක්ක වේදිකා නාට්‍යයක රඟපානවා කියන්නෙ රංගනය පිළිබඳව සරසවියකින් ඉගෙන ගත්තා වගේ වැඩක්. මම වේදිකා නාට්‍ය හයක විතර රඟපෑවා. හරිම බඩු දෙකක් කියන වේදිකා නාට්‍ය කළේ හුඟක් පුහුණුවීම් කරලා. ඒ පුහුණුව මගේ රංගන ජීවිතයට මාර වටිනාකමක් දුන්න තැනක්. 

වසූදා ටෙලිනාට්‍යයෙන් පස්සෙ ඔබ ටෙලිනාට්‍ය කිහිපයකට එකතු වුණා?

ඔව්. පබා, පාරා වළලු, අම්මාවරුණේ, මැදගෙදර, පැහැසරා වගේ නාට්‍ය කිහිපයකම රඟපෑවා. 

හෙට දවස සුබ වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද?

මේ කාලයේ වැඩ ගොඩක් හම්බවුණා. හෙමින් ශක්තිමත් ගමනක් යන්න තරම් ඉවසීමක් නම් මට තියෙනවා. එහෙම ඉවසීමක් නොතිබුණා නම් මේ ඉන්න තැනත් අද නෑ. කොහොමත් මට ඉදිරියට කාලය හොඳ වෙයි කියලා හිතෙනවා. ඒ මොකෝ

එහෙම හිතන්නෙ... විශේෂ හේතුවක් තියෙනවද?

ඔව්.. කේන්දරෙත් කියලා තියෙනවා මේ හොඳම කාලය කියලා. 

මගේ ප්‍රශ්න ඇහිල්ල ඉවරයි. කියන්න දෙයක් තියනවද මම නෑසුවත්?

ජීවිතය දුන්න මව්පියන්, පෞද්ගලිකව ජීවිතය බෙදාහදාගත් සියල්ලන්, ජීවිතයේ හමුවූ කළණ මිතුරන්, වචනයකින් හරි උදව්වක් කළ දිරිදුන් ප්‍රේක්ෂකයන්, එදා මෙදාතුර කලා ක්ෂේත්‍රයේදී හමුවූ අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු සගයන් ආදරයෙන් කෘතවේදීත්වයෙන් සිහිපත් කරනවා. 

සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ