මතුපිටින් තියෙන ලස්සන පෙනුමටත් වඩා එයාගෙ ගතිගුණ හිත ලස්සනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තනාෂා හතරසිංහ නොහොත් නීල පබළු නාට්‍යයේ කුරුළු හෙවත් මේ දිනවල විකාශය කෙරෙන තවත් නාට්‍යයක් වන නොනිමි නාට්‍යයේ, පාරමී වන ඇයට කලා ක්ෂේත්‍රයේ වගේම, ඉන් පිටස්තර තවත් බොහෝ දෙනා ආදරය කරන්නේ ඇය වඩා නිහතමානි ශිල්පිණියක නිසයි. ඉතින් කාගේත් ආදරය දිනා ගත් ‘තනාෂා’ ගැන අපටත් කියන්නෙ ඇය හරි හොඳ, කළ ගුණ දන්නා මුල මතක නැති ශිල්පිණියක කියලයි. ආදරණීය තනාෂා පසුගිය දා ඇයගේ ජීවිතයේ අලුත් ගමනකට මුල පිරූ බව කියන්න පුළුවනි. එනම් ඇය යුගදිවි ගමන් ඇරඹුවාය. සීතල නත්තල් සමයේ විවාහ දිවියේ ආදරණීය උණුහුම සොයා අලුත් ගමනක් ඇරඹි තනාෂාගේ ඒ ලස්සන ජීවිතයේ, ලස්සන ආදර කතාවයි මේ.

තනාෂා, හදිසි විවාහයක්? ඉක්මන් විවාහයක් ද?

හදිසියේ කළ විවාහයක් නෙවෙයි. අපි අප්‍රේල් මාසයේ ඉඳලම තමයි ලැහැස්ති වුණේ. මගේ ලොකු නංගිත් ළඟදී විවාහ වුණා. ඒ නිසා කල් නොදමා මගේ විවාහයත් සිදු කළා. ගෙදර හැමෝම කිව්වෙ මගේ විවාහයත් ඉක්මනට ගන්න කියලයි. මමයි, අනුරාධයි යාළුවෙලා අවුරුදු පහක් විතර වෙනවා. ඒ නිසා ඒ අවබෝධය එක්ක අපේ විවාහය සිදු කළා.

 ඒ ප්‍රේමයට මුල පිරුව විදිය ගැනත් කියමු ?

මුලින්ම මම අනුරාධව හඳුනා ගත්තෙ යාළුවකුගේ මාර්ගයෙන්. එයාගෙ නම ශානක. එයා තමයි මට මුලින්ම අනුරාධව හඳුන්වලා දුන්නෙ. අනුරාධ මගෙන් යාළු වෙන්න ඇහුවාම, එයා ගැන මම විස්තර හොයාගෙන යද්දී එයා ඉගෙන ගෙන තියෙන්නෙ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. සුමිරාන් අයියත් රාජකීය විද්‍යාලයේ හිටපු දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඉතින් මම එයාට කිව්වෙ අනුරාධ ගැන මම එයා දන්න විස්තර කියන්න කියලයි. අනුරාධ හොඳ කෙනෙක් වග මට තේරිලා තිබුණෙ. කොහොම හරි එයා මගෙන් කැමැත්ත අහලා මාස දෙකක් විතර ගියාට පස්සෙ තමයි මම ‘හා’ කියලා කිව්වෙ. ඒ විදිය අවුරුදු පහක් විතර අපේ ප්‍රේම කතාව ගලා ගියා.

එයා කවුද? අනුරාධ?

කලාවට නම් සම්බන්ධ නැහැ. එයා ව්‍යාපාරික කටයුතු කරන්නෙ. ඒ ඔක්කෝටමත් වඩා මම එයාට කැමති වුණේ එයා හරි නිවුණු තැන්පත් ගති තියෙන කෙනෙක් නිසයි.

අනුරාධගෙන් විතර ද විවාහ යෝජනා ඇවිත් තිබුණෙ ?

ගැහැණු ළමයකුට කොහොමටත් විවාහ යෝජනා එනවනෙ. මටත් යෝජනා බොහොමයක් ආවා. ඒත් ඒවාට කැමති වෙන්න තරම් හේතු තිබුණෙ නැහැ. අනුරාධ බොහොම තැන්පත් කෙනෙක් වගේම නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. අනුරාධ ගැන හොයලා බලද්දී, සුමිරාන් අයියා කිව්වෙ හොඳයි. හොඳ කොල්ලෙක් කියලයි. ඒ විදියට කියලා සුමිරාන් අයිය තමයි ඒ විශ්වාසය ඇති කළේ. ඇත්තටම අනුරාධ හරි හොඳ කෙනෙක්.

එයා කොයි පළාතේද? පවුලෙ විස්තර එහෙම?

අනුරාධගෙ තාත්තා නැහැ. තාත්තගෙන් පස්සෙ ව්‍යාපාර කටයුතු බාරගෙන. අනුරාධට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම විවාහ වෙලා. දැන් අනුරාධගෙ ගෙදර ඉන්නෙ අම්මයි, නැන්දයි, අනුරාධයි, මමයි.

කොහොමද අලුත් සාමාජිකාවට ඒ පවුලෙ පිළිගැනීම?

එයාගෙ අම්මයි, නැන්දයි මට හරිම ආදරෙයි. අක්කලා දෙන්නත් එහෙමයි.

තනාෂාට, අනුරාධව හිතට දැනේන වූ විශේෂම හේතුව ?

එයා හරිම සුහදශීලියි. මගේ ගෙදර අයටත් හරිම ආදරෙයි. මේ සබඳතාවය මෙච්චර දුර ගියේ ඒ නිසයි. අපේ ගෙදර අය මට වඩා අනුරාධට කැමතියි. එයාගෙ හොඳ විදිය තේරෙන නිසා, ගෙදරිනුත් මට නිතරම කිව්වෙ අනුරාධ හොඳම කෙනෙක් කියලයි.

අනුරාධ ඉගෙන ගෙන තියෙන්නෙ මොන අංශයෙන්ද?

ව්‍යාපාර කළමනාකරණ අංශයෙන්. කලාවට සම්බන්ධ නොවුණත්, එයා හොඳ කලා රසිකයෙක්. මගේ වැඩවලට එයා හරියට උදවු කරනවා. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ අය මා හා සමානවම එයාවත් හඳුනනවා.

අනුරාධ වඩා දක්ෂ ?

ව්‍යාපාරවලට තමයි.

නතාෂා’ට එයා කතා කරන්නෙ ?

‘මැණික’ කියලා.

නතාෂා, ආදරේ කියන්නෙ මොකක්ද? කොහොමද ඒ ගැන විග්‍රහ කරන්නෙ?

ආදරයේදී අනෙක් කෙනාට අනෙක් කෙනාව දැනෙන්නෙ අවබෝධය සහ තේරුම් ගැනීම එක්කයි. එකිනෙකා කෙරෙහි තියෙන අවබෝධය එක්ක ආදරය අරුත්බර වෙනවා. එතකොට ජීවිතයේ දිගු ගමනක් යන්න පුළුවනි.

කොහොමද දැන් විවාහයෙන් පස්සේ අලුත් සැලසුම්?

ලොකු ප්ලෑන් නැහැ. ඉදිරියේදී යහපත්ව සතුටින් ජීවිතය ගත කිරීම තමයි අරමුණ.

විවාහය’ ‘නතාෂා’ට දැනේනෙ කොහොමද?

විවාහයට බලපාන්නෙ අවබෝධය එක්ක ආ ආදරයයි. පෙම්වතුන් විදියට ආදරවන්තයන් ලෙස සිටියාට වඩා වගකීම් වැඩියි කියලා දැනෙනවා. විවාහයට පෙර, කෑවද? බිව්වද? කියලා අහන දේට වඩා දෙයක් විවාහ ජීවිතයේදී ඇතිවෙනවා. ඒ ආදරණීය වටහා ගැනීම තමයි විවාහ ජීවිතය අරුත්බර කරන්නෙ.

නතාෂා’ දිගටම රඟපානවාට එයා ආසද?

අනුරාධ වගේම එයාගෙ පවුලෙ අයත් කලාවට ආසයි. අපි යාළු වෙච්ච අලුත අනුරාධගෙ ගෙදර අය මා ගැන දැනගෙන හිටියෙ නැහැ. අවුරුද්දක් විතර ගියාට පස්සෙ තමයි මා ගැන දැන ගත්තෙ. අද එයාලගෙ ගෙදර අය මගේ නාට්‍ය නරඹන්නෙ හරිම ආසාවෙන්.

තනාෂාගෙ ඉවුම් - පිහුම් කලාව කොහොමද?

අපේ අම්මට තරම් රසට උයන්න බැරි වුණත්, තරමක් රසට උයන්න පුළුවන් කියලා හිතනවා.

විවාහ උත්සවය හරිම චාම් කියලා තමයි ආපු හැමෝම කිව්වෙ?

ඔව් අපි දෙන්නා හිතපු විදියටම, ප්ලෑන් කළ විදියටම හොඳට සිදුවුණා. ආපු හැමෝම හරියට සතුටු වුණා. අපේ දවස ලස්සන කරගන්න උදව් කළ හැමෝටම බොහොම ස්තුතියි!

කොහොමද නොනිමි නාට්‍යයේ ‘පාරමී’ට ලැබෙන ප්‍රතිචාර?

මම ඒ චරිතයට හරිම ආසයි. ගුවන් හමුදාවේ වෛද්‍ය නිලධාරිනියක්. ඉතින් අපට සැබෑ ජීවිතයේදී හමුදා නිල ඇඳුම ඇඳලා වැඩ කරන්න ලැබෙන්නෙ කලාතුරකින්නෙ. ඒ නිසා ඒ නිල ඇඳුමට ගරු කරන මම ඒ චරිතයටත් ආසයි. කතාවේ හැටියට ‘පාරමි’ගෙ සැමියා මිය ගිහින්. පාරමි හරිම හොඳ කෙනෙක්.

තනාෂා, ඔයා ගැන අපි අනුරාධගෙන් අහන්නද?

අනේ අහන්න.

අනුරාධ, ‘තනාෂා’ව තෝරාගත් විශේෂ හේතුව?

තනාෂා හරිම හොඳයි. ඒ වගේම ලස්සනයිනෙ. මතුපිටින් තියෙන ලස්සන පෙනුමටත් වඩා එයාගෙ ගතිගුණ හිත ලස්සනයි. පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. ‘තනාෂා’ මට ඉතින් ‘මැණිකක්ම’ තමයි. ඒකමයි මම එයාට ‘මැණික’ කියන්නෙත්.

තනාෂාගෙ රඟපෑම්වලට අනුරාධ ආසද?

තනාෂා කියන්නෙ බාර ගන්න වැඩේ වෙනුවෙන් උපරිමව කැපවී කටයුතු කරන කෙනෙක්. මොකක් හරි බාර ගත්තාම, එයා ඒ ගැන අම්මගෙන් වගේම නංගිලාගෙන් අහලා තමයි තීරණ ගන්නෙ. ආදරයේදී එයා කිසි විටෙකත් මාව සැක කළේ නැහැ. ඒ අවබෝධය විවාහ ජීවිතයට හරියට වටිනවා. ජීවිතයේ අද මට හරිම සතුටුයි. මට මැණිකකට වඩා වටිනා අගනා වස්තුවක් ලැබිලා තියෙන්නෙ. මැරෙනකම්ම මම ඒ මැණිකට ආදරෙයි. ඒ වගේම එයාව පණ වගේ රැක ගන්නවා.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ