මට හරියන කෙනා තවම හමුවුණේ නෑ - උදේනි අල්විස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලාවේ විවිධ ඉසව්වලදී අප හමුවන චරිත සොයා යන මේ ගමනේදී අද අපගේ නැවතුම වූයේ දශක කිහිපයක් තිස්සේ රංගන ශිල්පියෙකු, සහාය අධ්‍යක්ෂකවරයෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සේම වෘත්තිමය ඡායාරෑප ශිල්පියෙකු ලෙස අප හමුවන උදේනි අල්විස් රංගවේදියායි. බොහෝ දෙනෙක් ඔහුව අදටත් හඳුන්වන සම්පත් යන නාමය ඔහුගේ සැබෑ නමටත් වඩා ඔහුව අමතන්නට යොදාගන්නා ආකාරයක් දක්නට ලැබෙයි. රංගනයට අවතීර්ණ වන්නට පෙර සිටම ඔහු තම වෘත්තිය ජීවිතය අරඹන්නේ ඡායාරෑප කලාව ඔස්සේය. ඒ ඔස්සේ ඔහු ලැබූ ජාතික මෙන්ම ජාත්‍යන්තර ඇගයීම් ද බොහෝය. වර්තමානයේදී කලාකරුවන්ගේ එකමුතුවකදී, සුහද හමුවකදී, සුබසාධන කටයුත්තකදී උදේනි අල්විස් යනු නිරතුරු අපට මුණගැ‍සෙන කලා හිතකාමී පුද්ගලයෙකි. අද හදසර මේ ඉඩ ඔහුගේ කතාව වෙනුවෙනි. 

මම ඉපදුණේ කොළඹ. ඉසිපතන විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. මගේ අම්මා ගුරුවරියක්, විදුහල්පතිවරියක් විදිහට රුකියාව කළා. තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කළා. අපේ පවුලේ මම තමයි වැඩිමලා. මට බාල සහෝදරයන් සිව් දෙනෙක් සහ බාල සහෝදරියක් සිටිනවා. ඔවුන් සියලු දෙනාම මේ වනවිට විවාහවෙලා දරුවන් සමඟ සතුටින් සිටිනවා. අම්මයි තාත්තයි දෙන්නම මේ වනවිට ජීවතුන් අතර නැහැ.

අප කවුරුත් ජීවිතයේ ඕනෑම මොහොතක අතීතය සිහිපත් කරන්නට කැමතිය. ඔහු ද එසේමය. උදේනිගේ මව ගුරුවරියක වූ නිසාම නිවසේ කටයුතු ද පාලනයකින් යුතුව ගෙන ගියාය. පියා එතරම් සැර වැර නොකළ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව වසර කිහිපයක් විදේශයන්හි සේවය කළේය. එදා කුඩා දරුවන් වූ පවුලේ සොයුරු සොයුරියන් සයදෙනා අතර අදට ද ඇත්තේ එදා තරම්ම ආදරණීය බැඳීමකි. එය ඔවුන්ගේ ඥාතීන් සේම හිතමිතුරන් ද හොඳින්ම දන්නා කරුණකි.

අපි කුඩා කල පටන්ම ජීවිතය පිළිබඳ විවිධ සිහින දකින්නෙමු. කෙදිනක හෝ මා මෙවැනි කෙනෙකු බවට පත්වෙමියි පතන්නෙමු. එය ඔබ මා අප කා අතරත් සිදුවන්නකි. මම පුංචිම කාලේ ඉඳන්ම කැමැත්තෙන් හිටියේ ගුවන් නියමුවෙක් වෙන්න. ඇත්තටම ඒක මගේ හීනයක්. මම පාසලේදි ගොඩක් ක්‍රීඩාවලට යොමු වුණා. ඒ වගේම ශිෂ්‍ය භට බලකායේ හිටියා. දක්ෂතා කුසලතා පෙන්නුම් කළා. ඇත්තම කිව්වොත් මම ගුවන් හමුදා සම්මුඛ පරීක්ෂණයටත් ගියා. ඒ කාලෙත් මේ දේශපාලන අතගැසීම් තිබුණා. ඒ නිසාම මටත් ගුවන් හමුදා සම්මුඛ පරීක්ෂණයේදී අසමත් වෙන්න සිදු වුණා.

උදේනි උසස් පෙළට මුහුණ දුන්නේ ගණිත අංශයෙනි. පාසල තුළ ඔහු සෞන්දර්ය විෂයයන්වලින් හදාරන්නට තෝරාගත්තේ නර්තනයයි. ඔහුගේ බාප්පා නර්තන ගුරුවරයෙකු වූ අතර පාසලේ නර්තනය ඉගැන්වූ ගුරුතුමා බාප්පාගේ හිතවතෙක් විය. එසේම ඔහුට චිත්‍ර ඇඳීමේ හැකියාවක් නොවූ අතර සංගීතය සඳහා ද එතරම් රුචියක් නොවීය. මේ සියලු හේතු නිසාම නර්තනයට යොමු වූ ඔහු ඉන් බොහෝ දුරකට පියවර තැබුවේය. එවක උදේනි යනු පාසලේ දක්ෂතම නැට්ටුවා විය. උසස් පෙළට එන විට ඉන් බැහැර වී ඔහු ගණිත අංශයට ළං විය.

මම පාසලේ නර්තනයට දක්ෂතා දැක්වූවා වගේම නාට්‍යවලටත් සම්බන්ධ වුණා. 1983 වසරේ ලයනල් වෙන්ඩ්ට්හි නාට්‍යකරණ පාඨමාලාවක් හැදෑරුවා. 1984 අප්‍රේල් 02දා තමයි වේදිකාවක මගේ පළමු නාට්‍ය ඉදිරිපත් කළේ. එය සීමා නම් වූ කෙටි නාට්‍යයක්. මොකද එම පාඨමාලාව අවසානයේදි අපගේ නාට්‍යයක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ අනුව තමයි එවර වේදිකාගත වූ පළමු කෙටි නාට්‍ය විදිහට මගේම නිර්මාණයක් වූ සීමා වේදිකාවට එන්නේ. ඉන්පසු ගොඩක් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකාධිපති, මකරාක්ෂයා නාට්‍යයත්, ඩග්ලස් සිරිවර්ධනගේ හිට්ලර්, පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවි, ධනංජය කරුණාරත්නගේ ජූරිය, විශාකේෂ චන්ද්‍රසේකරම්ගේ තහනම් අඩවිය ඇතුළුව වේදිකා නාට්‍ය 75ක පමණ රංගනයට එක් වුණා. අවසානයටම කළේ සැරද සහෝදර නාට්‍යයයි.

උදේනි මුල්ම වතාවට රෑපවාහිනී තිරයට පැමිණියේ 1986 වසරේදීය. අර්ධ වෘත්තාන්ත නාට්‍යයක් වූ එය අධ්‍යක්ෂණය කළේ දයා තෙන්නකෝන්ය. මුළුතැන්ගෙයි අන්දරය නම් වූ එම නාට්‍ය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන ආහාර පිසීමේ ගැටලුවට කදිම විකල්පයක් හඳුන්වා දුන්නකි. දර යොදා එක් උඳුනක ගිනි ඇවිලෙද්දී අනිත් ළිප තුළින් ද ගින්දර එන බැවින් එක උඳුනකින් එක්වර බඳුන් දෙකක් ළිප තබා ආහාර පිසීමේ හැකියාව ලැබිණ. එවක මෙම ටෙලිනාට්‍ය ඉතා ජනප්‍රිය වූ අතර එම උඳුන් කර්මාන්තයක් ලෙස මෙන්ම පාරිභෝගික ප්‍රජාව අතර ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.

රංගන ශිල්පී දයා අල්විස් තමයි මාව දයා තෙන්නකෝන්ට හඳුන්වා දුන්නේ. දූ දරුවෝ මගේ දසවැනි ටෙලිනාට්‍ය. ඊට පෙර සන්නාලියනේ, මවකගෙ ගීතය ආදී ටෙලිනාට්‍ය කිහිපයක් කළා. සම්පත් තමයි රෑපවාහිනී ප්‍රේක්ෂක ජනතාව මාව හොඳින්ම හඳුනාගත් චරිතය. දූ දරුවෝ 1991 වසරේ විකාශය වුණේ. ඒත් තවමත් සම්පත් කියා බොහෝ දෙනෙක් මාව අමතනවා. ඉස්සර නම් සම්පත් කියූ සැණින් මම දන්නවා මේ මට අමතන්නේ කියලා. දැනුත් පිරිසක් අතරේ ඉන්නකොට කිහිප වතාවක් සම්පත්.. සම්පත් කියා කතා කළොත් මම හැරිලා බලනවා. එතරම්ම සම්පත්ව කට්ටිය හඳුනනවා. ඔහු එම අතීතය සිහි කරන්නේ සැබෑම සතුටකිනි. නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කළ සහෝදරයා, ආගන්තුකයා, Bro වැනි නාට්‍යවලින් මෑතකදී අපට ඔහුගේ රංගනය දැකගැනීමට හැකි විය.

 

දූ දරුවෝ මුලින් කරන්න හිටියේ සුදත් දේවප්‍රිය. සහය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කරන්න හිටියේ අජිත් ලොකුගේ. දීප්තිගේ චරිතය කරන්න හිටියේ රසාදරී පීරිස්. සම්පත් කියන චරිතයට කතා කළේ මට. මොකද මමයි රසාදරීයි දෙන්නා බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සන්නාලියනේ ටෙලිනාට්‍යයේ රඟපාන කාලෙදි තමයි සුදත් දේවප්‍රිය හා අජිත් ලොකුගේ ඇවිත් අපි දෙන්නට මේ චරිත දෙකට කතා කළේ. සුදත් දේවප්‍රියට නිවාඩු ගැනීමේ ගැටලුවක් ආවා. ඉන්පසු තමයි නාලන් මෙන්ඩිස්ට එය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම පැවරුණේ. නාලන් මට කතා කළේ දූ දරුවෝ හි සහය අධ්‍යක්ෂණයට විතරයි. මොකද ඊට පෙර මම ඔහුගේ පාට සරුංගල් ටෙලිනාට්‍යයේ අවසාන අර්ධයේ සහය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළා. එහිදී තරමක විමතිය දනවන දෙයකුත් වුණා. නාලන් මෙන්ඩිස් මට මුලින්ම මේ දූ දරුවෝ සඳහා කියලා කිව්වේ නැහැ. දැවැන්ත නිර්මාණ කටයුත්තක් තියෙනවා. සහය අධ්‍යක්ෂවරයා විදියට ඔයා එන්න කියලයි කිව්වේ. නම කිව්වෙම නැහැ. මමත් දැනගෙන හිටියේ නැහැ සුදත් ඉවත්වෙලා නාලන් දූ දරුවෝ කරන බවක්. මම සුදත් මට ඔහුගේ නවතම නාට්‍යයේ සම්පත් චරිතය කරන්න කතා කරලා තිබුණු නිසා මේක බාරගන්න අදිමදි කළා. පසුව මේ කතාව මම සහ නාලන් මෙන්ඩිස් දෙදෙනාම නම පිළිබඳව කතා නොකර කරගෙන ගියා. කොහොම හරි නාලන්ට තේරුණා මම මේ කියන්නේ දූ දරුවෝ ගැන වග. පසුව කතාව පැහැදිලි කර ගත්තාම මම කිව්වා සුදත් එහි සම්පත් චරිතයට තමයි මට කතා කළේ කියලා. නමුත් නාලන් කිව්වා එය නෙවෙයි, සහය අධ්‍යක්ෂණයෙන් මෙයට එක්වන්න කියලා. කොහොම හරි චරිත සඳහා පෙර තෝරාගැනීම් බොහොමයක් වෙනස් වුණා. සම්පත් වෙනුවෙන් තිර පරීක්ෂණ පැවැත්වුවා. මමත් දන්නා කිහිප දෙනෙක් ඊට යොමු කළා. නමුත් ඒ කවුරුවත් චරිතයට ගැලපුණේ නැහැ. අවසානෙදි සම්පත් යළි මා වෙතම ආවා. මම එහි සහය අධ්‍යක්ෂණයෙන්ද එක් වුණා. ලංකාවේ පළමු දීර්ඝතම මාලා නාටකයේ වැඩිම කලක් සහය අධ්‍යක්ෂණ කටයුතු කළ පළමු සහය අධ්‍යක්ෂවරයා මමයි.

උදේනි චිත්‍රපට රංගනයට එක්වූයේ ගේ කුරුල්ලෝ චිත්‍රපටයෙනි. එය තිරගත නොවූ අතර සුදත් දේවප්‍රියගේ එළිවෙන දවස, බන්දුල පද්මකුමාරගේ සරසවි දියණියෝ චිත්‍රපට ද තිරගත නොවීය. සුනිල් ආරියරත්නගේ උත්පලවන්නා, උදයකාන්ත වර්ණසූරියගේ මහමෙර උසට ආදියට රංගනයෙන් එක්වූ අතර සිනෙමා, ශ්‍රී සිද්ධා චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය. චිත්‍රපට දහයකට පමණ තමන් රංගනයෙන් දායක වූ වග ඔහු හදසරට පැවසීය.
තමා තමන්ව හඳුන්වා දීමට වඩාත් කැමති වෘත්තිමය ඡායාරෑප ශිල්පියෙකු ලෙස බව ඔහු පවසයි. පාසල් කාලයේදිම තමයි මම ඡායාරෑප කලාවට අවතීර්ණ වුණේ. මගේ මාමලා දෙන්නෙක්ම ඡායාරෑප ශිල්පීන්. එයින් තමයි ඡායාරෑප කලාවට කැමැත්තක් ඇතිවුණේ. විල්සන් හෑගොඩ මහතා අරඹා තිබුණා ශ්‍රී ලංකා ජාතික ඡායාරෑප කලා සංගමය. නොමිලේ තමයි ඔහු එය කළේ. එහි පාඨමාලාවට මම සම්බන්ධ වුණා. පළමු විභාගයෙන් මට සමත් වෙන්න බැරි වුණා. ඉන්පසු යළි මා එයට එක්වන්නේ 1991 වසරේදි. එදා සිට අද දක්වා එහි ඉන්නවා. දැන් එහි යාවජීව සාමාජිකයෙක්. මම හඬකැවීම් ශිල්පයට එක්වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හඬ පරීක්ෂණයෙන් සමත්වෙලා ඔෂින් හි ඔෂින්ගේ සොයුරා සෝජි සඳහා හඬ කැව්වේ මමයි. දැන් නම් කාලෙකින් සම්බන්ධ වුණේ නැහැ.

හොඳම නළුවා හා හොඳම සහය නළුවා ලෙස අවස්ථා පහකදී යෞවන සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ උදේනි අල්විස් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහය නළුවා ලෙස වරක් නිර්දේශ විය. අවසානයේ ඔහුගේ ජීවිතය පිළිබඳව, තනිකම පිළිබඳව ද විමසූ විට ඔහු පැවසුවේ සුදුසුම කෙනා තවම හමු නොවූ බවයි. හොඳම කෙනා හෙට තමන්ට හමුවන්නේ නම් එම තනිකමට හෙටම විරාමයක් තැබීමට සූදානම් බව ඔහු පවසයි. එලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය සේම පෞද්ගලික ජීවිතය ද හෙට වඩාත් සුබ වේවායි හදසර අපි ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ / සේයාරූ - අන්තර්ජාලයෙන්